කටයුත්තෙහි පසු බැසීමට, ධෛර්‍ය්‍යය නැති වීමට කරන දෙය සම්පූර්ණයෙන් හැර දැමීමට, බිය වීමට, ශෝක වීමට, ලජ්ජා වීමට, කෝප වීමට, කෝලාහල කිරීමට, නඩුහබ කියා ගැනීමට, හේතු වන නොයෙක් කරදර ලෝකයෙහි කාහටත් වරින් වර පැමිණෙන්නේ ය. ඒවා නිසා තමා වෙනසකට නො පැමිණෙන ලෙස ඒ කරදර විඳ දරා ගැනීම ඉවසීම ය. මෙය ගිහි පැවිදි කාටත් ඉතා ප්‍රයෝජනවත් මහඟු ගුණයෙකි. මහා බලයෙකි. මෙය නැතියහුට ජීවිතය රැක ගැනීම පවා දුෂ්කරය. මෙය පැවිද්දන්ට විශේෂයෙන් ම වුවමනා ගුණයෙකි. ඉවසීම නැතියහුට පැවිද්ද වැඩි කල් නො දැරිය හැකිය. සිත නො කිලිටි කර ගෙන හොඳින් ද පැවිද්ද නො පැවැත්විය හැකි ය. ඉවසීමේ අනුසස් බොහෝ ය.
“ඉධ භික්ඛවේ, භික්ඛු ඛමෝ හෝති සීතස්ස, උණ්හස්ස, ජිගච්ඡාය, පිපාසාය, ඩංසමකසවාතාතප සිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරාණං අධිවාසික ජාතිකෝ හෝති.”
(අංගුත්තර චතුක්කනිපාත)
මේ තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ඉවසිය යුතු කරුණු දක්වා දේශනය කර ඇති පාඨයෙකි. චිර කලක් මහණ දම් පිරිය හැකි වීමට හොඳින් මහණ දම් පිරිය හැකි වීමට, මහණකමට ඔරොත්තු දෙන පුද්ගලයකු වීමට, පැවිද්දන් විසින් ශීත ඉවසීම පුරුදු කර ගත යුතුය. උෂ්ණය ඉවසීම පුරුදු කර ගත යුතුය. සාගිනි ඉවසීම පුරුදු කර ගත යුතුය. පිපාසාව ඉවසීම පුරුදු කර ගත යුතුය. මැසි මදුරු පීඩා ඉවසීම පුරුදු කර ගත යුතුය. අනුන් කියන ඇණුම් පද - නින්දා බස්- අනුන් කරන තර්ජන - විවේචන - විහිළු තහළු ඉවසීම පුරුදු කර ගත යුතුය. ශාරීරික දුඃඛ වේදනා ඉවසීම පුරුදු කර ගත යුතුය. ඉහත දැක් වූ පාඨයෙන් නො දැක්වෙන ඉවසිය යුතු තවත් බොහෝ කරුණු ද ඇත්තේ ය. තමන් ගේ භාණ්ඩවලට හානි කිරීම, තමන් ගේ භාණ්ඩ සොරා ගැනීම, තමන්ට වන ලාභ වැළැක්වීම, හිතවතුන් භේද කිරීම, තමන් ගේ ආචාර්ය්‍යොප්ධ්‍යායන්ට ඥාතීන්ට හිතවතුන්ට වරද කිරීම, ගෝලබාලයන්ට වරද කිරීම, ගෝල බාලයන්ගේ අකීකරුකම් යන මේවා ඉවසන්නට ද පුරුදු කර ගත යුතුය.
පැවිද්දන් විසින් අරුණට පළමු නැගිට රත්නත්‍රය වැඳීම කළ යුතුය. ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. භාවනා කළ යුතුය. ඉගෙන ගන්නා කෙනකු නම් පොතපත පාඩම් කළ යුතුය. වත පිළිවෙත කළ යුතුය. ශීත ඉවසීම පුරුදු කර නො ගත්, ශීත ඉවසීමට නො සමත් පැවිද්දා “ශීතලේ නැගිටිය නො හැක” කියා පැවිද්දකු විසින් අලුයම් කාලයෙහි කළ යුතු දෑ නො කරන්නේ ය. එය ශීත නො ඉවසන්නහුට නිතර ම සිදු විය හැකි පාඩුව ය. සමහර විට ශීත පීඩාව නැති ව විසීමට සුදුසු ලෙස වාසස්ථාන පිළියෙළ කර ගැනීම්, සිවුරු පිළියෙළ කර ගැනීම් ආදියට නුසුදුසු දේ කරන්නට ද සිදු වන්නේ ය. උෂ්ණය ඉවසීමට නො හැකි පැවිද්දා හට උෂ්ණය කියා කළ යුතු නොයෙක් දේ අත් හරින්නට සිදු වන්නේ ය. උෂ්ණ පීඩාවෙන් තොරව වාසය කිරීමට වුවමනා දෑ සොයා ගැනීමට පැවිද්දන් විසින් නො කළ යුතු දෑ කරන්නට ද සමහර විට සිදු වන්නේ ය. සාගින්න පිපාසාව මැසි මදුරු ආදීන්ගෙන් වන පීඩාව යන මේවා නො ඉවසීම නිසා ද කළ යුතු බොහෝ දේවල් නො කරන්නටත් නො කළ යුතු දෑ කරන්ටත් සිදුවන්නේ ය. ඒවා ඉවසීමට නො සමත් කම නිසා ඇතැම් පැවිද්දන්ට මහණකම හැර දමන්නට ද සිදු වන්නේ ය. ශීතෝෂ්ණාදිය ඉවසීමට පුරුදු කර ගත් පැවිද්දා හට කිසි කාය චිත්ත පීඩාවක් නැති ව සුවසේ මහණ දම් පිරිය හැකි වන්නේ ය.
පෙර ලක්දිව සෑගිරියේ පියංගු ගුහාවෙහි විසූ ලෝමනසාග ස්ථවිරයන් හේමන්ත සෘතුවේ හිම වැටෙන අති ශීත කාලයේ දී ද ලෝකාන්තරික නරකය සිහි කොට කර්මස්ථානය නො හැර එළිමහනෙහි ම විසූ බව සබ්බාසව සූත්‍ර අටුවාවෙහි සඳහන් වේ.
තව ද ඒ තෙරුන් වහන්සේ ග්‍රීෂ්ම සෘතුවෙහි සක්මනෙන් පිටත වැඩ හිඳ කමටහන් වඩමින් ඉන්නා අවස්ථාවක එතැනට හිරු රැස් වැටී, උන් වහන්සේ ගේ ශරීරයෙන් ඩහදිය වැගිරෙනු දුටු අතවැසියෙක් “ස්වාමීනි, මෙහි ශීතල ය, මෙහි වැඩ සිටිනු මැන” යි ශීත ස්ථානයක් දැක්වීය. “ඇවැත්නි, මා මෙහි හිඳගත්තේ උෂ්ණය නිසාම ය” යි කියා අවීචි මහා නරකය සිහි කොට එහි ම භාවනා කළහ. ශීත නිසාවත් උෂ්ණය නිසාවත් ලෝමසනාග තෙරුන් වහන්සේ තමන් කරන භාවනාව නො නැවැත්වූහ.
“වත්තබ්බක නිග්‍රෝධසාමණේරයෝ” සතියක් නිරාහාර ව විසීමෙන් පසු ද උපාධ්‍යාය වත කළහ. “බුදුරජාණන් වහන්සේට වත් කරමි” යි සෑ මලුයෙහි තණ ඉවත් කළහ.
“ගවරවාල අංගණයෙහි” භික්ෂූන් තිස් නමක් වස් එළඹ පොහෝ දිනයන්හි ආර්යවංශ ධර්මය කීහ. එක් පිණ්ඩපාතික තෙර නමක් දහම් අසනු පිණිස එහි ගොස් මුවාවක් ඇති තැන හිඳ දහම් ඇසුවේ ය. ඒ තෙරුන් වහන්සේ ගේ පය සර්පයකු විසින් දෂ් කරනු ලැබීය. වේදනාව ඉවසමින් ඒ තෙරුන් වහන්සේ එළි වන තුරු දහම් අසා අනාගාමී ඵලයට පැමිණියහ.
වරින් වර නොයෙක් රෝග වේදනා හටගන්නා බව ශරීරවල ස්වභාවයකි. රෝග වේදනාවලින් තොර ශරීරයක් නො ලැබිය හැකි ය. වේදනා නො ඉවසා ඒවා ගණන් ගෙන ඒවා නැති කර ගැනීමට ප්‍රයත්න කරන්නට පටන් ගන්නා තැනැත්තාට අන් කිසිවක් කරන්නට ඉඩක් නො ලැබේ. ඒ නිසා ඔහුට දියුණු විය නො හැකි ය. දියුණු වන්නට නම් සුළු සුළු රෝග ගණන් නො ගෙන කටයුතුවල යෙදිය යුතු ය. රෝග ගැන ම සිතන්නා වූ ඇතැම්හු නිතර ම ඒ ගැන ම සිතමින් ඒ කායික දුඃඛයට මානසික දුඃඛයකුත් එකතු කර ගැනීමෙන් දුක් වැඩි කර ගනිති. එය මහත් අනුවණ කමකි. සාගිනි වේදනා නො ඉවසන, රෝග වේදනා නො ඉවසන පැවිද්දන්ට සමහර විට විකාල භෝජනාදි සිකපද කඩා තමන් ගේ ශීලය ද පලුදු කර ගන්නට සිදු වේ.
පෙර සිතුල් පවුවෙහි විසූ යෝගාවචර තෙර නමකට රාත්‍රියෙහි භාවනාවෙහි යෙදී වෙසෙන අතර කුස තුළ වාතාබාධයක් ඇති විය. වේදනාව ඉවසා ගත නො හැකිව ඒ තෙරුන් වහන්සේ කැරකෙන්නට පෙරළෙන්නට වූහ. එය බලා සිටි පිණ්ඩපාතික තෙරුන් වහන්සේ “ඇවැත්නි, පැවිද්දා ඉවසන ස්වභාවය ඇතියෙකැ”යි කීහ. වාතාබාධය ඇති තෙරුන් වහන්සේ “එසේය, හිමියනි” වේදනාව ඉවසමින් නිශ්චල ව වැතිර හුන්හ. වාතය උත්සන්න වී තෙරුන් වහන්සේ ගේ කුසය පැළී ගියේ ය. තෙරුන් වහන්සේ ඉවසීමෙන් වේදනාව යට පත් කොට විදර්ශනා වඩා අනාගාමී වී අපවත් වූහ.
ඇනුම් බැනුම් නින්දා අපවාද චෝදනා අලාභ හානි ඉවසීම, පැවිද්දන් විසින් අමාරුවෙන් වුවද පුරුදු කර ගත යුතුය. ඒවා ඉවසීමට නො සමත් තැනැත්තාට කෝපයත්, එය මේරීමෙන් වෛරයත් ඇති වේ. කෝප වන තැනැත්තා අතින් නොයෙක් වරද සිදු විය හැකිය. සමහර විට මහණකම පවා නැති වී යන දේ සිදුවිය හැකි ය. තමාට කළ අලාභ හානි ගැන කිපී පළිගැනීම් වශයෙන් අනුන්ට අලාභ හානි කරන්න නො යා යුතුය. සමහර විට අනුන්ට අලාභ කරන්නට යන කල්හි අදින්නාදාන පාරාජිකාවට පැමිණීමෙන් උපසපන් පැවිද්දන්ගේ මහණකම් සම්පූර්ණයෙන් ම ද නැති වී යා හැකිය. කෝප නොවීම පැවිද්දන් කෙරෙහි පිහිටිය යුතු විශේෂ ගුණයකි.
“යෝ කෝපනෙය්‍යෙ න කරෝති කෝපං
න කුජ්ඣති සප්පුරිසෝ කදාචි
කුද්ධෝ පි සෝ නාවිකරෝති කෝපං
තං වේ නරජ සමණමාහු ලෝකේ.”
(චතුපෝසථික ජාතක)
තේරුම:
සත්පුරුෂයා කිසි කලෙක නො කිපේ. කිපුණේ ද හෙතෙමේ පරුෂ වචන කීම් ආදියෙන් කෝපය ප්‍රකාශ නො කෙරේ. යමෙක් කිපිය යුතු කරුණෙහි නො කිපේ ද ලෝකයෙහි “ඒ නො කිපෙන මනුෂ්‍යයා ශ්‍රමණයා” යයි කීහු.
පැවිද්දකු හැඳින්විය හැකි බොහෝ ලකුණු බොහෝ ගුණ ඇත ද මේ ගාථාවෙහි කෝප නොවීමේ ගුණයෙන් ම පැවිද්දා හඳුන්වා ඇත්තේ එය විශේෂ ශ්‍රමණ ගුණයක් වන බැවිනි. එයට “ශ්‍රමණධර්මය” යි ද කියනු ලැබේ. කෝප වන සුළු අනුන්ට බණිනා පැවිද්දා පන්සලක තබා ගැනීමට ද සුදුසු නැත. එබැවින් බුද්ධ කාලයේ විසූ “ධම්මික” නමැති භික්ෂුව දායකයන් විසින් ආවාස සතකින් ම නෙරපන ලද්දේ ය. ඒ භික්ෂුව තථාගතයන් වහන්සේ වෙත එළඹ තමාට වූ අතෝරය සැල කළ කල්හි උන්වහන්සේ “ධම්මික, නුඹ ශ්‍රමණ ධර්මයෙහි සිටියදී ම උපාසක වරුන් විසින් නෙරපන ලද්දෙහි දැ” යි විචාළ සේක. එකල්හි ධම්මික මහණ, “ස්වාමීනි, කෙසේ නම් ශ්‍රමණ ධර්මයෙහි සිටියේ වේ දැ” යි විචාළේය. තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඉධ බ්‍රාහ්මණ ධම්මික, සමණෝ අක්කෝසන්තං න පච්චක්-කෝසති, රෝසන්තං න පටිරෝසති භණ්ඩන්තං න පටිභණ්ඩති, ඒවං ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සමණෝ සමණ ධම්මේ ඨිතෝ හෝති.”
තේරුම:
“ධම්මික බ්‍රාහ්මණය, මේ සස්නෙහි පැවිද්දා බණින්නහුට පෙරළා නො බණී ද, ගැටෙන්නහු හා නො ගැටේ ද, ගසන්නහුට නො ගසා ද, ධම්මික බ්‍රාහ්මණය, එසේ පැවතීමෙන් ශ්‍රමණයා ශ්‍රමණධර්මයෙහි සිටියේ වේ.”
භික්ෂූන්හට නිතර මෙනෙහි කිරීම පිණිස තථාගතයන් වහන්සේ වදාරා ඇති කකචූපම අවවාදය මෙසේ ය:
“උභතො දණ්ඩකෙනපි චෙ භික්ඛවෙ, කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඔකන්තෙය්‍යුං. තත්‍රා පි යෝ මනෝ පදුසෙය්‍ය න මේ සෝ තේන සාසනකරෝ තත්‍රාපි වෝ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං, න චේව නෝ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම හිතානුකම්පි විහරිස්සාම, මෙත්තචිත්තාන දෝසන්තරා තඤ්ච පුග්ගලං මෙත්තා සහගතේන චේතසා එරිත්වා විහරිස්සාම. තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣෙන එරිත්වා විහරිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවෙ සික්ඛීතබ්බං.”
(කකචූපම සුත්ත)
තේරුම:
මහණෙනි, මහත් පැවතුම් ඇත්තා වූ සොරුන් විසින් තොපගේ ශරීරාවයවයන් හරස් කියතින් කපන කලක් වේ නම් එකල්හිත් යම් මහණෙක් කිපේ නම් නො ඉවසා නම් හෙතෙමේ මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ. මහණෙනි, එකල්හි ද සිත නො වෙනස් වන පරිදි තොප විසින් හික්මිය යුතුය. මහණෙනි, එකල්හි ද තොප විසින් නපුරු වචන නො කිය යුතු ය, ඇතුළත ද්වේෂයක් නො තබා ගෙන හිතානුකම්පාවෙන් යුක්ත ව මෛත්‍රී සහගත සිතින් විසිය යුතුය. ඒ අවයව කපන සොරුන් කෙරෙහි මෛත්‍රී සහගත චිත්තය පතුරුවා ගෙන විසිය යුතුය. එසේ ම ලෝකයෙහි සකල සත්ත්වයන් කෙරෙහි ද මෛත්‍රිය පතුරුවා වාසය කළ යුතු ය.
(මේ පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස
කළ පරිවර්තනයෙකි.)
මේ අවවාදය මහාබෝධිසත්ත්වයකුට හෝ එවැනි උසස් පුද්ගලයකුට හෝ මිස සැමට ම පිළිපැදිය හැකි අවවාදයක් නො වේ. තථාගතයන් වහන්සේ මෙසේ ඉවසීම සම්බන්ධයෙන් බර කොට අවවාද කර ඇත්තේ නො ඉවසීමෙහි කෝපයෙහි ආදීනවය පැවිද්දන්ගේ සිතට තදින් කා වැද්දීම පිණිසය. මේ අවවාදය සිහි කරන බුද්ධගෞරවය ඇති පැවිද්දන්ට සෑම කරුණකදී ම නො කිපී සිටිය හැකි නො වූයේ ද බොහෝ කරුණුවලදී නො කිපී සිටිය හැකි වන්නේ ය. උපන් කෝපය වහා සන්සිඳවා ගත හැකි වන්නේ ය. එබැවින් පැවිද්දන් විසින් මේ කකචූපම අවවාදය පාඩම් කර ගෙන සිහි කළ යුතු ය. ඉවසිය හැකි වීමට පුණ්ණ තෙරුන් වහන්සේගේ චරිතය ද ආදර්ශයට ගත යුතු ය.