සමගියෙන් විසූ මහතෙරුන් වහන්සේලා තෙනමක්

එක් කලෙක ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් නන්දිය ආයුෂ්මත් කිම්බිල යන මහතෙරුන් වහන්සේ තෙනම ගෝසිංහ නමැති වනයක විසූහ. සමගියෙන් වාසය කරන්නා වූ ඒ තෙරුන් වහන්සේලා කෙරෙහි ප්‍ර‍සන්න වූ තථාගතයන් වහන්සේ එක් දිනක සවස් කාලයෙහි ඒ කුලපුත්‍ර‍යන් වහන්සේලා තෙනමට අනුග්‍ර‍හ පිණිස තනිව ම ගෝසිංහ සාලවනය බලා වැඩම කළ සේක. ඒ වනයේ මුර කරුවා දුරදී ම තථාගතයන් වහනසේ දැක “ශ්‍ර‍මණය, මෙහි නො එව, මෙහි වැඩ කැමති කුලපුත්‍රයෝ තිදෙනෙක් වාසය කරති, මෙහි අවුත් ඔවුනට කරදර නො කරනු” යයි කීය. මේ කථාව ඇසී අනුරුද්ධ තෙරුන් වහන්සේ නැගිට බලන්නාහු බුදුන් වහන්සේ දැක හැඳින “පින්වත, භාග්‍යවතුන් වහන්සේ නො නවත්වන්න, ඔය පැමිණ සිටින්නේ අපගේ ශාස්තෘන් වහන්සේ” යි කීහ. ඉක්බිති නන්දිය, කිම්බිල යන තෙරුන් වහන්සේ දෙනමත් කැඳවා ගෙන තථාගතයන් වහන්සේට පෙර ගමන් කළහ. එක් නමක් තථාගතයන් වහන්සේගේ පා සිවුරු පිළිගත්තේය. එක් නමක් අසුනක් පැනවීය. එක් නමක් පා දෝනා පැන් තැබීය. තථාගතයන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හිඳ පා සෝදා ගත් සේක. ඒ තෙරවරු ද තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ ගත්තෝය. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ තෙරුන් වහන්සේලා හා පිළිසඳර කථා කරන සේක්:

“කච්චි පන වෝ අනුරුද්ධ, සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛිරෝදකීභුතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථ”

“කිමෙක් ද? අනුරුද්ධයෙනි, තෙපි සමගියෙන් සතුටින් වාද නො කරමින් ඔවුනොවුන් ප්‍රියචක්ෂුසින් බලමින් කිරි හා දිය මෙන් වී වසන්නහු දැ” යි විචාළ සේක. “එසේය ස්වාමීනි” යි අනුරුද්ධ තෙරුන් වහන්සේ පිළිවදන් දුන්හ. ඉක්බිති තථාගතයන් වහන්සේ “අනුරුද්ධයෙනි, තෙපි කෙසේ ඔවුනොවුන් කිරි හා දිය මෙන් වී සමගියෙන් වසන්නාහු දැ” යි විචාළ සේක.

එකල්හි අනුරුදු තෙරණුවෝ සැලකරන්නාහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ සබ්‍ර‍හ්මචාරීන් වහන්සේලා හා වාසයකරන්නට ලැබීම මට මහත් ලාභයක් ය යහපතක් ය” කියා මම සිතමි, මම ඒ සබ්‍ර‍හ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරියේ දී ත් නැති තැනදීත් නො වෙනස් ලෙස මෛත්‍රී සහගත කායකර්ම, මෛත්‍රී සහගත වාක් කර්ම, මෛත්‍රී සහගත මනඃකර්ම පවත්වමි. එසේ පවත්වන්නා වූ මම මාගේ සිතට අනුව ක්‍රියා නො කොට මේ ආයුෂ්මතුන් වහන්සේලා ගේ සිත අනුව ක්‍රියා කරමි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපගේ ශරීර තුනක් වුව ද සිත නම් එකම ය” යි සැලකළ සේක. නන්දිය තෙරුන් වහන්සේ හා කිම්බිල තෙරුන් වහන්සේ ද එසේ ම සැලකළෝ ය.

තථාගතයන් වහන්සේ ඒ තෙරුන් වහන්සේලා ගේ සමගියෙන් විසීම ගැන සාධුකාර දී ඉක්බිති “කිමෙක් ද අනුරුද්ධයෙනි, තෙපි අප්‍ර‍මාද ව වාසය කරන්නාහු දැ”යි අසා වදාළ සේක. එකල්හි අනුරුද්ධ තෙරුන් වහන්සේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපෙන් යම් තෙරනමක් පිඬු පිණිස හැසිර පළමු කොට විහාරයට පැමිණියේ නම්, ඒ නම අසුන් පනවන්නේ ය, පැන් ගෙනැවිත් තබන්නේය, අතිරේක ආහාර දමන භාජනය තබන්නේ ය. යමකු පසුව ගමින් ආයේ නම් ඒ නම කැමති නම් අතිරේක ආහාර ගෙන වළඳන්නේ ය. නො කැමැත්තේ නම් අතිරේක ආහාර ඉවත් කොට භාජනය සෝදා තබන්නේය. ආසන අකුලා තැන්පත් කර තබන්නේය. පැන් තැබූ භාජන තැන්පත් කරන්නේය. භෝජන ශාලාව අමදින්නේය. භාජනයක පැන් අවසන් වී තිබෙනවා යමකු දුටුයේ නම් ඒ නම එහි පැන් පුරවා තබන්නේය. පැන් බඳුන තනි ව නො ගෙනා හැකි නම් අතින් සංඥා කොට අන් නමක් කැඳවා පැන් භාජනය ගෙනෙන්නේය. ඒ නිසා අපි වචනයක් වියදම් නො කරන්නෙමු. භාග්‍යවතුන් වහන්ස, අපි පස් දිනකට වරක් එක් රාත්‍රියක් මුළුල්ලෙහි ධර්ම කථාවෙන් හිඳින්නෙමුය” යි සැල කළහ. ඒ කථාව අසා ද තථාගතයන් වහන්සේ සාධුකාර දුන්හ.