“ඒකෝ ධම්මේ භික්ඛවේ, ලෝකේ උප්පජ්ජමානෝ උපපජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය, බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමෝ ඒකෝ ධම්මෝ? සංඝසාමග්ගී. සංඝෙ ඛෝ පන භික්ඛවේ, සමග්ගේ න චේව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිහාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛේපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චේව පසීදන්ති පසන්නානඤ්ච භීය්‍යෝ භාවෝ හෝති.”
(ඉතිවුත්තක පාළි)
“මහණෙනි, එක් ධර්මයක් ලෝකයෙහි උපදිනුයේ බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස බොහෝ ජනයා හට දෙවි මිනිසුන්හට අර්ථය පිණිස හිතය පිණිස උපදී. කවර එක් ධර්මයක් ද? සංඝසාමග්‍රිය ය. මහණෙනි, සංඝයා සමගි කල්හි ඔවුනොවුන් අතර වාද විවාදයෝ නො වෙති. ඔවුනොවුන් අතර නුඹලාට මෙසේ මෙසේ කරමුය යන තර්ජනයෝ ද ඇති නොවෙති. ඔවුනොවුන් අතර බැණ ගැනීම් ද නොවෙති. ඒ ඒ අය උත්ක්ෂේපණීය කර්මාදියෙන් බැහැර කිරීම් ද සිදු නොවෙති. ඒ සංඝසාමග්‍රිය නිසා සස්නෙහි නො පැහැදුණෝ ද පහදිති. පැහැදුණවුන් ගේ පැහැදීම ද දියුණු වේය” යනු ඉහත දැක් වූ පාඨයේ තේරුම ය.
මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ පැවිද්දන්ගේ අන්‍යොන්‍ය සමගිය ඔවුන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් ඉමහත් සැපයක් යහපතක් බවය. ඔවුනොවුන් බැණ ගැනීම් ඇන කොටා ගැනීම් මිනිස් ගති නොව තිරිසන් ගති ය. ලෝකයෙහි විනීත ශුද්ධ පුද්ගල කොටසක් ලෙස සැලකෙන පැවිද්දන් අතර ඒ තිරිසන් ගති පහත් ගති ඇති වෙනවා නම් එය ඉතා අමනෝඥය. පැවිද්දන් භේද වී වෙසෙනවා නම් ඔවුන් අතර බැණීම්, තර්ජනය කිරීම්, එකිනෙකාට පහර දීම්, ඔවුනොවුන්ගේ අගුණ පැතිරවීම්, ඔවුනොවුන්ට ආපත්ති ආදියෙන් චෝදනා කිරීම්, දුබලයන් පන්සල්වලින් නෙරපා දැමීම්, දුබලයන් ගේ පන්සල් අල්ලා ගැනීම්, නඩු කීම්, නඩු කියවීම් යන මේ පැවිද්දන්ට අයෝග්‍ය වූ පහත් ක්‍රියා සිදු වන්නේ ය. ඇතැමෙක් අනුන්ට අලාභ හානි කිරීමෙන් හා කරවීමෙන් ද අනුන් අයත් දේ අල්ලා ගැනීමෙන් ද, නඩු කීමෙන් හා නඩු කියවීමෙන් ද පාරාජිකාවට පැමිණ භික්ෂූත්වයෙන් ද පහවන්නාහ. පැවිද්දන් ඔවුනොවුන් කෝලාහල කරනු දක්නා ගිහියෝ “මොවුන් ළඟ කිසි ගුණයක් නැත. අපට තරමටවත් ගුණයක් මොවුන්ට නැත. මොවුන් ඇසුරු කිරීමෙන් මොවුනට දන් දීමෙන් අපට ඇති යහපතක් නැත ය” කියා පැවිද්දන් වර්ජනය කරන්නාහ. පහත් කොට සිතන්නාහ. එය පැවිද්දනට කොතරම් ලජ්ජාවට කරුණක් ද? යම් විහාරයක භික්ෂූහු එකිනෙකා භේද ව ඔවුනොවුන්ට වෛර කෙරෙමින් වෙසෙත් නම්, ඒ භික්ෂූන්ට දවසෙහි වැඩි කාලයක ඇති වන්නේ ද්වේෂ සහගත සිත් ය. ඒවා පව් සිත් ය. පැවිදි වන්නේ පවින් වැළකී විසීමටත් ගිහි ව ඉන්නවාට වඩා පින් සිදු කර ගැනීමටත් ය. යමකු පැවිද්දෙහි සිට දවසෙන් වැඩි වේලාවක් පව් රැස් කරනවා නම් එය ඉතා පහත් ක්‍රියාවෙකි. නිතර ද්වේෂයෙන් වෙසෙන තැනැත්තාට මරණ මොහොතෙහි දී එය අමතක කර දැමීම පහසු නො වන්නේ ය.
“ඉමම්හි චායං සමයේ කාලංකයිරාථ පුග්ගලෝ,
නිරයං උපපජ්ජෙය්ය චිත්තං හිස්ස පදූසිතං.”
යනුවෙන් වදාරා ඇති පරිදි ද්වේෂයෙන් මැරෙන්නට සිදු වුව හොත් ඔවුනොවුන් වෛරී ව ඉන්න ඒ භික්ෂූන්ට සිදු වන්නේ මෙලොවත් පිරිහී මරණින් මතු ද නරකයට යෑමට ය. ඉතා දුකසේ දිවි හිමියෙන් මහණකම් කොට අපායටත් යන්නට සිදු වීම කොතරම් අවාසනාවක් ද? භේද වී ඔවුනොවුන්ට රවමින් ඔවුනොවුන්ට චෝදනා කර ගනිමින් ඔවුනොවුන් ගේ වැරදි කියා ගනිමින් ඔවුනොවුන් හා වෛරී ව වෙසෙන භික්ෂූන් ඇති පන්සලත් අපායක් වැනි අවාසනාවත් තැනකි. ඔවුනොවුන් මෛත්‍රියෙන් කරුණාවෙන් වෙසෙන ගිහි ගෙය එයට වඩා යහපති. කරුණු මෙසේ හෙයින් භේදය පැවිද්දන්ට මහත් පරිහාණියක් නපුරක් බව කිව යුතු ය.
යම් තැනක භික්ෂූන් භේද භින්න වී විසීම ඒ භික්ෂූන්ට පමණක් නොව එයට සම්බන්ධ නැති භික්ෂූණ්ට ද තරමක කරදරයෙකි. ඒ විහාරවල දායකයනට ද කරදරයෙකි. භේද වී ඉන්නා භික්ෂූන්ට හිතවත් දායකයෝ ද ඥාති මිත්‍රයෝ ද ඒ භික්ෂූන් නිසා භේද වෙති. සමහරවිට ඒ නූගත් ගිහියෝ ඔවුනොවුන් විරුද්ධ වී ඉන්නා භික්ෂූන් ගේ කියුම් පිළිගෙන අධර්ම ක්‍රියාවලට සහභාගී වී අපාගත වන තැනට කරුණු ද සලසා ගනිති. තථාගතයන් වහන්සේ සංඝ භේදය දෙවියන් සහිත සියලු ලෝකයට ම නපුරකැ යි වදාළේ එහෙයිනි.
භේදවලින් තොර ව සමගියෙන් විසිය හැකි වීමට භේදයට කරුණුවන දේ සොයා ඒවා නැති කර දැමිය යුතුය. සමගියට හේතු වන කරුණු ඇති කර ගත යුතු ය. නිකාය භේද - කුල භේද - පළාත් භේදාදිය සැලකීම භේදයට එක් කරුණෙකි.
“සෙය්යථාපි පහාරාද, යා කාචි මහානදියො, සෙය්යථිදං? ගංගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහා සමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාම ගොත්තානි, මහාසමුද්දොත්වෙව සංඛං ගච්ඡන්ති. එවමෙව ඛො, පහාරාද, චත්තාරෝ මේ වණ්ණා ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා, තේ තථාගතප්ප වේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, සමණා සක්යපුත්තියාත්වේව සංඛං ගච්ඡන්ති.”
(අංගුත්තර අට්ඨක මහාවග්ග)
යනුවෙන් ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන මහාගංගාවන් මහා සාගරයට පැමිණි කල්හි ඒවායේ පළමු නම් නැති වී පළමු පැවති ස්වභාවය නැති වී මහා සමුද්‍රය ම වන්නාක් මෙන්, නොයෙක් ජාතිවලින් නොයෙක් කුලවලින් නොයෙක් පළාත්වලින් සස්නෙහි පැවිදි වන සෑම දෙන ම පළමු පැවති නම් ගොත් නැති වී බුද්ධ පුත්‍රයන් ම වන බව තථාගතයන් වහන්සේ විසින් පහාරාද අසුරේන්ද්රයාහට වදාරන ලද්දේ ය. බුදුරජාණන් වහන්සේ සලකන්නේ උන්වහන්සේ ගේ සස්නෙහි පැවිදි වී ඉන්නා සැම දෙන උන්වහන්සේ ගේ පුත්‍රයන් ලෙස ය. ඒ අනුව සස්නෙහි පැවිදි වී ඉන්නා සෑම දෙන විසින් ම අන් සෑම බුද්ධ පුත්‍රයන් තමන් ගේ සොහොයුරන් ලෙස සැලකිය යුතු ය. අසවලා අසවල් කුලයේ ය, අසවල් පළාතේ ය, අසවල් නිකායේය. අසවල් හාමුදුරුවන් ගේ ගෝලයෙක කියා එක් පැවිද්දකුදු කොන් නො කළ යුතු ය.
අධික ලෝභය ද සමගිය නැති වීමේ එක් හේතුවකි. අධික ලෝභියා පන්සල්වල ඇත්තා වූ ද පන්සල්වලට ලැබෙන්නා වූ ද සැම දෙය ම තමා සතු කර ගැනීමටත් තමන් ගේ අයට අල්ලා දීමටත් උත්සාහ කරයි. එයින් ද අන්‍යයන් ගේ සිත් රිදී බිඳී භේද ඇති වේ.
අධික මානයත් අසමගියේ එක් හේතුවකි. මානාධිකයා සැම තැනදී ම තමා ම මුල් තැන ගන්නට අන්‍යයන් තමාට අනුකූල කරවා ගැනීමට උත්සාහ කරයි. තමා සංඝයා හට හා වැඩිමහල්ලන්ට අනුකූල ව විසීමට කැමති නොවේ. එයින් ඔහු අන්‍යයන්ට අප්‍රිය වෙයි.
ඊර්ෂ්‍යාව ද අසමගියේ එක් හේතුවකි. ඊර්ෂ්යාකාරයා අනුන්ගේ ලාභ නැති කිරීමට කීර්තිය නැති කිරීමට දායකයන් කලකිරවීමට උත්සාහ කරයි. එයින් අනුන්ගේ සිත් රිදී භේද ඇති වේ.
අධික මසුරුකම භේදයට තවත් හේතුවකි. අධික මසුරා තමන් වෙසෙන පන්සලේ අනිකකු විසීම නො ඉවසයි. තමාගේ හෝ සඟසතු වූ හෝ බඩුවලින් අනිකකු ප්‍රයෝජන ලබනවාට නො කැමති වෙයි. තමා යටතේ ඉන්නා අයකුගෙන් සුළු වැඩක්වත් අන් පැවිද්දකු කරවා ගන්නවාට නො කැමති වෙයි. තමාගේය කියා සලකාගෙන ඉන්නා දායකයන්ගෙන් හා තමන්ගේ ඥාතීන්ගෙන් අන් පැවිද්දකු ප්‍රයෝජනයක් ලබනවා නො ඉවසයි. මේවායින් ඒ පැවිද්දා අන්‍යයන්ට අප්‍රිය වීමෙන් භේද හටගනී. නො ඉවසන ගතියත් භේදයට හේතුවකි.
ඇතැම් විහාරාධිපතීහු සෙස්සන්ට සාධාරණ ලෙස නො සලකති. ඇතැම් ගුරුවරු ගෝලයන්ට සාධාරණ ලෙස නො සලකති. ඒවා ද භේදවලට හේතු ය. භේදවලට හේතු වන මේ හැම දුර්ගුණයක් ම නැති කර ගැනීමට පැවිද්දන් උත්සාහ කළ යුතු ය. සමගියට හේතු වන කරුණු සයක් ස්මරණීය ධර්ම යන නාමයෙන් තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ ය. ඒ ධර්ම පැවිද්දන් විසින් තමන් කෙරෙහි ඇති කර ගත යුතු ය.