අධිමුත්තසාමණේර නම සංකිච්ච තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි. දිනක් සංකිච්ච තෙරුන් වහන්සේ අධිමුත්ත සාමණේරයන් අමතා “සාමණේරය, දැන් ඔය නම ලොකු ය, උපසම්පදා කිරීම සඳහා ගෙදර ගොස් වයස අසා දැන ගෙන එන්න” යයි කීහ. සාමණේර නම “එසේ ය, ස්වාමීනි” යි කියා පාසිවුරු ගෙන පිටත් විය. ඒ නම ක්‍රමයෙන් සොරුන් වෙසෙන මහ වනයෙන් මොබ නැඟණියන් වසන ගමෙහි පිඬුපිණිස හැසිරිණ. නැඟණියෝ සාමණේර නම දැක වැඳ සිය නිවසෙහි වඩා හිඳුවා වැළඳ වූහ. වළඳා අවසානයෙහි සාමණේර නම තමාගේ වයස ඇගෙන් විචාළේ ය. ඕ තොමෝ මෑණියන් මිස එය තමා නො දන්නා බව කීවා ය. “එසේ නම් මම මෑණියන් වෙත යමි” යි කියා සොරුන් වෙසෙන වනයෙන් ඔබ මෑණියන් වෙසෙන ගමට යනු පිණිස වනයට ඇතුළු විය. එහි දී සොරු සාමණේර නම අල්ලා ගත් හ. තමන් එහි වෙසෙන බව ජනයාට ආරංචි නොවනු පිණිස වනයට ඇතුළු වුණු, ගන්නට ධනයක් නැති අය ද මරා දැමීම සොරුන්ගේ සිරිත ය. පැවිද්දකු නිසා සාමණේර නම අත හැර දැමීමට සමහර සොරු කථා කළහ. සමහරු මරා දමන්නට කථා කළහ. ඔවුන්ගේ කථා ඇසූ සාමණේර නම “මා තව ම ශ්‍රමණ කෘත්‍යය මුදුන්පත් කරගෙන නැත. මම ඉදිරියට කටයුතු ඇති ශෛක්ෂයෙක්මි. ඒ නිසා මොවුන් හා කථා කොට මොවුන්ගෙන් නිදහස් වන්නෙමි” යි සිතා සොර දෙටුවාට කථා කොට,
“ඇවැත්නි, නුඹට උපමාවක් කියන්නෙමි” යි මෙසේ කීය.
“අහූ අතීතමද්ධානං අරඤ්ඤස්මිං බ්‍රහාවනේ,
චේතෝ කූටානි ඔඩ්ඪෙත්වා සසකං අවධී තදා.
-
සසකඤ්ච මතං දිස්වා උබ්බිග්ගා මිගපක්ඛිනෝ,
එකරත්තිං අපක්කාමුං අකිච්චං වත්තතේ ඉධ.
-
තථෙව සමණං හන්ත්වා අධිමුත්තං අකිඤ්චනං
අද්ධිකා නාගස්මිස්සන්ති ධනංජානි භවිස්සථ”
පෙර මහ වනයෙහි වැද්දෙක් උගුල් අටවා සාවකු මැරීය. ඒ වනයෙහි විසූ සියලු සත්තු සාවා මැරී සිටිනවා දැක බිය පත්ව “මෙහි නපුරක් ඇත” යයි එදින ම වනය හැර පලා ගියෝය. එයින් මේ වනයෙහි වැද්දාට දඩයම් නැති විය. මා මැරුව හොත් නුඹලාටත් එබන්දක් සිදු වනු ඇත. මා මරා නුඹලාට මාගෙන් ගන්නට දෙයක් ද නැත. මා මැරුව හොත් මේ වනයට ඇතුළු වුණු පැවිද්දකුට පවා ආපසු එන්නට නො ලැබෙති යි කියා ඉන්පසු කිසි ම මිනිසකුදු මේ වනයට ඇතුළු නො වෙනවා ඇත. එයින් නුඹලාට ධන හානියක් වෙනවා ඇත. සාමණේර නමගේ කීම අසා සිටි සොරු මේ පැවිද්දා කියන කරුණ සත්‍යයෙකැයි තමන් වනයෙහි ඇති බව පෙරමග එන කිසිවකුට නො කියන ලෙස සාමණේර නම පොරොන්දු කරවා ගෙන නිදහස් කර හැරියෝ ය. සොරුන්ගෙන් නිදහස ලැබ යන අධිමුත්ත සාමණේර නමට ඒ වනය පසු කර යන්නට එන තමාගේ මා පිය දෙදෙන තමාගේ සහෝදරිය හා සහෝදරයා ද සමග පෙරමග හමුවූහ. සාමණේර නම තමාගේ මාපියන් නිසා ද පොරොන්දුව කඩ නො කෙළේ ය. සත්‍යයෙහි පිහිටා ඉදිරියට ගමන් කෙළේ ය. වනයෙහි දී සාමණේර නමගේ නෑ පිරිස සොරුන් විසින් ගන්නා ලද හ. එකල් හි සාමණේර නමගේ මෑණියෝ මේ විපත දැන ගෙන ද “අධිමුත්තයෝ අපට නො කීහ” යි සාමණේර නම ගැන සඳහන් කරමින් හඬන්නට පටන් ගත් හ. එය ඇසූ සොරා “අධිමුත්ත සාමණේරයෝ නුඹේ කවුදැ” යි ඇසී ය. ඕ තොමෝ “මම අධිමුත්තගේ මව ය, මේ අධිමුත්තගේ පියා ය, මේ දෙදෙන අධිමුත්තගේ සහෝදරිය හා සහෝදරයා” යයි කීවා ය.
“ඒතං ඛෝ වත්තං සමණානං අරියානං ධම්මජීවිනං
සච්චවාදී අධිමුත්තෝ යං දිස්වා න නිවාරයේ
-
අධිමුත්තස්ස සුචිණ්ණේන සච්චවාදිස්ස භික්ඛුනෝ
සබ්බේව අභයං පත්තා සොත්ථිං ගච්ඡන්තු ඤාතයෝ.”
“එකල්හි සොරු මේ පොරොන්දු කඩ නො කිරීම සත්‍යයෙහි පිහිටීම ධර්මයෙන් ජීවත් වන ආර්‍ය්‍ය වූ ශ්‍රමණයන්ගේ යුතුකම ය. නුඹලාට කාරණය නොකී නුඹලා නො නැවැත් වූ අධිමුත්ත සත්‍යවාදියෙක, අධිමුත්තගේ ඒ යහපත් පැවැත්ම නිසා නුඹලා ද නිදහස් කරමු” යි කියා ඔවුන් ද නිදහස් කර හැරියෝ ය. ඔවුහු නිදහස් වී අධිමුත්තයන් වෙත ගොස් “දරුව, සත්‍යවාදී පැවිද්දකු වූ ඔබගේ යහපත් පැවැත්ම නිසා අපි ද නිදහස ලැබුවෙමු” යි කියා සාමණේර නමට ස්තුති කළෝ ය. ඒ සොරු ද අධිමුත්ත සාමණේර නමගේ ගුණයෙහි පැහැදී සොරකම් කිරීම හැර පැවිදි ව උපසම්පදාව ද ලබා අධිමුත්තයන්ගේ අවවාදානුශාසනා අනුව පිළිපැද සැම දෙන පසු කාලයේ දී රහත් වූහ.