නිවාත ගුණය

“මම උසස් ය, අන්‍යයන් මාහට ගරු බුහුමන් කළ යුතු ය. මා කියන දෙය පිළිගත යුතු ය. මට අනුකූල විය යුතු ය. මා විසින් අන්‍යයන්ට යටත් නො විය යුතු ය. ගරු නො කළ යුතුය. අනුකූල නො විය යුතු ය.” කියා ඇති වන උමතුකම හෙවත් මානය බැහැර කොට, අන්‍යයන්ට අනුකූල ව වෙසෙන ස්වභාවය “නිවාත ගුණය” ය. මෙය ගිහි පැවිදි කා විසිනුත් ඇති කර ගත යුතු කාහටත් ඉතා ප්‍රයෝජනවත් ගුණයෙකි. තමා උසස් ය කියා ඉදිමෙන ස්වභාවය, මෝඩකම හා අත්වැල් බැඳ පවත්නා වූ, මෝඩකම වැඩි තරමට බලවත් ව ඇති වන්නා වූ අකුශල ධර්මයෙකි.

“තමා උසස් ය, අන්‍යයන් තමාට ගරු බුහුමන් කළ යුතුය” කියා සිතා ගෙන සිටියේ වී නමුත් ඒ සිතන උසස්කම අන්‍යයන් පිළිගන්නක් නො වේ. එසේ සිතා ගෙන ඉන්නා පුද්ගලයා අන්‍යයන් සලකන්නේ ඉදිමුණු එකෙක, මෝඩයෙක, කියා වඩාත් පහත් කොට ය. ඒ නිසා උඩඟු වීම තමාගේ තත්ත්වය ඇතුවාටත් වඩා පහතට හෙළා ගැනීමෙකි. තමා විසින් ම තමා අන්‍යයන් ගේ පිළිකුලට අප්‍ර‍සාදයට භාජන කර ගැනීමෙකි.

පැවිද්දන්ට මේ මානය වඩාත් අනර්ථකරය. එබැවින් පැවිද්දන් විශේෂයෙන් ම නිවාතගුණයෙහි පිහිටිය යුතු ය. නිවාත ගුණය ගැන සැරියුත් මහ තෙරුන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගත යුතු ය.

සැරියුත් මහතෙරුන් වහන්සේගේ නිවාත ගුණය

එක් කලෙක සැරියුත් මහතෙරුන් වහන්සේ සැවැත් නුවර වස් එළඹ පවාරණය කොට, චාරිකාවෙහි හැසිරෙන්නට සූදානම් වී තථාගතයන් වහන්සේගෙන් අවසර ගනු සඳහා බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, එපවත් සැලකොට අවසර ගෙන නික්මුණු සේක. වැඩම කරන්නා වූ සැරියුත් මහතෙරුන් වහන්සේගේ සිවුරු කොනක් එක් භික්ෂුවකගේ ශරීරයේ සැපිණ. සැරියුත් මහතෙරුන් වහන්සේ බොහෝ භික්ෂූන් පිරිවරා යම ගැන, ඒ භික්ෂුවට තද ඊර්‍ෂ්‍යාවක් ඇතිවිය. හෙතෙමේ මහතෙරුන් වහන්සේ ගේ ගමනට බාධා කරන්නට සිතා වහා බුදුරදුන් වෙත එළඹ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ශාරිපුත්‍රයෝ මාගේ ඇඟේ සැපී එය ගැන සැලකිල්ලක් නොකොට මාගෙන් ක්ෂමාව නො ගෙන චාරිකාවට ගියහ” යි සැල කෙළේ ය. එකල්හි තථාගතයන් වහන්සේ “ශාරිපුත්‍ර‍යන් කැඳවා ගෙන එව” යි අන් භික්ෂුවකට වදාළහ. මේ ප්‍ර‍වෘත්තිය දැන ගත් මුගලන් මහතෙරුන් වහන්සේ හා අනඳ මහ තෙරුන් වහන්සේ විහාරයෙන් විහාරයට ගොස් “සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ සිංහනාදය අසන්නට යෙත්වා” යි භික්ෂූන්ට දැන්වූහ. බොහෝ භික්ෂූහු තථාගතයන් වහන්සේ වෙත පැමිණියෝ ය. සැරියුත් මහතෙරුන් වහන්සේ ද පැමිණ තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක වැඩහුන් සේක.

එකල්හි තථාගතයන් වහන්සේ “ශාරිපුත්‍ර‍ය, තෙපි එක් සබ්‍ර‍හ්මචාරී නමකගේ ඇඟේ සැපී ක්ෂමා කරවා නොගෙන චාරිකාවෙහි යන්නහුය යි කියන්නේ ය” යි වදාළ සේක.

එකල්හි සැරියුත් මහතෙරණුවෝ මෙසේ වදාළහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, යමකුට කායගතාසතිය නැත්තේ නම් ඔහු සබ්‍ර‍හ්මචාරී නමගේ ඇඟේ සැපී කමා කරවා නොගෙන චාරිකාවෙහි යනු ඇත. භාග්‍යවතුන් වහන්ස, පොළොවෙහි පිරිසිදු දූ ද දමන්නාහ, අපිරිසිදු දෑ ද දමන්නාහ, අසුචි ද දමන්නාහ, මුත්‍ර‍ ද දමන්නාහ, කෙළ ද දමන්නාහ, සැරව ද දමන්නාහ, ලේ ද දමන්නාහ, එයින් පොළොවට අමාරුවක් නැත. පොළොව ලජ්ජා වන්නේ නැත. ඒවා පිළිකුල් කරන්නේ නැත. භාග්‍යවතුන් වහන්ස, මම ද කවරකු සමඟ වත් වෛරයක් නැති ව කෝපයක් නැති ව පොළොව වැනි සිතින් වාසය කරමි. සබ්‍ර‍හ්මචාරියකුගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන යතොත් යන්නේ කායගතාසතිය නැත්තෙක් ය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ජලයෙහි පිරිසිදු දෑ ද සෝදන්නාහ, අපිරිසිදු දෑ ද සෝදන්නා හ, අසුචි ද සෝදන්නා හ, මුත්‍ර‍ ද සෝදන්නා හ, කෙළ ද සෝදන්නා හ, සැරව ද සෝදන්නා හ, ලේ ද සෝදන්නා හ, එයින් ජලයට අමාරුවක් නැත. ලජ්ජාවක් නැත. පිළිකුලක් නැත. භාග්‍යවතුන් වහන්ස, මම ද කවරකු සමඟ වත් වෛරයක් නැති ව කෝපයක් නැති ව ජලය හා සමාන සිතින් වෙසෙමි. ස්වාමීනි, සබ්‍ර‍හ්මචාරී නමක ගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන චාරිකාවෙහි යනවා නම් යන්නේ කායගතාසතිය නැතියෙක් ය.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ගින්න පිරිසිදු දෙය ද දවන්නේ ය, අපිරිසිදු දෙය ද දවන්නේ ය, අසූචි ද දවන්නේ ය මුත්‍ර‍ ද දවන්නේ ය, කෙළ ද දවන්නේ ය, සැරව ද දවන්නේ ය, ලේ ද දවන්නේ ය, එයින් ගින්නට අමාරුවක් ලජ්ජාවක් පිළිකුලක් නැත. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම කවරකු සමඟ වත් වෛරයක් නැති ව කෝපයක් නැති ව ගින්න හා සමාන සිතින් වාසය කරමි. ස්වාමීනි, සබ්‍ර‍හ්මචාරී නමකගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන යන්නේ කායගතාසතිය නැතියෙක් ය.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, සුළඟ පවිත්‍ර‍ දෙයට ද හමන්නේ ය, අපවිත්‍ර‍ දෙයට ද හමන්නේ ය, අසූචියට ද හමන්නේ ය, මුත්‍ර‍යට ද හමන්නේ ය, කෙළවලට ද හමන්නේ ය, සැරවවලට ද හමන්නේ ය, ලේ වලට ද හමන්නේ ය, එයින් සුළඟට අමාරුවක් ලජ්ජාවක් පිළිකුලක් නැත්තේ ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම කිසිවකු හා වෛරයක් කෝපයක් නැති සුළඟ හා සමාන සිතින් වෙසෙමි. ස්වාමීනි, සබ්‍ර‍හ්මචාරී නමකගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන යන්නේ කායගතාසතිය නැතියෙක් ය.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කුණු පිස්නා රෙදි කඩින් පිරිසිදු දෑ ද පිස්නේය, අපවිත්‍ර‍ දෑ ද පිස්නේ ය, අසූචි ද පිස්නේ ය, මුත්‍ර‍ ද පිස්නේ ය, කෙළ ද පිස්නේ ය, සැරව ද පිස්නේය, ලේ ද පිස්නේ ය, එයින් රෙදි කඩට අමාරුවක් ලජ්ජාවක් පිළිකුලක් නැත්තේ ය. ස්වාමීනි, මම කිසිවකු හා වෛරයක් නැති ව කෝපයක් නැති ව කුණු පිස්නා රෙදි කඩට සමාන වූ සිතින් වෙසෙමි. භාග්‍යවතුන් වහන්ස, සබ්‍ර‍හ්මචාරියකුගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන යන්නේ කායගතා සතිය නැතියෙක් ය.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, රෙදි කඩක් හැඳ අතින් පැසක් ගත් රොඩී කොලුවකු හෝ රොඩී කෙල්ලක හෝ ගමකට හෝ නියම් ගමකට හෝ පිවිසෙන්නේ නීච චිත්තයෙනි. භාග්‍යවතුන් වහන්ස, මම කිසිවකු හා වෛරයක් කෝපයක් නැති ව රොඩී කොලුවකුට සමාන සිතින් වෙසෙමි. භාග්‍යවතුන් වහන්ස, සබ්‍ර‍හ්මචාරියකුගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන චාරිකාවෙහි යන්නේ කායගතාසතිය නැතියෙක් ය.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, හොඳට කීකරු වූ අං සුන් ගවයා වීදියෙන් වීදිය මංසන්දියෙන් මංසන්දිය ඇවිදින්නේ කිසිවකුට පයින් නො ගසයි, නො අනී. භාග්‍යවතුන් වහන්ස, මම කිසිවකු හා වෛරයක් කෝපයක් නැති අං සුන් ගවයකුට සමාන සිතින් වෙසෙමි. භාග්‍යවතුන් වහන්ස, සබ්‍ර‍හ්මචාරියකු ගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන චාරිකාවෙහි යන්නේ කායගතාසතිය නැතියෙක් ය.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සැම පැත්තේ ම කුඩා මහත් සිදුරු ඇති යුෂ උතුරන වැගිරෙන කුණු මස් සැළියක් පරිහරණය කරන්නාක් මෙන් කුඩා මහත් බොහෝ සිදුරු ඇති අපවිත්‍ර‍ දෑ උතුරන වැගිරෙන මේ කය මම ද ඉමහත් පිළිකුලෙන් පරිහරණය කරමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සබ්‍ර‍හ්මචාරී නමකගේ ඇඟේ සැපී කමා කරවා නො ගෙන චාරිකාවෙහි යන්නේ කායගතාසතිය නැතියෙක් ය.

සැරියුත් මහතෙරුන් වහන්සේගේ ඒ කතාව අසා හුන් චෝදනා කළ මහණ මහත් සංවේගයටත් බියටත් පත්ව, තථාගතයන් වහන්සේ ගේ පාමුල වැඳ වැටී, තමා කළ වරද ගැන සමාව ඉල්ලා සිටියේ ය. තථාගතයන් වහන්සේ සැරියුත් මහතෙරුන් වහන්සේ අමතා “ශාරිපුත්‍ර‍ය, මේ හිස් පුරුෂයාගේ හිස මෙතැනදී ම සත් කඩකට පැළී යනු ඇත. එබැවින් මේ මහණහුට සමා වන්නේය” යි වදාළ සේක. සැරියුත් මහතෙරුන් වහන්සේ සමාව දුන් සේක.

මානය දුරු වීම සඳහා භාවිතයට මේ ගාථා දෙක හොඳ ය.

“දිපාදකෝ යං අසුචී

දුග්ගන්ධෝ පරිහීරතී,

නානා කුණප පරිපූරෝ

විස්සවන්තෝ තතෝ තතෝ

-

එතාදිසේන කායේන

යෝ මඤ්ඤේ උණ්ණමේතවේ

පරං වා අවජානෙය්‍ය

කිමඤ්ඤත්‍ර‍ අදස්සනා.”

(සුත්තනිපාත විජය සුත්ත)

තේරුම:

පා දෙකක් ඇත්තා වූ දුඟද වූ මේ කුණුකය දුඟද දුරු වීම පිණිස සුවඳ සුණු ආදියෙන් සරසා පරිහරණය කරනු ලැබේ. එහෙත් කෙස් ලොම් ආදි නානා කුණපයෙන් පිරි සිරුර ඒ ඒ තැනින් අපවිත්‍ර‍ දෑ වගුරුවන්නේ ම ය. යමෙක් එබඳු කයකින් උඩඟු වන්නට සිතා නම් අනුන් පහත් කොට හෝ සිතා නම් එය ඇති තතු නොදැනීම හැර අන් කුමක් ද?