ඉල්ලීම ඉතා ලාමක ක්‍රියාවකි. එය ජනයා ගේ අප්‍රසාදයටත් බලවත් හේතුවකි. මිනිසුන් ධනය සපයන්නේ ඉතා අමාරුවෙනි. බොහෝ දුක් විඳිමිනි. එය ඔවුන් කරන්නේ අනුන්ට දීමට නොව තම තමන්ගේ අමාරුකම නැති කර ගැනීම පිණිස ය. අමාරුවෙන් ධන සපයන මිනිසුන්ට පෙනෙන්නේ ඉල්ලන තැනැත්තා සතුරකු ලෙස ය. ඉල්ලන තැනැත්තා ඔවුන්ට ඉතා ම අප්‍රිය ය. එබැවින් පැවිද්දන් විසින් හැකි තාක් ඉල්ලීමෙන් වැළකිය යුතු ය. කැමැත්තෙන් අනුන් දෙන දෙයක් පමණක් පිළිගත යුතු ය.
පෙර අලව් නුවර භික්ෂූන් ලොකු ලොකු ආවාස සාදන්න පටන් ගෙන නිතර ගිහියන්ගෙන් නොයෙක් දේ ඉල්ලන්නට පටන් ගැනීමෙන් අලව් නුවර වැසියන්ට පැවිද්දන් එපා විය. ඔවුහු පැවිද්දන් එනු දුටු විට පලා යන්නටත් ඉවත බලන්නටත් දොර වසා දමන්නටත් පටන් ගත්හ. අධික ඉල්ලීම නිසා පැවිද්දකුට ඒ නුවරින් පිණ්ඩපාතය පවා ලබා ගැනීම අපහසු විය. ඒ කාලයේ දී මහකසුප් තෙරුන් වහන්සේ රජගහ නුවර වස් එළඹ සිට පවාරණය කර අලව් නුවර කරා වැඩම කළහ. උන්වහන්සේ අග්ගාලව චේතිය නම් විහාරයෙහි නැවතී පසුදින පිඬු පිණිස අලව් නුවරට වැඩම කළහ. අලව් නුවර වැසියෝ තෙරුන් වහන්සේ දැක බිය වූහ. ඇතැම්හු පලා ගියහ. ඇතැම්හු අහක බලා ගත්හ. ඇතැම්හු දොර වසා ගත්හ. මහකසුප් තෙරුන් වහන්සේ විහාරයට පෙරළා අවුත් භික්ෂූන් අමතා “ඇවැත්නි, පෙර මේ අලව් නුවර පහසුවෙන් පිණ්ඩපාතය ලැබෙන නගරයක. අද එසේ නො වේය. ඊට හේතුව කවරේදැ” යි විචාළහ. භික්ෂූහු උන් වහන්සේට කාරණය දැන්වූහ. මහකසුප් තෙරුන් වහන්සේ ඒ කාරණය බුදුන් වහන්සේට සැල කළහ. තථාගතයන් වහන්සේ අලව් නුවර භික්ෂූන් රැස් කරවා අනේකාකාරයෙන් ඉල්ලීමෙහි ආදීනවය දක්වමින් දහම් දෙසා කුටිකාර සිකපදය ද පනවා වදාළ සේක.
අලව් නුවර භික්ෂූන්ට තථාගතයන් වහන්සේ වදාළ එක් කරුණක් නම් මණිකණ්ඨ නාගරාජයාගේ කථාව ය.
ඒ මෙසේය:
පෙර සහෝදරයෝ දෙදෙනෙක් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව ගංගාතීරයේ පන්සල් දෙකක් සාදා ගෙන විසූ හ. වැඩිමහලු තාපසතුමා ගේ පන්සල උඩු ගඟ ද බාල තාපසතුමාගේ පන්සල ගඟ පහළ ද විය. මණිකණ්ඨ නම් නාග රාජයා මිනිස් වෙසින් ගංතෙර ඇවිදින්නේ බාල තාපසයන්ගේ පන්සලට ගොස් කථා කරමින් සිටීමට පුරුදු විය. ක්‍රමයෙන් දෙදෙනාගේ මිත්‍රත්වය දියුණු විය. ඔවුනට ඔවුනොවුන් නො දැක නො විසි හැකි විය. මණිකණ්ඨ නිතර තාපසයා වෙත ගොස් කථා කරමින් සිට වැඩි ප්‍රේමය නිසා යන කල්හි මිනිස් වෙස හැර නාගවේශයෙන් තාපසයා වැළඳ ගනී. තාපසයාගේ ශරීරයෙහි නාගයා වෙළී පෙණය හිස මත තබා ගෙන මඳ වේලාවක් සිට නාගරාජයා යන්නේ ය. තාපසයාට එයින් මහත් බියක් හට ගනී. ඒ බිය නිසා තවුසාගේ ශරීරයත් දිරා යන්නට විය දිනක් බාල තවුසා වැඩිමහලු තාපසතුමා ගේ පන්සලට ගියේ ය තමාගේ සහෝදරයාගේ ශරීරය කෘශ වී සුදුමැලි වී නහර මතු වී තිබෙනු දුටු වැඩිමහලු තාපසතුමා එයට හේතු විචාළේ ය. හේ කෘශ වීමේ හේතු කීය.
එකල්හි වැඩිමහලු තාපසතුමා “නාගරාජයා ගේ පැමිණීම නවතිනවාට නුඹ කැමති දැ” යි ඇසී ය. බාල තවුසා “එසේය” යි කීය. නාගරාජයා නුඹ වෙත එන කල්හි “කිනම් ආභරණයක් පැළඳ එන්නේදැ”යි මහලු තවුස්තුමා විචාළේ ය. “මිණි රුවනක් පැළඳ එන්නේ” යයි බාල තවුසා කීය. එසේ නම් නාගරාජයා නුඹ වෙත පැමිණි කල්හි “වාඩිවන්නටත් කලින් මිණි රුවන ඉල්ලව, දෙවන දිනයෙහි පන්සල් දොරකඩ සිට දුර සිටියදී ම මිණි රුවන ඉල්ලව, තුන්වන දිනයේ නාගරාජයා ගඟින් මතු වත් ම මිණිරුවන ඉල්ලව, ඉන්පසු නාගරාජයාගේ ඒම නවතිනු ඇත” යි වැඩිමහලු තවුස්තුමා උපදෙස් දින. බාල තවුසා වැඩිමහලු තවුසාගේ උපදෙස් පරිදි පළමු දින නාරජු පන්සලට ඇතුළු වනු සමඟ ම “ඔය ගෙළ පැළඳි මිණිරුවන මට දී යන්න” යයි කීය. නා රජ කිසි කතාවක් නො කොට පලා ගියේ ය. දෙවන දින තවුසා දොරකඩ සිට නාරජු එන කල්හි “අදවත් මට මිණිරුවන දෙන්නය” යි කීය. නා රජ පන්සලට නොපිවිසම පලා ගියේ ය. තුන්වන දිනයෙහි නා රජු ගඟ දියෙන් මතු වත් ම “දැන් දෙදිනක් ඉල්ලලාත් මිණි රුවන නුදුන්නෙහි ය, අදවත් එය දෙන්න ය”යි කීය.
නා රජ ගඟදියෙහි ම හිඳ කියනුයේ “තවුසාණෙනි, මේ මාණික්‍ය රත්නය නිසා මට බොහෝ ආහාරපාන ලැබෙන්නේ ය. එය ඔබට නොදෙන්නෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහි ය. ඔබගේ පන්සලට ද මම නො එන්නෙමි. ඔබ කඩුවක් ගෙන තර්ජන කරන්නකු සේ මා බියට පත් කළෙහිය”යි කියා නාග භවනයට ම ගියේ ය. ඉන් පසු කිසි කලෙක නා රජ තවුසා වෙත නො ආයේ ය. ඉල්ලීමේ ඇති නපුරුකම මෙයින් සලකා ගන්න. බලවත් ප්‍රේමයෙන් සිටි නා රජුගේ ප්‍රේමය එක් දෙයක් ඉල්ලීමෙන් ම කෙළවර විය.
ප්‍රිය නාගරාජයා තමා හැර යෑමෙන් තවුසාට මහත් ශෝකයක් ඇති විය. එයින් තවුසාගේ සිරුර තවත් දිරන්නට විය. එය දැක වැඩිමහලු තාපසතුමා ඔහුට අවවාද කරනුයේ -
“න තං යාචේ යස්ස පියං ජිගිංසේ
දෙස්සෝ හෝති අතියාචනාය,
නාගෝ මණිං යාචිතෝ බ්‍රාහ්මණේන
අදස්සනං යේව තදජ්ඣගමා.”
යනුවෙන් යම් භාණ්ඩයක් යමකුට ප්‍රිය නම් ඒ භාණ්ඩය නො ඉල්ලිය යුතු ය. පමණ ඉක්මවා ඉල්ලීමෙන් ප්‍රිය පුද්ගලයා අප්‍රිය වන්නේ ය. බ්‍රාහ්මණයා විසින් මැණික ඉල්ලන ලද නාගයා ඉන්පසු අදර්ශනට ම ගියේ ය. මෙසේ කියා ශෝක නො කිරීමට වැඩි දුරටත් අවවාද කෙළේ ය.
අලව්නුවර භික්ෂූන්ට ම වදාළ තවත් කථාවක් මෙසේ ය. පෙර කම්පිල්ල රට උත්තරපඤ්චාල නගරයෙහි පඤ්චාල රජ රජය කරවන සමයෙහි බෝසත්තුමා එක් නියම් ගමක බමුණු පවුලක ඉපද වැඩිවිය පැමිණ පසු කාලයේ තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමාලය වනයෙහි කලක් අල කොළ පලවලින් ජීවත් වී ලුණු ඇඹුල් සේවනය පිණිස මිනිස් පියෙස්හි හැසිරෙන්නේ ක්‍රමයෙන් උත්තරපඤ්චාල නගරයට පැමිණ රජ උයනෙහි වැස දෙවන දිනයේ නගරයට පිවිසි පිඬු සිඟා යන්නේ රාජද්වාරයට පැමිණියේ ය. රජු මහබෝසත් තවුස්තුමා දැක පැහැදී රජගෙයි උඩුමහල් තලයෙහි වඩා හිඳුවා රාජභෝජනයන් වළඳවා තමාගේ උයනෙහි ම නවත්වා ගත්තේ ය. බෝසත්තුමා දිනපතා රජගෙදරින් ම වළඳමින් උයනෙහි වැස වර්ෂා කාලය ඉක්මුණු පසු නැවතත් හිමාලය වනයට ම යන්නට කල්පනා කළේ ය. ඒ ගමන යෑමට බෝසත් තුමාට පය ලන්නට වහන් සඟලක් හා හිස ලන්නට තල් පත් කුඩයක් ද වුවමනා විය. බෝසත්තුමාට ඒ පිරිකර දෙක රජුගෙනග් ලබා ගන්නට සිතිණ. එහෙත් අනුන්ගෙන් යමක් ඉල්ලීම උදාර අදහස් ඇති ආත්ම ගෞරවය ඇති පුද්ගලයන්ට ඉතා දුෂ්කර කරුණකි. හිමාලයට යෑම බෝසත් තුමාට ඇති බලවත් වුවමනාවෙකි. එබැවින් ගමනට වුවමනා පිරිකර දෙක රජුගෙන් ඉල්ලන්ට සිතා බෝසත්තුමා නැවතත් සිතනුයේ ‘මෙනම් දෙයක් මට දෙව’ යි කියා අනුන්ගෙන් යමක් ඉල්ලීම නම් හැඬීමෙක, ඉල්ලන්නහුට ඒ දෙය නොදීමත් හැඬීමෙක. අප දෙදෙනාගේ හැඬීම පඤ්චාල වැසියන්ට නො පෙනෙන ලෙස රහසිගත ව කර ගත යුතු ය. මෙසේ සිතා රජු පැමිණි කල්හි “මහරජ, රහසක් කථා කර ගන්නට ඇතය” යි කීය. එකල්හි රජ රාජ පුරුෂයන් ඉවත් කෙළේ ය. ඉක්බිති බෝසත්තුමා “ඉදින් මා ඉල්ලූ කල්හි රජු එය නුදුන්නේ නම්, අප අතර ඇති මෛත්‍රිය බිඳෙන්නේ ය, එබැවින් නො ඉල්ලමි” යි සිතා ගත්තේ ය. එදින බෝසත්තුමාට කාරණය රජුට නො කිය හැකි විය. “මහරජ, අද යන්න, නැවත දිනයක මෙය ගැන බලමි” යි කියා රජු පිටත් කෙළේ ය. නැවත රජු උයනට පැමිණි දිනවල දී ද කාරණය කියන්නට උත්සාහ කළ මුත් බෝසත්තුමාට එය කියා ගත නො හැකි විය. මෙසේ දොළොස් වසරක් ඉක්ම ගියේ ය.
දොළොස්වසක් ඉක්ම ගිය පසු රජු සිතනුයේ “මාගේ ආර්‍ය්‍යයන් වහන්සේ රහසක් කියන්නටය යි ජනයා ඉවත් කරවා කාරණය කියා ගත නො හැකි ව දොළොස් වසක් ඉක්ම ඇත්තේ ය. බොහෝ කල් තපස් කිරීමෙන් කලකිරී දැන් උන්වහන්සේ සමහර විට කම් සැප විඳිනු පිණිස රජය පතනවා විය හැකි ය. මම රාජ්‍යය ඇතුළු උන්වහන්සේ බලාපොරොත්තු වන යමක් ඇති නම් අද ඒ දෙය දෙමිය”යි සිතා, උයනට ගියේ ය. එදින ද බෝසත්තුමා පිරිස ඉවත් කරවා කිසිවක් කියා ගත නො හැකිව සිටියේ ය. එකල්හි රජු “ස්වාමීනි, ඔබවහන්සේගේ රහස කියා ගත නොහැකි ව දැනට දොළොස් වසක් ඉක්ම ඇත්තේ ය. අද නො සඟවා කාරණය කියනු මැනව. ඔබ වහන්සේට මම රාජ්‍යය වුව ද දෙමි. ඔබ වහන්සේ බලාපොරොත්තු වන කුමක් හෝ ඇති නම් එය ඉල්ලනු මැනව” යි කීය. එකල්හි බෝසත්තුමා “මා ඉල්ලන දෙය දෙන්නෙහිදැ” යි අසා රජු “දෙමි” යි කී කල්හි “මහරජ, මට ගමනක් යන්නට වහන්සඟලක් හා තල්පත් කුඩයක් ද වුවමනා වී ඇතය” යි කීය. එකල්හි රජතුමා “ස්වාමීනි, නුඹ වහන්සේට දොළොස් අවුරුද්දක් ඉල්ලිය නො හැකිව තුබුණේ ඔබ වු දෙක ම දැ” යි කීය. බෝසත් තුමා “එසේය, මහරජ”ය යි කීය. “ස්වාමීනි මේ සුළු කරුණට මෙසේ කළේ කුමක් නිසාදැ” යි රජ ඇසී ය. මහබෝසතාණෝ මෙසේ පැවසූහ.
“ද්වයං යාචනකෝ රාජ, බ්‍රහ්මදත්ත, නිගච්ඡති,
අලාභං ධනලාභං වා එවං ධම්මා හි යාචනා,
-
යාචනං රෝදනං ආහු පඤ්චාලානං රථෙසභ.
යෝ යාචනං පච්චක්ඛාති තමාහු පටිරෝදනං.
-
මාද්දසංසු රෝදන්තං පඤ්චාලා සුසමාගතා,
ත්වං වා පටිරෝදන්තං තස්මා ඉච්ඡාමහං රහෝ”
බ්‍රහ්මදත්ත රජතුමනි, ඉල්ලන්නහුට ලැබීමය නො ලැබීමය යන දෙකින් එකක් වන්නේය. ඒ ඉල්ලීමේ ස්වභාවය ය. පඤ්චාල රජතුමනි, ඉල්ලීම හැඬීමකැයි නුවණැත්තෝ කියන්නාහ. ඉල්ලන්හුට ඒ දෙය නොදීමත් හැඬීමකැයි කියන්නාහ. ඉල්ලා හඬන්නා වූ මා ද නොදී හඬන්නා වූ තොප ද පඤ්චාල රට වැසියෝ නො දකිත්වා යි මම ඉල්ලීමට රහස් තැනක් කැමති වීමි.”
බෝසතාණන් ගේ කීම අසා රජු පැහැදී කිරි දෙනුන් දහසක් ද දින. බෝසතාණෝ ඒවා ප්‍රතික්ෂේප කොට වහන්සඟළ හා කුඩය පිළිගෙන රජතුමාට ද දහම් දෙසා හිමවතට ගියහ.
“යාචනාහි නාමේසා කාමභෝගීනං ගිහීනං ආචිණ්ණා. න පබ්බජිතානං. පබ්බජිතේන පන පබ්බජිත කාලතෝ පට්ඨාය ගිහීහි අසමාන පරිසුද්ධාජීවේන භවිතබ්බං” යනුවෙන් මේ ඉල්ලීම කාමභෝගී ගිහියන් ගේ පුරුද්දක් මිස, පැවිද්දන් විසින් නො කළ යුත්තකැයි අට්ඨිසේන ජාතකට්ඨ කථාවෙහි දක්වා ඇත්තේ ය. පැවිද්දන්ගේ ඉල්ලීම අට්ඨිසේන ජාතක පාළියේ මෙසේ දැක්වේ.
“න වේ යාචන්ති සප්පඤ්ඤා ධීරෝ වේදිතු මරහති,
උද්දිස්ස අරියා තිට්ඨනත් ඒසා අරියාන යාචනා.”
තේරුම:
“ප්‍රාඥයෝ නො ඉල්ලන්නාහ. ආර්‍ය්‍යයෝ උදෙසා සිටින්නාහ. නුවණැතියන් විසින් එය දැන ගන්නට වටනේ ය. ඒ උදෙසා සිටීම ආර්‍ය්‍යයන්ගේ ඉල්ලීම ය” යනුයි.
මෙකල පැවිද්දෝ ඉවර කළ නො හෙන විශාල කර්මාන්ත පටන් ගෙන එන එන මිනිසාගෙන් සම්මාදන් ඉල්ලති. සම්මාදන් කරවති. ඒ කරදරය නිසා ඇතැම් ගිහියෝ පන්සල්වලට නො යති. ඇතැම් ගිහියේ ඔවුන් ගේ නිවෙස්වලට පැවිද්දන් පැමිණෙන විට සැඟවෙති. ඉල්ලීම නිසා බොහෝ ගිහියෝ පැවිද්දන් කෙරෙහි කලකිරී සිටිති. ඔවුහු පැවිද්දන් රටට වුවමනා නැති කරදරකාරී පිරිසක් ලෙස සිතා වර්ජනය කෙරෙති. මේ ගැන පැවිද්දෝ කල්පනා කෙරෙත්වා!!