“බහුකාරා භික්ඛවේ බ්‍රාහ්මණගහපතිකා තුම්හාකං
යේ වෝ පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසේනාසන
ගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරේහි. තුම්හේපි,
භික්ඛවෙ, බහුකාරා බ්‍රාහ්මණගහපතිකානං, යේසං
වෝ ධම්මං දේසේථ ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං
පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවල
පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ. එවමිදං
භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං නිස්සාය බ්‍රහ්මචරියං වුස්සති
ඔඝස්ස නිත්ථරණාය සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති.
ඒතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති.
-
1. සාගාරා අනගාරා ච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා
ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං
-
2. සාගාරේසු ච චීවරං පච්චයං සයනාසනං,
අනගාරා පටිච්ඡන්ති පරිස්සය විනෝදනං
-
3. සුගතං පන නිස්සාය ගහට්ඨා ඝරමේසිනෝ
සද්දහානා අරහතං අරියපඤ්ඤාය ඣායිනෝ
-
4. ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං
නන්දිනෝ දේවලෝකස්මිං මෝදන්ති කාමකාමිනෝ
(බහුකාරසුත්ත ඉතිවුත්තක)
මේ සූත්‍රයේ තේරුම මෙසේ ය:
“මහණෙනි, තොපට යම් බ්‍රාහ්මණ ගෘහපතීහු චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍රත්‍යයන් ගෙන් උපස්ථාන කරන්නාහු වෙත් ද ඔවුහු තොපට බොහෝ උපකාර වන්නෝ ය. මහණෙනි, තෙපි යම් බ්‍රාහ්මණ ගෘහපතීන්ට දහම් දෙසත් ද මුල යහපත් වූ මැද යහපත් වූ අවසානය යහපත් වූ ප්‍රයෝජනවත් වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සර්වාකාරයෙන් සම්පූර්ණ වූ පිරිසිදු වූ ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යාව ප්‍රකාශ කරන්නාහු ය. මහණෙනි, මෙසේ ඔවුනොවුන් නිසා චතුරෝඝයෙන් එතර වනු පිණිස දුක් කෙළවර කරනු පිණිස ශීලපූරණාදි මේ ශාසන ප්‍රතිපත්තිය පුරන්නාහ.
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ සූත්‍රයෙහි ඒ අර්ථය ගාථාවලින් මෙසේ නැවත ද කියනු ලැබේ.
(1) ගිහියෝ ද පැවිද්දෝ ද යන දෙ පක්‍ෂය ඔවුනොවුන් නිසා ප්‍රතිපත්ති ප්‍රතිවේධ දෙක සම්පාදනය කෙරෙති. අර්හත්වය හා නිවන සම්පාදනය කෙරෙති.
(2) ගිහියන්ගෙන් පැවිද්දෝ සිවුරු ද ආහාර ද බෙහෙත් ද, පීඩා දුරු කරන්නා වූ විහාරාදි සෙනසුන් ද ලබන්නාහ.
(3-4) ගිහිගෙයි වෙසෙමින් ධනය හා ශීලාදි ගුණ ධර්ම සොයන්නා වූ ගිහියෝ වනාහි මනා කොට පිළිපදින්නා වූ ප්‍රව්‍රජිත ශ්‍රාවකයන් නිසා ආර්‍ය්‍යයන් ගේ වචන විශ්වාස කරන්නාහු සුපරිශුඬ ප්‍රඥාවෙන් ධ්‍යාන කරන්නාහු මේ ලෝකයෙහිදී සුගතියට යන්නවුන්ට මාර්ගය වන ශීලාදි ගුණ ධර්ම සපුරා මරණින් මතු දෙව්ලොව ඉපද කැමති සම්පත් ලබා සතුටු වන්නාහ. මේ ඉහත දැක්වූ සූත්‍රයෙහි තේරුම ය.
මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ චීවරාදි ප්‍රත්‍යය දෙන ගිහියන් පැවිද්දන්ට උපකාරකයන් බවත්. ධර්මානුශාසනා කරන පැවිද්දන් ගිහියන්ට උපකාරකයන් බවත් ය. මේ දෙපක්‍ෂය තම තමන්ට අයත් පිළිවෙත් පුරා දුකින් මිදෙන්නේ අන්‍යොන්‍ය සම්බන්ධයෙනි. එබැවින් ගිහියන්ගේ සම්බන්ධය පැවිද්දන්ටත් පැවිද්දන් ගේ සම්බන්ධය ගිහියන්ටත් වුවමනා ය. ගිහියන්ගේ උපකාර නො ලැබී ගියහොත් පැවිද්දන් හට මේ ශාසනික ප්‍රතිපත්තිය පැවැත්වීම දුෂ්කර වීමෙන් ක්‍රමයෙන් පැවිද්දෝ නැති වන්නාහ. එසේ වුවහොත් බුදුසසුන කෙළවර වන්නේ ය. සර්වඥ ශාසනයා ගේ චිරස්ථිතිය පිණිස පැවිද්දන් විසින් ගිහියන් ගේ ප්‍රසාදය රැකෙන ලෙස ක්‍රියා කළ යුතු ය.
ගිහියන් හා සම්බන්ධය නො පවත්වා පැවිද්දන්ට ජීවත්වීම දුෂ්කර ය, බුදුසස්න පැවැත්වීම දුෂ්කරය කියා, පැවිද්දන් විසින් ගිහියන් සතුටු කොට ඔවුන්ගෙන් ප්‍රත්‍යය ලැබීමේ ආශාවෙන් පමණ ඉක්මවා ඔවුන් හා ගැටී, ඇලී සතුටු විය යුත්තෙහි ඔවුන් හා සතුටු වෙමින්, දුක් විය යුත්තෙහි ඔවුන් හා දුක් වෙමින්, ශෝක කරමින්, ඔවුන් ගේ ගිහි කටයුතුවලට සහාය වෙමින්, ගිහියන් හා නො මනා පරිදි සම්බන්ධකම් නො පැවැත්විය යුතු ය. එසේ සබඳකම් පැවැත්වීමෙන් වන්නේ ගිහි පැවිදි දෙපක්‍ෂයටම හානියකි. එසේ සම්බන්ධකම් පවත්වන පැවිද්දන්ට ගිහියන් සංග්‍රහ කරන්නේ ඒ පැවිද්දන් ගේ ශීලාදී ගුණ සලකා ගෙන නොව මිත්‍රකම හෝ උපකාර සලකා ගෙන ය. එයින් ගිහියෝ පිනෙන් පිරිහෙති. පින් ලැබීමට දිය යුත්තේ ශීලාදී ගුණ සලකා ගෙන ය. පමණ ඉක්මවා ගිහි සම්බන්ධය පවත්වන පැවිද්දා ක්‍රමයෙන් ශ්‍රමණ ප්‍රතිපත්තියෙන් පිරිහේ. සමහර විට සම්පූර්ණයෙන් ම ශ්‍රමණ භාවයෙන් පිරිහේ. ඒ නිසා පමණ ඉක්මවා පවත්වන ගිහි සම්බන්ධය පැවිද්දන්ට වඩාත් අන්තරායකරය. ගිහියන් හා සම්බන්ධය පැවැත්විය යුතු ආකාරය දැක්වීම් වශයෙන් තථාගතයන් වහන්සේ චන්ද්‍රෝපම ප්‍රතිපදාව වදාළ සේක.
ඒ මෙසේ ය:
“චන්දූපමා භික්ඛවේ, කුලානි උපසංකමථ, අපකස්සේව කායං, අපකස්සේව චිත්තං, නිච්චනවකා කුලේසු අප්පගබ්භා, සෙය්‍යථාපි භික්ඛවේ, ජරූදපානං වා ඕලොකෙය්‍ය පබ්බතවිසමං වා නදී විදුග්ගං වා අපකස්සෙව කායං අපකස්සේව චිත්තං, ඒවමේව ඛෝ භික්ඛවේ, චන්දූපමා කුලානි උපසංකමථ අපකස්සේව කායං අපකස්සේව චිත්තං කුලේසු අප්පගබ්භා.”
(කස්සප සංයුක්ත)
තේරුම:
“මහණෙනි ගිහියන්ගෙන් කයත් ඉවත් කර ගෙන සිතත් ඉවත් කරගෙන හැම කල්හි ආගන්තුක ව චන්ද්‍රයා මෙන් ගිහියන් කරා එළඹෙව්. ගිහි ගෙවල ප්‍රගල්භයෝ (ඇතුළත්කම් ඇත්තෝ) නො වව්. මහණෙනි, පාලු ළිඳකට හෝ පර්වතප්‍රපාතයකට හෝ ගැඹුරු ගං ඉවුරකට හෝ නැඹුරු වී බලන්නේ එයට ඇද නො වැටෙනු පිණිස කයත් සිතත් ඉන් ඉවත් කර ගෙන පස්සට බර කර ගෙන යම් සේ බලන්නේ ද, මහණෙනි, එසේ කයත් සිතත් ඉවත් කර ගෙන පස්සට ගෙන චන්ද්‍රයා මෙන් ගිහියන් කරා එළඹෙව්.”
මේ සූත්‍රයේ අදහස මෙසේ ය. දිනෙන් දින ම වෙනස් වන බැවින් චන්ද්‍රයා සැම කල්හි ම ලෝකයට අලුත් ය. දිනපතා අලුත් වෙමින් අහස්හි හැසිරෙන චන්ද්‍රයාගේ කිසිවකු හා අමුතු මිතුරු කමක් අමුතු ඇල්මක් නැත්තේ ය. චන්ද්‍රයා හැමට ම සාධාරණ ය. පැවිද්දා ද චන්ද්‍රයා සේ කිසි ගිහියකු හා අමුතු මිතුරුකමක් අමුතු ඇල්මක් නැතිව ගිහිගෙවලදී ද විහාරයෙහිදී ද වර්ෂ ගණනක් ඇසුරු කළ ගිහියන් සමඟ වුව ද ආගන්තුකයකු සේ හැසිරිය යුතු ය. ගිහියන් ගේ ගිහි වැඩවලට අත ගසන ඒවා සංවිධානය කරන කෙරුම්කාරයකු නො විය යුතු ය. මොහු මාගේ දායකයෙක, මට මේ මේ උපකාර කළ තැනැත්තෙක. මට මේ මේ දේ දුන්නෙක කියා, කිසිම ගිහියකුට ඇලුම් නො කළ යුතු ය. ගැඹුරු ළිඳකින් පැන් ගන්නා තමාගේ කය-සිත ළිඳට බර නො කර නිතර ම පස්සට ඇදගෙන ළිඳේ නො වැටී පැන් ගන්නාක් මෙන් පැවිද්දන් විසින් ගිහියන් හා නො ඇලෙන පරිදි සිත කය දෙක ම පස්සට බර කර ගෙන පස්සට ඇදගෙන ගිහියන් අතර හැසිරිය යුතු ය. ගිහියන් ගේ ප්‍රත්‍යය පිළිගත යුතු ය. පැවිද්දා ගේ එසේ හැසිරීම බුද්ධාදි ආර්‍ය්‍යයන් වර්ණනා කරන චන්ද්‍රෝපම ප්‍රතිපදාව ය.
පැවිද්දන් විසින් සැලකිය යුතු තවත් කරුණක් මෙසේ ය: ඇතැම් පැවිද්දෝ ‘ගිහියන් අපට සලකන්නට ඕනෑමය’ යි සිතති. ඒ මෝඩ අදහස නිසා ඔවුහු ගිහියන් ගෙන් ලැබීම මඳ වූ කල්හි තමන් ගේ සිත රිදවා ගනිති. කිපෙති. ගිහියන්ට දොස් කියති. නින්දා කරති. සමහරු සලකන අය නැත කියා සිවුරු හැර යති. පැවිදි පිරිසට සැලකීමට ගිහියන් පොරොන්දු වී නැත. බැඳී නැත. මේ පැවිදි පිරිස ගිහියන් විසින් සැලකීමේ පොරොන්දුවක් වී පැවිදි කරවන ලද්දාහු නො වෙති. හැම දෙනා ම තම තමන්ට ම වුවමනා නිසා තමන්ගේ කැමැත්තෙන් ම පැවිදි වූවෝ ය. එ බැවින් තමතමන් ගේ ජීවත් වීම තම තමන් විසින් ම බලා ගත යුතු ය. නො සලකනවාය කියා ගිහියන්ට දොස් කියනවා නම්, කිපෙනවා නම් එය අනුවණ කමෙකි. ගිහියන්ගෙන් යමක් ලදහොත් එපමණකින් සතුටු වීම පැවිද්දා ගේ යුතුකම ය. බුදු රජාණන් වහන්සේ විසින් ද මෙසේ වදාරා ඇත්තේ ය.
“යෝ හි කෝචී භික්ඛවෙ භික්ඛු එවං චිත්තෝ, කුලානි උපසංකමති, දෙන්තු යේව මේ මා අදංසු බහුකඤ්ඤේව මේ දෙන්තු මා ථෝකං, පණීතඤ්ඤේව මේ දෙන්තු මා ලූඛං, සීඝඤ්ඤේව මේ දෙන්තු මා දන්ධං, සක්කච්චඤ්ඤේව මේ දෙන්තු මා අසක්කච්චන්ති. තස්ස චේ භික්ඛවේ, භික්ඛුනෝ එවං චිත්තස්ස කුලානි උපසංකමතෝ න දෙන්ති තේන භික්ඛු සන්දීයති. සෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියති. ථෝකං දෙන්ති නෝ බහුකං, තේන භික්ඛු සන්දීයති. සෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියති. ලූඛං දෙන්ති නෝ පණීතං, තේන භික්ඛු සන්දීයති. සෝ තතෝ නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවේදියති. දන්ධං දෙන්ති නෝ සීඝං, තේන භික්ඛු සන්දීයති. සෝ තතො නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියති. අසක්කච්චං දෙන්ති නෝ සක්කච්චං, තේන භික්ඛු සන්දීයති. සෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදියති. ඒවරූපෝ ඛෝ භික්ඛවේ, භික්ඛු නාරහති කුලූපගෝ හෝතුං.”
(කස්සප සංයුත්ත)
“මේ දේශනාවෙන් දැක්වෙන්නේ යම් භික්ෂුවක් ගිහියන් මට දෙන්නට ම ඕනෑය, ටිකක් නොව, හුඟක් ම දෙන්න ඕනෑ ය, අමිහිරි දෙයක් නොව ප්‍රණීත දෙයක් ම දෙන්න ඕනෑ ය, පමා නො කොට ඉක්මනින් ම දෙන්න ඕනෑ ය. නො සැලකිල්ලෙන් නොව සැලකිල්ලෙන් ම දෙන්න ඕනෑය යන අදහසින් ගිහියන් කරා යන්නේ නම්, ඔහුට ගිහියෝ නුදුන්නාහු නම් ස්වල්පයක් දුන්නාහු නම්, අමිහිරි දෙයක් ම දුන්නාහු නම්, කල් යවා දුන්නාහු නම්, නො සැලකිල්ලෙන් දුන්නාහු නම් ඒ පැවිද්දා ගේ සිත රිදෙන්නේ ය. එය හේතු කොට ඔහුට දුකක් දොම්නසක් ඇති වන්නේ ය. එබඳු භික්ෂුව ගිහියන් කරා යෑමට සුදුසු නැත යනුයි.” ගිහියන් කරා යෑමට සුදුසු නැත යන්නෙහි තේරුම පැවිද්දට නුසුදුසු බව ය.
මේ මිනිසුන් විසින් අපට දෙන්නට ම ඕනෑය සලකන්නට ඕනෑය කියා නියමයක් නැත, දෙනු කැමැත්තෝ දෙත්වා; නො දෙනු කැමැත්තෝ නෙ දෙත්වා; සලකනු කැමැත්තෝ සලකත්වා; නො කැමැත්තෝ නො සලකත්වා යන අදහසින් කුලයන් කරා එළඹෙන භික්ෂුව ම කුලයන් කරා එළඹීමට පැවිද්දට සුදුසු බව ද, ඒ සූත්‍රයෙහි ම තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. මේ කරුණු අනුව ගිහියන් අපට දෙන්නට ඕනෑය සලකන්නට ම ඕනෑය යන වැරදි අදහස දුරු කර ගත යුතු ය. මේ මහණ කම ගිහියන්ට ඕනෑවට කරන්නක් නො වන බවද සැලකිය යුතු ය. ගිහියන් නො සලකනවාය කියා මහණකම දූෂණය කර ගන්නවා නම් එය ඉතා අනුවණකමක් බව ද දත යුතු ය.
ඇතැම් පැවිද්දෝ “මේ මිනිස්සු අපේ දායකයෝ ය, මොවුන් විසින් දිය යුත්තේ අපේ පන්සලටම ය. අපට ම ය කියා, තමන් ගේ සිතින් ගිහියන් අයිති කර ගෙන සිටිති. එහෙත් ඒ ගිහියන්ට එබඳු අදහසක් නැත. එසේ තිබියදී පැවිද්දා විසින් තමාගේ සිතින් මොවුහු අපට ම දිය යුත්තේ ය කියා ගිහියන් අයිති කර ගෙන සිටීම සිනාවට කරුණෙකි. කා කෙරෙහිවත් බැඳීමක් නැති කිසි පැවිද්දකුට අයිති නැති ඒ ගිහියෝ ඔවුන් කැමති තැනකට දන් දෙති. එකල්හි අර පැවිද්දා ගමේ පන්සල තිබියදී අප සිටියදී මේ මිනිස්සු අප ගැන නො සලකා අන් තැන් වලට දන් දෙති යි ඒ මිනිස්සු කෙරෙහි කිපෙති. දානය පිළිගත් භික්ෂූන්ට කිපෙති. බණිති. එසේ කොට ඒ පැවිද්දෝ තමන් ගේ පහත් අදහස් ඇති බව ලොවට හෙළි කරති. අනුන්ට ද්වේෂ කොට පව් රැස් කර ගනිති. මෙය පැවිද්දන්ට ඉතා අයෝග්‍ය දෙයකි. දන් දීමේ නිදහස සෑම ගිහියකුට ම තිබේ. බුදුන් වහන්සේ වදාරා ඇත්තේ ද “යත්ථ පසීදති තත්ථ දාතබ්බං” යම් තැනකට පැහැදීම ඇත්තේ නම් එතැනට දිය යුතුය කියා ය. තමන්ට පැහැදී පින් කැමැත්තෙන් කවරකු හෝ දෙනවා නම් එය පිළිගැනීමටත් සියලු ම භික්ෂූන්ට නිදහස තිබේ. ඒ නිසා මොවුහු මාගේය මට ම දිය යුත්තෝ ය කියා මිනිසුන් අයිති කර ගැනීම පැවිද්දන් විසින් නො කළ යුත්තකි. යමකු කාහට වුව ද කොතැනකට වුව ද දෙනවා නම් පැවිද්දා එයට කැමති විය යුතු ය.
“යස්ස කස්සචි භික්ඛුනෝ කුලානි උපසංකමතෝ කුලේසු චිත්තං න සජ්ජති න ගය්හති න බජ්ඣති “ලභන්තු ලාභකාමා පුඤ්ඤකාමා කරොන්තු පන පුඤ්ඤානී” ති යථා සකෙන ලාභෙන අත්තමනො හොති සුමනො, එවං පරේසං ලාභේන අත්තමනෝ හොති සුමනො. එවරූපො ඛෝ භික්ඛ වෙ, භික්ඛු අරහති කුලානි උපසංකමිතුං”
(කස්සප සංයුත්ත)
ගිහියන් කරා එළඹෙන ගිහියන් ඇසුරු කරන යම් භික්ෂුවක් ගිහියන් හා නො ඇලේ නම් නොබැඳේ නම් “ලාභ කැමැත්තෝ ලබත්වා. පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි තමාට ලැබීම ගැන සතුටු වන්නාක් මෙන් අනුන් ලබනවාට ද සතුටු වන්නේ නම් එබඳු භික්ෂූන් ගිහියන් වෙත එළඹීමට ඔවුන් ඇසුරු කිරීමට සුදුසු ය” යනු ඒ දේශනාවේ අදහස ය.
භික්ෂූන් ගිහියන් හා තණ්හාවෙන් නො බැඳිය යුතු වුව ද තමන්ට චීවරාදි ප්‍රත්‍යයෙන් උපස්ථාන කරන ගිහියන් ගේ ගුණය අමතක නො කළ යුතු ය. කෙළෙහි ගුණ සැලකීම උසස් ගුණයෙකි. පැවිද්දන් ඒ ගුණයෙහි පිහිටිය යුතු ය. උපස්ථායකයන්ට කෙළෙහි ගුණ සැලකීමට ය කියා ගිහියා ගේ ශ්‍රද්ධාව නැති වී යෑමට හේතු වන, තමන් සතු දෑ ඔවුන්ට දීම් ඔවුන්ගේ පණිවිඩ ගෙන යෑම් වෙදකම් කිරීම් ආදිය නො කළ යුතු ය. ධර්මදේශනාදි පැවිද්දන්ට සුදුසු දේ පමණක් ගුණ සැලකීම් වශයෙන් ගිහියන්ට කළ යුතු ය. ගිහියන්ට ප්‍රත්‍යුපකාර කළ යුතු සැටි තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.
“ගිහීනමුපකරොන්තානං නිච්චමාමිසදානතෝ,
කරෝථ ධම්මදානේන තේසං පච්චුපකාරකං”
(බුද්ධවංස අට්ඨකථා)
“නිරන්තරයෙන් ආමිෂදානයෙන් තොපට උපකාර කරන්නා වූ ගිහියන්ට තෙපි ධර්මදානයෙන් ප්‍රත්‍යුපකාර කරව්” ය යනු එහි තේරුම ය.
“දේසේථ භික්ඛවේ, ධම්මං ආදිකල්‍යණං මජ්ඣෙකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවනතා ධම්මස්ස පරිහායන්ති.”
(මහාවග්ග මහාඛන්ධක)
යනුවෙන් “මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අවසානය යහපත් වූ ප්‍රයෝජනවත් වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ පිරිසිදු වූ ධර්මය දේශනය කරව්, ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යාව ප්‍රකාශ කරව්. නුවණැසෙහි කෙලෙස් රජස් මඳ සත්ත්වයෝ ඇත්තාහ. ඔවුහු දහම් අසන්නට නො ලැබීමෙන් පිරිහෙන්නාහ” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් තමන්ට උපස්ථාන කරන නො කරන සැමට ම දහම් දෙසීම පැවිද්දන් ගේ යුතු කමෙකි.