පිණ්ඩපාත භෝජනය

බුදුරජාණන් වහන්සේ බුදුබවට පැමිණ තමන් වහන්සේගේ ජන්මභූමිය වන කපිලවස්තු පුරයට පළමු වර වැඩ වදාළ අවස්ථාවෙහිදී ශාක්‍යයන්ගේ මානය බිඳිනු පිණිස අහසෙහි රුවන් සක්මනක් මවා එහි සිට දහම් දෙසූ සේක. දහම් අසා තථාගතයන් වහන්සේට වැඳ ඔවුන් ගිය නමුත් පසු දින දානයට කිසිවෙක් ආරාධනා නො කළහ. සුදොවුන් මහරජතුමා, “තථාගතයන් වහන්සේ පසුදින තමා ගේ නිවසට වැඩම කරනු ඇතය” යි සිතා. තථාගතයන් වහන්සේ ඇතුළු විසිදහසක් භික්ෂූන්ට දන් පිළියෙළ කරවූයේ ය. දෙවන දිනයේ තථාගතයන් වහන්සේ පිඬු පිණිස කිඹුල්වත් පුරයට ඇතුළු වන්නාහු, ‘අතීත බුදුවරයන් වහන්සේලා පියාගේ නගරයට පිවිසි කල්හි කෙළින් ම නෑ ගෙදරට ම වැඩියාහු ද? ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩියාහු දැ’ යි බලන සේක්; ගෙපිළිවෙලින් පිඬු සිඟා වැඩිය බව දැක, තමන් වහන්සේ ද අතීත බුදුවරයන් ගේ සිරිත අනුව කිඹුල්වත් පුරයට පිවිස ගෙපිළිවෙලින් පිඬු සිඟා වැඩි සේක. යසෝදරා දේවිය තථාගතයන් වහන්සේ පිඬු සිඟා වඩිනු දැක වහා ම එපුවත රජුට කියා යැවුවා ය. රජු මේ කුමන නින්දාවක් ද, මට මේ පිරිසට දානයක් දීගන්නට බැරිදැ” යි කලබල වී, වහා බුදුන් වහන්සේ වෙත ගොස් “ඔබ මේ නුවර පිඬු සිඟමින් මට මහ නින්දාවක් කරන්නාහුය, පෙර මේ නගරයෙහි ස්වර්ණ සිවිකාදියෙන් මහා සම්පත්තියෙන් ගමන් කොට අද මෙසේ ගෙදොරක් පාසා පිඬු සිඟා ඇවිදීම කෙතරම් නින්දාවක්දැ”යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ “මහරජ, මම ඔබට නින්දා නො කරමි, මා මේ කරන්නේ මාගේ කුලපරම්පරාවේ සිරිතය” යි වදාළහ. එකල්හි රජතුමා “දරුව, මගේ වංශය මෙසේ සිඟා ජීවත්වන වංශයක් දැ”යි ඇසීය. තථාගතයන් වහන්සේ “මහරජ, මේ පිඬු සිඟා යෑම, ඔබගේ වංශය නොව, මාගේ වංශය ය. අතීතයේ නොයෙක් දහස් ගණන් බුදුවරයෝ පිඬු පිණිස හැසිර ජීවත්වූහ” යි වදාරා මෙසේ වදාළ සේක.

“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය ධම්මං සුචරිතං චරේ,

ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච.

ධම්මං චරේ සුචරිතං න නං දුච්චරිතං චරේ,

ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච.”

(ධම්මපද ලෝකවග්ග)

තේරුම :-

“පිඬු සිඟා යෑම හැර ප්‍ර‍ණීත භෝජන සොයමින් පිණ්ඩපාත වත අමතක නොකළ යුතු ය. නො මනා ලෙස ආහාර සෙවීම හැර පිඬු සිඟා ගැනීම වූ සුචරිතයෙහි හැසිරිය යුතු ය. එසේ ධර්මයෙහි හැසිරෙන පැවිද්දා මෙලොව පරලොව දෙක්හි ම සුව සේ වෙසෙන්නේ ය.”

ගණිකා නිවාසාදි නුසුදුසු තැන්වල පිඬු පිණිස නො හැසිර පිණ්ඩපාත වත මැනවින් පිරිය යුතු ය. එය නො මනා පරිදි නො කළ යුතු ය. පිණ්ඩචාරිකාව නමැති ධර්මයෙහි හැසිරෙන පැවිද්දා මෙලොව ද පරලොව ද සුවසේ වෙසෙන්නේ ය.”

ඒ දේශනාව අසා සුදොවුන් රජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ගේ පිළිවෙත වන පිඬු සිඟා ජීවත් වීම බුද්ධපුත්‍ර‍ වූ පැවිද්දන්ට උරුම ය. පිණ්ඩපාතයෙන් ජීවත් වීමේ අනුසස් බොහෝ ය. ගිහියන් විහාරයට ගෙනැවිත් දෙන ආහාරයෙන් ජීවත් වන පැවිද්දාට ඒ බත් ටික නිසා නිතර ම ගිහියන් කියන පරිදි ඔවුනට යටත් ව වාසය කරන්නට සිදුවේ. ඔවුන් කියන දෙය යුක්තිය වුවත් අයුක්තිය වුවත් ඔවුන්ගේ දානය බලන පැවිද්දාට පිළිගන්නට සිදු වේ. ඔවුන් කියන නො මනා දේ පවා කරන්නට සිදු වේ. එසේ නොකළ හොත් ඒ භෝජනය නො ලැබී යන්නේ ය. එපමණක් නොව ඔවුහු “අපෙන් ජීවත් වන්නෝ ය” කියා පැවිද්දන් පහත් කොට ද සිතති. පිණ්ඩපාතයෙන් ජීවත්වන තැනැත්තා හට ආහාරය නිසා ගිහියන්ට යටත් වන්නට සිදු නොවේ. පිණ්ඩපාතයෙන් ජීවත් වන පැවිද්දාට ආහාරය ලැබීමට නියමිත තැනක් නැත. එක් ගෙයකින් නො ලැබෙතොත් අනික් ගෙයකට යා හැකි ය. එක් ගමකින් නො ලැබෙතොත් අනික් ගමකට යා හැකි ය. ඒ නිසා පිණ්ඩපාතික භික්ෂුවට ගිහියන්ට යටත් නොවී ආත්ම ගෞරවය රැක ගෙන විසිය හැකි ය. පිණ්ඩපාතය දුන් ගිහියෝ ඒ නිසා පැවිද්දා කෙරෙහි බල පවත්වන්නට ද නො එති.

කොතරම් දිළිඳු ගෙයක වුවද වේලක් ඇර වේලක් වත් ආහාර පිසීම කරති. පිඬු සිඟා පැමිණි පැවිද්දකුට එයින් බත් සැන්දක් දීමෙන් ඔවුන්ට පාඩුවක් ද නො දැනේ. එබැවින් අන් පිනක් කර ගත නො හෙන බොහෝ දෙනාට පිඬු සිඟා යන පැවිද්දන් නිසා පින් සිදු කර ගත හැකිය. පිඬු පිණිස යන පැවිද්දන් හට තමන්ට පිසූ බත් සැළියෙන් බත් සැන්දක් දීමේ කුශලයෙන් දෙව්ලොව උපන්නෝ බොහෝ ය. එබැවින් පිඬු පිණිස ගම්වල හැසිරීම මහජනයාට මහත් යහපතක් සිදු කිරීමකි. බුද්ධාදී මහෝත්තමයන් පිඬු සිඟා වැඩියේ ජීවත්වීමේ ක්‍ර‍මයක් නැති නිසා නොව පරානුග්‍ර‍හය පිණිස ය. උන් වහන්සේලා අනුව යම් පැවිද්දෙක් “බොහෝ ජනයා පින් සිදු කර ගෙන සගමොක් සැප ලබත්වා, දුකින් මිදෙත්වා” යන මෛත්‍රී අධ්‍යාශය - කරුණාධ්‍යාශය පෙර දැරි කර ගෙන පිඬු සිඟා යන්නේ නම්, ඒ පැවිද්දාට එයින් සිදුවන්නේ පියවරක් පාසා පින් ය. මහන්සි වී පිඬු සිඟා ගෙන ආ පැවිද්දාට එයින් කොටසක් බුද්ධපූජා කිරීමෙන් ද, තවත් පැවිද්දන් ඇති නම් ඔවුනට දීමෙන් ද, බොහෝ පින් සිදු කර ගත හැකි ය. දුගියකුට මගියකුට - තිරිසන් සතකුට ඒවායින් දීමෙන් ද බොහෝ පින් සිදු කර ගත හැකිය. බොහෝ පින් සිදු කර ගත හැකි උසස් පැවිදි ජීවිතයක් පැවැත්වීමට හේතු වන පිණ්ඩපාතයෙන් ජීවත් වීම පහත් දෙයකැ යි නො සිතිය යුතු ය. මහබෝසත් මහාජනක රජතුමා රජ ව සිට ම මෙසේ කල්පනා කළේ ය.

“කදා පත්තං ගහෙත්වාන මුණ්ඩෝ සංඝාටිපාරුතෝ

පිණ්ඩිකාය චරිස්සාමි තං කුදාස්සු භවිස්සති.

කදා සත්තාහ සම්මේඝෙ ඔවට්ටෝ අල්ලචීවරෝ

පිණ්ඩිකාය චරිස්සාමි තං කුදාස්සු භවිස්සති.”

(මහාජනක ජාතක)

තේරුම :-

“මම මුඩු කළ හිස ඇති ව සඟළ සිවුරු පොරවන ලදු ව පාත්‍ර‍ය ගෙන කවදා පිඬු සිඟා යම් ද? එය මට කවදා සිදුවන්නේ ද?

මම සත් දිනක් මුළුල්ලෙහි වස්නා මහ වැස්සෙහි තෙමුණු සිවුරු ඇති ව කවදා පිඬු සිඟා ඇවිදින්නෙම් ද? එය මට කවදා සිදු වන්නේ ද?”

රජුන් පවා මෙසේ පිඬු සිඟා යෑම පැතුයේ එහි බොහෝ ගුණ ඇති නිසා ය. එහි අනුසස් විසුද්ධිමග්ගයෙහි ද මෙසේ දක්වා තිබේ.

“පිණ්ඩියාලෝපසන්තුට්ඨෝ අපරායත්තජීවිකෝ,

පහීණාහාරලෝලුප්පෝ හෝති චාතුද්දිසෝ යති.

-

“විනෝදයති කෝසජ්ජං ආජීවස්ස විසුජ්ඣති,

තස්මාහි නාතිමඤ්ඤෙය්‍ය භික්ඛාචරිය සුමේධසෝ.”

තේරුම:

“පිණ්ඩපාත භෝජනයෙන් සතුටු වන්නා වූ අනුන් අයත් නොවන දිවි පෙවෙතක් ඇත්තා වූ ආහාර තණ්හාව දුරු කළා වූ පැවිදි තෙමේ කා කෙරෙහිවත් බැඳීමක් නැති බැවින් පැකිළීමක් නැති ව සතර දිශාවෙහි හැසිරෙන්නේ වේ.

පිණ්ඩපාතයෙන් ජීවත් වන පැවිද්දා හට අලස බව ද දුරු වේ. ආජීවය ද පිරිසිදු වේ. එබැවින් නුවණැත්තේ, පිණ්ඩපාතික වත පහත් කොට නො සිතන්නේ ය.”