කුසීත වස්තු වශයෙන් ඉහත දක්වන ලද කරුණු අට සැදැහැවත් වීර්ය්‍යවත් පැවිද්දාහට වඩාත් උත්සාහයෙන් ශ්‍රමණධර්මයෙහි යෙදීමට කරුණු වෙයි. එබැවින් අංගුත්තර නිකාය අට්ඨක නිපාතයෙහි “අට්ඨිමානි භික්ඛවේ, ආරම්භවත්ථූනි” යනාදීන් ඒ කරුණු අට ආරම්භ වස්තු හෙවත් වීර්ය්‍ය කිරීමේ කරුණු වශයෙන් වදාරා තිබේ. ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් අනුව එක ම කරුණු අට කුසීත වස්තු ද ආරම්භ වස්තු ද වී ඇත්තේ ය.
ආරම්භ වස්තු අට මෙසේ ය:-
- මේ සස්නෙහි සැදැහැවත් නැණවත් වීර්ය්‍යවත් පැවිද්දා සිවුරු සෝදා ගැනීම් පඬු පොවා ගැනීම් ආදි යම්කිසි වැඩක් කරන්නට ඇති කල්හි ‘මට වැඩක් කරන්නට ඇත. එය කරන කල්හි මට බුදුරදුන්ගේ අනුශාසනාව කරන්නට ලැබෙන්නේ නැත. එබැවින් දැන් දැන් මම බුදුරදුන්ගේ අනුශාසනාව කරමි’ යි නො ලැබූ ධර්මයන් ලැබීමට නො පැමිණි ධර්මයන්ට පැමිණීමට වීර්‍ය්‍ය කරයි. මේ පළමුවන ආරම්භ වස්තුව ය.
- වීර්ය්යවත් පැවිද්දා සිවුරු පඬු පෙවීම් ආදි යම්කිසි වැඩක් කළ කල්හි වැඩ කිරීමෙන් මා හට බුදුන් වහන්සේගේ අනුශාසනාව කරන්නට නො පිළිවන් විය. ඒ පාඩුව පිරිමැසෙන්නට ශ්‍රමණකෘත්‍යයෙහි යෙදෙමි’ යි වීර්‍ය්‍ය කරයි. මේ දෙවන ආරම්භ වස්තුව ය.
- වීර්ය්යවත් පැවිද්දා ගමනක් යන්නට ඇති කල්හි ‘ගමනේ දී මා හට බුදුන් වහන්සේගේ අනුශාසනාව කරන්නට නො ලැබේය’ යි ගමනට කලින් ශ්‍රමණකෘත්‍යයන්හි වීර්‍ය්‍ය කරයි. මේ තුන්වන ආරම්භ වස්තුව ය.
- වීර්ය්යවත් පැවිද්දා ගමන ගොස් පෙරළා පැමිණි පසු ගමන් යෑමෙන් මාගේ ශ්‍රමණ කෘත්‍යය අතපසු වී ය’ යි ශ්‍රමණ ධර්මය කිරීමෙහි වීර්ය්‍ය කරයි. මේ සිවුවන ආරම්භ වස්තුව ය.
- වීර්ය්යවත් පැවිද්දා කුස පුරා ආහාර වළඳන්නට නො ලැබූ කල්හි ‘අද මගේ කය සැහැල්ලුය, කර්මණ්‍යය’ යි වීර්ය්‍යයෙන් ශ්‍රමණධර්මය පිරීමෙහි යෙදෙයි. මේ පස්වන ආරම්භ වස්තුව ය.
- වීර්ය්යවත් පැවිද්දා කුස පුරා ආහාර වැළඳූ දිනයෙහි ‘අද මාගේ කය බලවත්ය, කර්මණ්‍යය, ඒ නිසා අද හොඳට මහණදම් පුරමි’ යි ශ්‍රමණධර්මයෙහි යෙදෙයි. මේ සවන ආරම්භ වස්තුව ය.
- වීර්ය්යවත් පැවිද්දා යම්කිසි රෝගයක් හටගත් කල්හි ‘මේ රෝගය උත්සන්න වුවහොත් මාහට ශ්‍රමණ ධර්මයෙහි යෙදෙන්නට නො ලැබෙන්නේ ය’ යි උත්සාහයෙන් ශ්‍රමණධර්මයෙහි යෙදෙයි. මේ සත්වන ආරම්භ වස්තුව ය.
- වීර්ය්යවත් පැවිද්දා රෝගය සුවවූ කල්හි ‘රෝගාතුරවීමෙන් මාහට මැනවින් තථාගතයන් වහන්සේ ගේ අනුශාසනාව නොකළ හැකි වීය’ යි උත්සාහයෙන් ශ්‍රමණධර්මයෙහි යෙදෙයි. මේ අටවන ආරම්භ වස්තුව ය.