භාර්යාවෝ ය, දූ දරුවෝ ය, සහෝදර සහෝදරියෝ ය, ඥාති මිත්‍රයෝ ය, ආහාරපාන වස්ත්‍රාභරණයෝ ය, යාන වාහන හා නොයෙක් ආකාර පරිභෝග භාණ්ඩයෝ ය, ගී නැටුම් - ගැයුම් හා නොයෙක් ආකාර ක්‍රීඩාවෝ ය, රන් රිදී මුතු මැණික් හා මිල මුදල් ය යන මේ ආදි සත්ත්වයන් ඇලුම් කරන සොයන යමක් වේ නම්, ඒ සියල්ලට ම ‘කාමය’ යි කියනු ලැබේ. ඒ සියල්ල රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන පසට ඇතුළු කොට ‘පඤ්චකාමය’ යි කියනු ලැබේ. එක් අතෙකින් මේ පඤ්ච කාමය ඉතා ආස්වාදනීය දෙයකි. තවත් අතෙකින් ඒ පඤ්චකාමය සත්ත්වයන්ට ඇති මහත් ම නපුර ද වේ.
සසර කලකිරී මහත් පරිත්‍යාගයන් කොට බුදු සස්නෙහි පැවිදි වන කුලපුත්‍රයන්ට පසු කලකදී ශාසනයෙන් බැහැර වීමට හේතු වන්නේ ද, පැවිදි ව සිට ගෙන නොයෙකුත් දුෂ්ප්‍රතිපත්වලට යෙදෙන්නට හේතු වන්නේ ද මේ පඤ්ච කාමය ම ය. වරක් පඤ්ච කාමාශාව දුරු කොට පැවිදි වුව ද සිහියෙන් යුක්ත නො වන කාමයන් ගේ ආදීනවය නැවත නැවත සිහි නො කරන පැවිද්දන්ට අත්හළ කාමය ගැන නැවත ආශාව ඇති වී සිවුරු හැර යන්නට සිදුවිය හැකි ය. ශාසනය තුළ සිට ගෙන දුෂ්ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට ද සිදු විය හැකි ය. එසේ නො වනු පිණිස පැවිද්දන් විසින් කාමයන් ගේ ආදීනවය හොඳින් දැන ගත යුතු ය. වරින් වර එය සිහි කළ යුතු ය. කාමයන් ගේ ආදීනවය තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.
“අප්පස්සාදා කමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා ආදීනවෝ එත්ථ භීය්‍යො.”
අට්ඨිකංකලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, මංසපේසූපමා කාමා -පෙ- තිණුක්කූපමා කාමා -පෙ- අංගාරකාසූපමා කාමා -පෙ- සුපිනකූපමා කාමා -පෙ- යාචිතකූපමා කාමා -පෙ- රුක්ඛඵලූපමා කාමා -පෙ- අසිසූනුපමා කාමා -පෙ- සත්තිසූලූපමා කාමා -පෙ- සප්පිරූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහූපායාසා ආදීනවෝ එත්ථ භීය්‍යෝ”
(මජ්ඣිමනිකාය අලගද්දූපම සුත්ත)
මේ පාඨයෙහි උපමා දශයකින් කාමයන් ගේ ආදීනවය දක්වා තිබේ.
අට්ඨිකංකලූපමා කාමා. ‘කාමයෝ ලේ මස් නැති ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තෝ ය’ යනු එහි තේරුම යි. සාගින්නෙන් පීඩිත බල්ලකු ආහාරාශාවෙන් මස්කඩයක් සමීපයේ බලා ඉන්නා කල්හි, ලේ මස් නැති ඇට කැබැල්ලක් කඩයෙන් ඉවත දැමුව හොත් ඌ එය අවුලා ගෙන සපන්නට පටන් ගන්නේ ය. ඇට කැබෙල්ල කොතෙක් සැපුව ද එයින් උගේ සාගින්න නො සන්සිඳේ. වන්නේ වෙහෙසට පත්වීමෙන් තවත් සාගින්න වැඩි වීම ය. එමෙන් කාමාශාවෙන් කාම පිපාසාවෙන් පීඩිත ව කාමයන් සොයන තැනැත්තා ගේ ඒ කාම පිපාසාව කොතෙක් ආහාර පාන වස්ත්‍රාදි කාමවස්තූන් ලබා කොතෙක් කම් රස අනුභව කළේ ද නො සන්සිඳේ. ඔහුට කිසි කලෙක සෑහීමක් නො වේ. කාමයන් ලබත් ලබත් ම කම් සැප විඳිත් විඳිත් ම එයින් ඔහුගේ කාම පිපාසාව තව තවත් වැඩේ. බල්ලා සුඛිතභාවයට පත් කරන කිසි ම උසස් දෙයක් කිසි ම හරයක් ඒ ලේ මස් නැති ඇට කැබැල්ලෙහි නැතිවාක් මෙන්, කාමවස්තූන් හි සත්ත්වයා තෘප්තියට පත් කරන කිසි හරයක් නැත්තේ ය. “ඕනෑය, ඕනෑය, මදිය, තවත් ඕනෑය තවත් ඕනෑය” කියා මහත් වෙහෙසින් රැස් කරන මේවා “මාගේ ය, මාගේය” කියා සිතින් බදාගෙන ඉන්නා කාමවස්තූහු පුද්ගලයාට තෘප්තියක් ඇති නොකර ම විනාශ වී යති. පුද්ගලයා ද ඒවා බදාගෙන සිටීමෙන් තෘප්තියක් නොලබා ම විනාශයට පැමිණේ. මේ කාමයන් ගේ ස්වභාවය ය. එබැවින් තථාගතයන් වහන්සේ “කාමයෝ ලේ මස් නැති ඇට කැබෙල්ලකට බඳු උපමා ඇතියෝ ය” යි වදාළ සේක.
මංසපේසූපමා කාමා. “බොහෝ දෙනාට සාධාරණ බැවින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තෝ ය” යනු එහි තේරුම ය. ගිජුළිහිණියකු හෝ උකුස්සකු හෝ අන් පක්‍ෂියකු හෝ හොටින් මස් කැටියක් ගෙන පියාසර කළහොත් එය දකින පක්‍ෂීහු ඔහු ලුහු බැඳ ඌට කොටති. එය අතහරින තුරු ඌට නිදහසක් නො ලැබේ. එකකු හළ මස්කැටිය අනිකකු ගත හොත් ඌට ද එසේ ම කොටති. එසේ කොටන්නේ මස්කැටිය බොහෝ දෙනකුන් බලාපොරොත්තු වන දෙයක් බැවිනි. වස්තුව ද මස් කැටිය සේ බොහෝ දෙනකුන් බලාපොරොත්තු වන දෙයකි. එකකු රැස් කර ගෙන - අයත් කර ගෙන සිටින වස්තුව පැහැර ගත හැකි නම් ගැනීමට බලාපොරොත්තු වන්නෝ දහස් ගණනින් - දසදහස් ගණනින් සිටිති. එබැවින් වස්තුව අයත් කර ගෙන ඉන්නා තැනැත්තාට මාගේ වස්තුව රජහු හෝ පැහැර ගනිත් ද, සොරහු හෝ පැහැර ගනිත් ද, සතුරෝ හෝ පැහැර ගනිත් ද, දූ දරුවෝ හෝ පැහැර ගනිත් ද කියා නිරතුරුව බියෙන් කල් යැවීමට සිදු වේ. නිතර ම පරෙස්සම් කරන්නට සිදු වේ. සමහරවිට රෑ නිදි නො ලබා පරෙස්සම් කරන්නට සිදු වේ. ධනය ඇති තාක් ඔහුට සැනසිල්ලක් නො ලැබේ. රැස් කර ගෙන ඉන්නා ධනය නිසා නොයෙක් විට ඊර්ෂ්‍යා කාරයන් ගෙන් නොයෙක් කරදර විඳින්නට සිදු වේ. සොරුන්ගෙන් සතුරන්ගෙන් පීඩා විඳින්නට ද සමහර විට ඒ ධනය නිසා මැරෙන්නට ද සිදු වේ. එ බැවින් තථාගතයන් වහන්සේ ‘කාමයෝ මස් කැටියක් වැනියහ’ යි වදාළ සේක.
තිණුක්කූපමා කාමා. ‘දවන ස්වභාවය ඇති බැවින් කාමයෝ තණසුලකට බඳු උපමා ඇත්තෝ ය’ යනු එහි තේරුම ය. ගිනි දැල්වෙන තණ සුලක් අතින් ගෙන සිටින්නහු විසින් එය නො හළ හොත් අත දැවී ඒකාන්තයෙන් ඔහු දුකට පත් වන්නේ ය. වස්තුව රැස් කර ගෙන සිටින තැනැත්තාහට එය නො හළ හොත් ඒකාන්තයෙන් දුකට පත්වන්නට සිදු වේ. තණ්හාවෙන් අයත් කර ගෙන සිටින්නා වූ වස්තුවෙන් වෙන් වීම වස්තු හිමියාට දුකෙකි. වස්තුව කෙසේ පරෙස්සම් කරමින් සිටියත් ඒ වස්තුව නැති වී යෑමෙන් හෝ මරණයෙන් හෝ වස්තු හිමියා එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේ ය. එබැවින් ඒ දුක තණසුල නො හැර සිටින්නහුට මෙන් වස්තුව නො හැර සිටින්නහුට ඒකාන්තයෙන් ඇති වේ. සමහර විට සොර සතුරු පීඩාවලින් ද බොහෝ දුක් ඇතිවේ. ‘කාමයෝ අතට ගත් තණසුලක් බඳුයහ’ යි වදාළේ එහෙයිනි.
අංගාරකාසූපමා කාමා. ‘කාමයෝ දුම් නැති ගිනිදලු නැති මහගිනි අඟරු වළකට බඳු උපමා ඇත්තාහ’ යනු එහි තේරුම යි. ගැඹුරෙන් සතර රියනක් පමණ වන ගිනි දලු හා දුම් නැති ගිනි අඟුරෙන් පිරි වළක් වේ නම් එහි මහා රස්නයක් ඇත්තේ ය. එහි යමක් වැටුණ හොත් ගිනි රස්නයෙන් බැදී කරවී යන්නේ ය. කාමයන් පිළිබඳ ව ඇති වන්නා වූ තද ආශාවත් එබඳු ම රස්නයකි. ඇතැමුන් තමන්ට ඇති වූ කාමාශාවල් සම්පූර්ණ කර ගන්නට නො හැකි වූ විට දිවි නසා ගන්නේ එයින් වන තැවීම් නො ඉවසිය හැකි වීමෙනි.
සුපිණකූපමා කාමා. ‘කාමයෝ රෑ දුටු ස්වප්නයක් වැනියහ’ යනු එහි තේරුම ය. ස්වප්නයෙන් කිනම් වස්තුවක් ලදත්, කිනම් සම්පත්තියක් ලදත් ඒවා ඇත්තේ සිහිනය දකිමින් ඉන්නා අවස්ථාවෙහි පමණෙකි. අවදි වූ පසු ඒවායින් කිසිවක් නැත. එමෙන් කාමවස්තූන් නිසා ලබන සෝමනස්සයත් ප්‍රීතියත් ඇත්තේ ඒ වේලාවට පමණෙකි. ඇසිල්ලකින් එය නැති වෙයි. එක් එක් පුද්ගලයකු විසින් බොහෝ වෙහෙසී කාම වස්තූන් සපයා ඒවා නිසා අතීතයෙහි බොහෝ වාරවල ප්‍රීති සොම්නස් ලබා ඇත. අද ඒවායින් කිසිවක් ඉතිරි වී නැත. දැන් ලබන ප්‍රීති සොම්නස්වල හා අනාගතයෙහි ලබන ප්‍රීති සොම්නස්වල ඉරණමත් එයම ය. ලබා ගන්නා කාමවස්තු ද එසේ ම ක්ෂය වී යන්නේ ය. එක් එක් පුද්ගලයකු ගේ අතීත සංසාරය ගැන සලකා බලතහොත් එකකු විසින් රැස් කළ ධනයෙහි ප්‍රමාණයක් නැති බවත්, පෝෂණය කළ අඹු දරුවන්ගේ ප්‍රමාණයක් නැති බවත් කිය යුතු ය. අද ඒවායින් කිසිවක් නැත. අද රැස් කරගෙන ඉන්නා ධනයේත්, අද ආදරයෙන් පෝෂණය කරන අඹුදරුවන්ගේත් ඉරණම ද එයම ය. එබැවින් තථාගතයන් වහන්සේ ‘තාවකාලිකත්වයෙන් කාමයෝ ස්වප්නයක් බඳුහ’ යි වදාළ සේක.
යාචීතකූපමා කාමා. ‘කාමයෝ අනුන්ගෙන් තාවකාලික වශයෙන් ඉල්ලා ගත් දේවල් බඳුයහ’ තාවකාලික වශයෙන් අනුන්ගෙන් ඇඳුම් පැළඳුම් ඉල්ලා ඇඳ පැළඳ සිටින තැනැත්තා ඒ වේලාවට මහ පොහොසතකු සේ පෙනේ. ඇසිල්ලකින් ඒවා ආපසු හිමියන් ගත් කල්හි ඔහුට කිසිවක් නැත. මඳ කලක දී නැති වී යන කාමයෝ ද අනුන් ගෙන් ගත් බඩු වැනි ය.
රුක්ඛඵලූපමා කාමා. ‘කාමයෝ පල දරන ගසකට බඳු උපමා ඇත්තේ ය.’ වනයෙහි පල දරන ගසකට නැඟ එකකු පල නෙළා කමින් සිටියදී පල සොයා ආ ගස් යන්නට නො දත් අනිකකු ඒ ගස කපන්නට පටන් ගත් කල්හි ගසෙහි ඉන්නා තැනැත්තා වහා නො බව හොත් ගසත් සමග වැටී ඔහුගේ අත් පා හෝ බිඳෙන්නේ ය. ඔහු මරණයට හෝ පැමිණෙන්නේ ය. එමෙන් කාමයන් නො හැර අල්ලා ගෙන ඉන්නා තැනැත්තා ඒ කාමයන් නිසා නොයෙක් විට මරණයට හෝ මහ දුක්වලට පත් වන්නේ ය.
අසිසූනූපමා කාමා. ‘කාමයෝ කඩුවකට, මස් කපන කොටයකට බඳු උපමා ඇත්තාහ.’ කඩුව හා කොටය නිසා මස් කැපී යන්නාක් මෙන් ඔවුනොවුන් කෝලාහල කර ගැනීම් ආදියෙන් කාමයන් නිසා සත්ත්වයෝ මහත් විනාශයට පැමිණෙන්නාහ.
සත්තිසූලූපමා කාමා. ‘කාමයෝ පිහියක හෝ කිනිස්සක උලට බඳු උපමා ඇත්තාහ.’ පිහියාවල කිනිසිවල හුලෙන් ශරීර සිදුරු කරන්නාක් මෙන් කාමයෝ ද සත්ත්වයන්ගේ සිත් සිදුරු කරති.
සප්පසිරූපමා කාමා. ‘කාමයෝ සර්පහිසකට බඳු උපමා ඇත්තාහ’ සර්ප හිස භයානක දෙයක් වන්නාක් මෙන් ම අනේක දුඃඛයන්ට හේතු වන බැවින් කාමයෝ ද භයානකයහ. එබැවින් තථාගතයන් වහන්සේ කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහයි වදාළ සේක.
මධ්‍යම නිකායේ චූලදුඃඛස්කන්ධ මහාදුඃඛස්කන්ධ සූත්‍ර දෙක්හි කාමයන්ගේ බොහෝ ආදීනව විස්තර වශයෙන් වදාරා ඇත්තේ ය. ඒ සූත්‍ර ධර්ම බලා ගැනීම ද පැවිද්දන්ට ඉතා ප්‍රයෝජන ය. ග්‍රන්ථය මහත් වන බැවින් ඒ සූත්‍ර මෙහි නො දක්වනු ලැබේ. මේ ගාථා භාවිතය ද ප්‍රයෝජනවත් ය.
1. චාතුද්දීපෝ රාජා
මන්ධාතා ආසි කාමභෝගීනමග්ගෝ,
අතිත්තෝ කාලංකතෝ
න තස්ස පරිපූරතා ඉච්ඡා.
-
2. සත්තරතනානි වස්සෙය්‍ය
වුට්ඨිමා දසදිසා සමන්තේන,
න චත්ථි තිත්ති කාමානං
අතිත්තාව මරන්ති නරා.
-
3. අසීසූනූපමා කාමා කාමා සප්පසිරොපමා,
උක්කොපමා අනුදහන්ති අට්ටිකංකල සන්නිභා
-
4. අනිච්ඡා අද්ධුවා කාමා බහුදුක්ඛා මහාවිසා,
අයොගුළෝව සන්තත්තො අඝමූලා දුඛප්ඵලා
-
5. රුක්ඛඵලූපමා කාමා මංසපෙසූපමා දුඛා,
සුපිනෝපමා වඤ්චනියා කාමා යාචිතකූපමා
-
6. සත්තිසූලුපමා කාමා රොගො ගණ්ඩො අඝං නිඝං,
අංගාරකාසු සදිසා අඝමූලං භයං වධො.
(සුමේධාථෙරි ගාථා)
තේරුම :-
1. ද්වීප සතරට ම අධිපති කාමභෝගීන්ගෙන් අග්‍ර මන්ධාතු නම් රජෙක් විය. ඔහු ද කාමයන්ගෙන් තෘප්තියක් නො ලබා ම කළුරිය කෙළේ ය. ඔහුගේ ආශාව නො පිරුණේ ය. මන්ධාතු රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා වශයෙන් ද, සුවාසූ දහසක් අවුරුදු යුවරජු වශයෙන් ද සුවාසූ දහසක් අවුරුදු චක්‍රවර්තී රජව ද මිනිස්ලොව කම් සැප විඳ සතියක් ශක්‍රයන්ගේ ආයුකාලයෙහි දෙව් ලොව දිව්‍යකාම සම්පත් ද විඳ කාමයන්හි තෘප්තියකට නො පැමිණ ම දිවි කෙළවර කෙළේ ය.
2. හාත්පස දශ දිශාවෙහි ම රුවන් වැසි වට ද සත්ත්වයාට කාමයන් ගැන තෘප්තියට පැමිණීමක් නො වේ. මනුෂ්‍යයෝ තෘප්තියට නො පැමිණ ම මැරෙන්නාහ. ඉතිරි ගාථා සතරෙහි අර්ථ සුගම බැවින් නො දක්වනු ලැබේ.
පෙර විසූ පැවිද්දන් කාමයන් කොතරම් භයානක දේ වශයෙන් සලකන ලද ද යන බව භිස ජාතකයෙන් දත හැකි ය.
ඒ මෙසේ ය:-