පාපිච්ඡතා

අත්‍රිච්ඡා මහිච්ඡා දෙකට ම වඩා ලාමක වූ ලෝභය පාපිච්ඡතා නම් වේ. නැති ගුණ ප්‍ර‍කාශනය හා පමණ ඉක්මවා ප්‍ර‍ත්‍යය පිළිගැනීම පාපේච්ඡයා ගේ ලක්‍ෂණයෝ ය. පාපේච්ඡ පුද්ගල තෙමේ තමා කෙරෙහි මඳකුදු ශ්‍ර‍ද්ධාව නැති ව ශ්‍ර‍ද්ධාවතකු ගේ ආකාරය දක්වයි. ඔහු මිනිසුන් පන්සලට එන වෙලාව බලා, ඉදල ගෙන විහාර මලු දාගැබ් මලු බෝමලු අමදින්නට පටන් ගනී. මලසුන් සෝදන්නට පටන් ගනී. කසළ ඉවත් කරන්නට පටන් ගනී. මල් පුදන්නට පටන් ගනී, මහ හඬින් ගාථා කියා වඳින්නට පටන් ගනී. බලා ඉන්නා මිනිස්සු ශ්‍ර‍ද්ධාව බොහෝ ඇති හොඳ හාමුදුරු කෙනෙක් ය යි සිතා ඒ භික්ෂුවට සත්කාර කරන්නට කල්පනා කරති.

දුශ්ශීල ව සිට ගෙන ම ගිහියන් ඉදිරියේ ශීලය ගැන කථා කරයි. ගිහියන් ඉදිරියේ දී “ස්වාමීනි, මා අමදින කල්හි තණ කැඩී ගියේය. සක්මන් කිරීමේ දී කුඩා සතුන් පෑගී මළහ. අමතක වී තණ මත කෙළ ගැසුවෙමි. එයින් මට ඇවැත් සිදු වීදැ” යි විනයධරයන්ගෙන් විචාරයි. “ඇවැත්නි, ඒවායින් ඇවැත් සිදු වන්නේ නැතය” යි විනයධරයන් කී කල්හි “ස්වාමීනි, හොඳට විමසා කියන්න. ඕවා ගැනත් මගේ සිතට නම් සැක පහළ වන්නේ ය” යි කියයි. කථාව අසන ගිහියෝ සුළු දේ ගැනත් මෙතරම් දුරට සොයන මේ හාමුදුරුවෝ කොතරම් සිල්වත් කෙනෙකු විය යුතු දැයි සිතා ඒ භික්ෂුවට සත්කාර කරන්නට සිතති. ඇතැම් පාපිච්ඡයෝ කරන කිසි ම භාවනාවක් නැති ව මුළු රාත්‍රියේ ම නො නිදා භාවනා කරන ලෙස හඟවා මිනිසුන් පහදවති. මෙසේ නොයෙක් ආකාරයෙන් බොරු වෙන් ජනයා පහදවා ප්‍ර‍ත්‍යය සැපයීම පාපිච්ඡයන් ගේ සිරිත ය. අප්පිච්ඡතා සන්තුට්ඨිතා ගුණ දෙක්හි පිහිටි පැවිද්දන් හට මේ ලාමක ක්‍රියා නො කොට දිවි පැවැත්විය හැකි ය.

අප්පිච්ඡතා සන්තුට්ඨිතා ගුණ දෙකින් ද සන්තුට්ඨිතාව ප්‍ර‍ධාන බව කිය යුතු ය. බොහෝ දේ පැතීම සෙවීම කරන්නේ සන්තුෂ්ටිය නැති නිසා ය. ඇති පමණින් සතුටු වී ඉඳීම පුරුදු කර ගෙන ඇති නම් ඔහුට තවත් දේ පතන්නට සොයන්නට වුවමනාවක් නැත. ලද පමණින් සතුටු වන ස්වභාවයත් සියල්ල තිබීම වැනි ය. එබැවින් ඔහුට ජීවත් වීමේ අපහසුව නැත. ඒ සන්තුෂ්ටිය උතුම් ධනයෙකි. එ බැවින් තථාගතයන් වහනසේ “සන්තුට්ඨි පරමං ධනං” යනු වදාළ සේක.