අනුන්ගෙන් යමක් ගැනීම හොඳ වැඩක් නො ව පහත් වැඩකි. එය කරන පැවිද්දා විසින් අනුන්ට නො රිදෙන පරිදි පරෙස්සමෙන් කරන්නට උගත යුතු ය. එය කළ යුතු අන්දම තථාගතයන් වහන්සේ මෙසේ වදාරා තිබේ.
“යථාපි භමරෝ පුප්ඵං වණ්ණගන්ධං අහේඨයං,
පලේති රස මාදාය එවං ගාමේ මුනි චරේ.”
“යම් සේ බමරා මල්වලටත් ඒවායේ වර්ණයටත් සුගන්ධයටත් හානියක් නොවන ලෙස මල්වලින් රොන් ගෙන යන්නේ ද, එසේ ම පැවිද්දා විසින් කිසිවකුට හානියක් නො වන පරිදි ගමෙහි හැසිරිය යුතු ය.” යනු ගාථාවේ තේරුම ය.
පැවිද්දා විසින් මඳක් දෙනු කැමති පොහොසත් දායකයා ගෙන් ඔහු ගේ අදහස අනුව දෙන ස්වල්පය පිළිගත යුතු ය. “අප්පදානං න හීලෙය්ය දාතාරං නාවජානියා” යනුවෙන් වදාරා ඇති පරිදි මඳ වූ දීමනාවට ගර්හා නො කළ යුතු ය. දෙන තැනැත්තාට හෝ ගර්හා නො කළ යුතු ය. දුප්පත් දායකයා බොහෝ දෙනු කැමති වුවත් ඔහුගේ වත්කම අනුව ඔහුගෙන් ස්වල්පයක් ම පිළිගත යුතු ය. පොහොසත් දායකයා බොහෝ කොට දෙනු කැමති කල්හි තමාගේ පමණ බලා යැපෙන පමණට පිළිගත යුතු ය. මේ ගැනීම සම්බන්ධයෙන් පැවිද්දන් විසින් පිළිපැදිය යුතු ආකාරය.