මහිච්ඡතා

කොතෙක් ලදත් සෑහීමකට පත් නො වී තව තවත් බලාපොරොත්තු වන, මහත් මහත් දේ බලාපොරොත්තු වන, කොපමණ ලදත් තව තවත් සොයන ස්වභාවය මහිච්ඡතා නම් වේ. තමා ගේ ගුණ අනුන්ට දක්වන ස්වභාවය හා පිළිගැනීමේ හා පරිභෝගයේ පමණ නො දන්නා බව මහිච්ඡතාව ඇතියහුගේ ලක්‍ෂණයෝ ය. බඩු පෙනෙන්නට තිබියදීත් අසවල් බඩුවත් තිබෙනවාය, අසවල් බඩුවත් තිබෙනවා ය, හොඳ බඩු තිබෙනවා ය, ලාබෙට දෙනවා ය කියා කෑ ගාන වෙළෙන්දා මෙන් මහේච්ඡ පුද්ගලයා “මම සිල්වතෙක, පිණ්ඩපාතිකයෙක, ආරණ්‍යකයෙක, යෝගාවචරයෙකැ”යි කියා පාන්නේ ය. එයින් පැහැදුණු අනුවණ මිනිසුන් ගෙනෙන ප්‍ර‍ත්‍යය ඇතය නො කියා කොපමණ ගෙනාවත් ඔහු සියල්ල පිළිගනී. කොපමණ දර දැමූවත් ගින්නට සෑහීමක් නැතුවාක් මෙන් කොපමණ ජලය ලැබුණත් සාගරයට සෑහීමක් නො වන්නාක් මෙන් මහිච්ඡතාව ඇති පුද්ගලයාට කොපමණ ප්‍ර‍ත්‍යය ලැබුණත් සෑහීමකට පත් වන්නේ නැත. එහෙයින් -

“අග්ගික්ඛන්ධො සමුද්දෝච මහිච්ඡෝචාපි පුග්ගලෝ,

බහුකේ පච්චයේ දෙන්තේ තයෝපේතේ න පූරයේ”

යනු කියන ලදි. මහේච්ඡ පුද්ගලයා ලොව අප්‍රියයෙකි. වැදූ මවට පවා හේ අප්‍රිය ය.

කැවුම්වලට කැමති තරුණ භික්ෂුවක් විය. වස් එළඹෙන දිනයේ ඔහුගේ මව “මාගේ පුත්‍ර‍යා පිළිගැනීමෙහි පමණ දන්නේ නම් මේ තෙමස මුළුල්ලෙහි ම කැවුම්වලින් සංග්‍ර‍හ කෙරෙමි” යි සිතා, භික්ෂුව විමසනු පිණිස ඔහුට එක් කැවුමක් දින. එය කෑ පසු තවත් කැවුමක් දින. භික්ෂු තෙමේ එය ද කෑවේ ය. මවු තොම තුන්වනුව ද කැවුමක් දින. භික්ෂුව එය ද කෑවේ ය. මව පුත්‍ර‍යා ගේ පමණ නො දන්නා බව දැන “මාගේ පුතා තුන් මාසයේ ම කැවුම් අද ම කෑවේ ය” යි සිතා එතැන් පටන් එක කැවුම කුදු නුදුන්නා ය.

තිස්ස රජතුමා දිනපතා සෑගිරියෙහි භික්ෂූන්ට දන් දුන්නේ ය. “මහරජ, එක් තැනකට ම දෙන්නේ ඇයි? අනික් තැන් වලටත් දෙන්නට නො වටනේදැ” යි මහජනයා කියන ලදුව, දෙවන දිනයෙහි අනුරාධපුරයේ මහා දානයක් දෙවී ය. එක් භික්ෂුවකුදු පිළිගැනීමේ ප්‍ර‍මාණය නො සැලකුවේ ය. එක එක භික්ෂුවක් විසින් දෙතුන් දෙනකු විසින් එසවිය යුතු තරමට ආහාර පිළිගන්නා ලද්දේ ය. රජ දෙවන දිනයෙහි සෑගිරියේ සඟනට ආරාධනා කරවා රජ ගෙදර පැමිණි සංඝයාගෙන් පාත්‍ර‍ය ඉල්ලී ය. “මහරජ, භික්ෂූන් තම තමන්ට සෑහෙන පමණට ආහාර පිළිගන්නවා ඇතය” කියා පාත්‍ර‍ නුදුන්හ. පැමිණි සියලු භික්ෂූහු තම තමන් යැපෙන පමණට ආහාර පිළිගත්හ. රජු මහජනයා අමතා “බලන්න, ඊයේ පැමිණි නුඹලා ගේ භික්ෂූන් පිළිගැනීමේ පමණ නො දන්නා නිසා කිසිවක් ඉතිරි නො වීය. අද පිළිගත්තේ ටික ය. ඉතිරි ආහාර ම වැඩි ය” කියා සෑගිරියේ සංඝයා ගේ පමණ දැනීම ගැන ප්‍ර‍සාදයත්, අනුරාධපුරයේ සංඝයගේ පමණ නො දැනීම ගැන අප්‍ර‍සාදයත් ප්‍ර‍කාශ කෙළේ ය.

අල්පේච්ඡ භික්ෂුවට නො පහන් ජනයෝ පහදිති. පැහැදුණාහු ව වඩා පහදිති. බොහෝ ලාභ ද උපදී. අල්පේච්ඡ භික්ෂුව නිසා බුදුසසුන බැබළේ. චිරස්ථායි ද වේ.

රුහුණෙහි කුලූම්බරිය නම් විහාරයෙහි එක් තරුණ භික්ෂුවක් දුර්භික්ෂ කාලයේ දී දිනපතා පිඬු පිණිස එක් ලම්බකර්ණයකු ගේ ගෙදරට යයි. ගෙහිමියෝ භික්ෂුවට වැළඳීමට දිනපතා බත් සැන්දක් දෙති. ගෙන යෑමට ද තවත් බත් සැන්දක් දෙති. එක් දිනක භික්ෂුව එහි ගිය කල්හි ඒ ගෙට අමුත්තෙක් පැමිණ සිටියේ ය. ඒ නිසා එදින භික්ෂුව එක බත් සැන්දක් පමණක් පිළිගත්තේ ය. ඒ කාරණයෙන් ගෙහිමියා ඒ භික්ෂුවට පැහැදී “අප නිවසට පැමිණෙන භික්ෂුව ගේ සැටි මෙසේ ය” යි රාජද්වාරයෙහි ඔහුගේ මිතුරන් ට ද කීය. සැම දෙන ම ඒ භික්ෂුව කෙරෙහි පැහැදී එදින ම ඒ භික්ෂුවට දිනපතා දෙන බත් සැටක් පිහිටවූහ. මෙසේ අල්පේච්ඡයා හට බොහෝ ලාභ උපදින්නේ ය. තවත් මෙවැනි කථා ගණනක් අපේ දහම් පොත්වල සඳහන් ව ඇත්තේ ය.