භිස ජාතකය

එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. ‘මහා කඤ්චන’ කුමාරයෝ යැයි උන්වහන්සේට නම තැබූහ. උන්වහන්සේට බාල සහෝදරයන් සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමයන් කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයකට බැස නො ගත්හ. ඔවුහු මා පියන් ජීවත්වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට, මා පියන් ඇවෑමෙන් ඔවුනට හිමි වූ අසූ කෙළක් ධනය දුගී මගී යාචකයන්ට දන් දී, තපස්කම් කරනු පිණිස සැම දෙන ම හිමාලය වනයට ගියහ. දාසියක් හා දාසයෙක් ද යහළුවෙක් ද ඔවුන් හා ගියෝ ය. පිරිස එකොළොස් දෙනෙක් වූහ. ඔවුහු හිමාලයෙහි එක් විලක් සමීපයේ මනරම් තැනක පන්සලක් කර ගෙන සැම දෙන ම පැවිදි ව මහාබෝසතාණන් වහන්සේගේ අවවාදානුශාසනය පරිදි මහණදම් පුරන්නට වන්හ. ඵලාඵල පිණිස වනයට යන කල්හි ඔවුහු සමූහ වශයෙන් ගොස් ඇසූ දුටු දෑ සම්බන්ධයෙන් කථා කරමින් පල වැල නෙළන්නට වීමෙන් ඒ වනය ද ගමක් වැනි විය. ඒ බව දුටු බෝසතාණන් වහන්සේ අසූ කෙළක් ධනය හැර පියා ආ අපට මේ වනයෙහි මෙසේ ලෝභයෙන් පල වැල සෙවීම නො හොබනේ ය. සෙස්සන්ට මෙහි ම මහණදම් පුරන්නට හැර මම වනයට ගොස් හැම දෙනාට ම පල වැල නෙළාගෙන එමි යි සිතා සවස් කාලයේ දී සැම දෙනා ම රැස් කරවා ඒ බව ඔවුන්ට දැනුම් දුන්හ.

එකල්හි සෙස්සෝ කියන්නාහු, “ආචාර්‍ය්‍යයන් වහන්ස, අපි නුඹ වහන්සේ නිසා පැවිදි වූවෝ වෙමු. නුඹ වහන්සේ මෙහි ම මහණදම් පුරමින් වැඩ සිටින සේක්වා, නැගණිය ද මෙහි ම සිටීවා, දාසිය ද නැගණිය වෙත වෙසේවා, අපි අටදෙන වාරයෙන් වාරය ගොස් පලවැල සොයා එන්නෙමුය” යි කියා, මහබෝසතාණන් වහන්සේ ගිවිස්වා එතැන් පටන් එසේ කරන්නට පටන් ගත්හ. වාරය පැමිණි තැනැත්තා වනයට ගොස් පල වැල සොයා අවුත් ගල් පුවරුවක් මත එකොළොස් කොටසකට බෙදා තබා, ගෙඩිය ගසා, තමාගේ කොටස ගෙන යන්නේ ය. සෙස්සෝ ද අවුත් තම තමන්ගේ කොටස් ගෙන තම තමන් වසන තැන්වලට ගොස් වළඳා මහණදම් පුරති. පසු කලකදී ඒ තාපසවරු පල වැල සෙවීමත් නවත්වා එක් විලකින් නෙළුම් අල ගෙනැවිත් වළඳමින් ධ්‍යාන භාවනා කරන්නට පටන් ගත්හ.

උන්වහන්සේලා ගේ ශීල තේජසින් ශක්‍ර‍ භවන ද සැලිණ. ශක්‍ර‍යා ද උන්වහන්සේලා ගැන විමසිල්ලෙන් විසී. අභ්‍යන්තරයෙහි පවත්නා දුර්ගුණයක් ක්‍රියාකාරී භාවයට පැමිණීමේ කාරණයක් නැති ව සිටින කල්හි සැම දෙන ම ගුණවන්තයෝ ය. කෙනකුගේ හොඳ නරක බව, දුර්ගුණ ඇති නැති බව, තේරුම් ගත හැකි වන්නේ ආභ්‍යන්තරික දුර්ගුණ එළි බහින කරුණු ඇති වන කල්හි ය. අරණ්‍යවල එබඳු කරුණු අඩු ය. එබැවින් ආරණ්‍යකයන්ගේ ගුණාගුණ දැන ගැනීමට දුෂ්කර ය. සක්දෙව් රජු ඒ තවුසන් විමසනු පිණිස එළි බසින්නට කරුණු නැති කල්හි සැඟවී තිබෙන ඇතැම් දුර්ගුණ එළි බසින වැඩක් කෙළේ ය. එනම් මහබෝසතාණන් වහන්සේට තැබූ නෙළුම් අල කොටස පිට පිට තෙදිනක ම සැඟවීම ය.

පළමුවන දිනයේ ගෙඩියේ හඬ අසා මහබෝසතාණන් වහන්සේ පලවැල බෙදා තබන තැනට ගොස් බැලූ කල්හි තමන් වහන්සේගේ කොටස නො දුටහ. උන්වහන්සේ එදින තමන් වහන්සේට කොටසක් තබන්නට අමතක වන්නට ඇතය’ යි සිතා තුෂ්ණීම්භූත වූහ. දෙවන දවසේදී ද කොටස නො ලැබූ බෝසතාණෝ “මාගේ යම්කිසි වරදකින් කොටස නො තබති” යි සිතූහ. තුන්වන දවසේදී ද කොටස නො ලැබ, වරදක් ඇතහොත් ක්ෂමා කරවා ගනිමි’ යි සිතා, සවස් කාලයේ දී ගෙඩිය ගසා පිරිස රැස් කරවා, කාරණය පිරිසට දන්වා, ඒ ඒ දිනවල පලවැල නෙලීමට ගියවුන්ගෙන් තමන් වහන්සේට කොටස නොතැබීමේ හේතු විචාළහ. සියල්ලෝ ම ඒ ඒ දිනවල බෝසතාණන් වහන්සේට කොටස තැබූ බව කීහ. එකල්හි බෝසතාණන් වහන්සේ කියන සේක් : “මේ පින්වත්හු මාගේ කොටස තැබූ බව කියන්නහුය. මට නම් එය නො ලැබුණේ ය. එසේ වීමට මෙහි සොරකු විය යුතු ය. පැවිද්දන්ට මෙවැනි වැඩ නුසුදුසු ය. මෙය කළ තැනැත්තා කවරේදැ යි දත යුතුය” යි කීහ. පැවිදි පිරිසක් අතර මෙබඳු නොමනා දෙයක් සිදුවීම ගැන සැම දෙනා වහන්සේ ම මහත් සංවේගයට පැමිණියෝ ය. සක් දෙවිඳු ද තාපස වරුන්ගේ පුවත් විමසනු පිණිස එහි පැමිණ නොපෙනී සිටියේ ය.

එකෙණෙහි බෝසතාණන් වහන්සේ ගේ දෙටු සොහොයුරු උපකඤ්චන තාපසයෝ නැඟිට බෝසතාණන් වහන්සේට වැඳ තමන්ගේ ශුද්ධිය පැවසීමට අවසර ගෙන මෙසේ ශාප කළහ.

“අස්සං ගවං රජතං ජාතරූපං

භරියඤ්ච සෝ ඉධ ලභතං මනාපං

පුත්තේහි දාරේහි සමංගි හෝතු

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද හෙතෙමේ අශ්වයන් ද ගවයන් ද රිදී ද රන් ද මනාප මනාප භාර්‍ය්‍යාවන් ද ලබාවා; අඹු දරුවන් ගෙන් යුක්ත වේවා” ය යනු එහි තේරුම යි.

අශ්ව ගවාදි ප්‍රිය වස්තූන් නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තේ යම් පමණ මහත් සතුටක් ලබා ද, හේ ඒවා නැතිවීමෙන් පසුව එ පමණට හෝ එයට වඩා මහත් වූ හෝ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් ලබන්නේ ය. එය ප්‍රිය වස්තූන් නිසා සිදුවන එක් නපුරෙකි. ඒවා නිසා සිදුවන තවත් දුක් බොහෝ ය. තාපසයන් වහන්සේ සොරා අශ්වගවා දි කාමයන් ලබාවායි ශාප කළේ එහෙයිනි. ඒ තාපසවරුන්ගේ සැලකීමේ හැටියට ඒවා ලබා ගෙන සිටීමට වඩා තවත් නපුරක් නැත. එය අසා ගෙන සිටි සෙස්සෝ “පින්වත, එසේ නො කියනු මැනව; ඔබගේ ශාපය ඉතා දරුණුය” යි කියා කන්වල ඇඟිලි ගසා ගත්හ. එතුමා ශාප කොට තමා ගේ පිරිසිදු බව ප්‍ර‍කාශ කොට හිඳ ගත් පසු දෙවන සහෝදර තාපසයෝ ද තමන් ගේ පාරිශුද්ධිය දැක්වීම සඳහා මෙසේ ශාප කළෝ ය.

“මාලඤ්ච සෝ කාසිකචන්දනඤ්ච

ධාරේතු පුත්තාස්ස බහූ භවන්තු,

කාමේසු තිබ්බං කුරුතං අපෙක්ඛං

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”

බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද හේ මල් ද කශීරට සඳුන් ද දරාවා; ඔහුට දරුවෝ බොහෝ වෙත්වා; කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා ය” යනු එහි තේරුම යි. අනතුරුව සෙස්සෝ ද තම තමන්ට අභිමත පරිදි මතු දක්වන පරිදි ශාප කළහ.

“පහූත ධඤ්ඤෝ කසිමා යසස්සී

පුත්තේ ගිහී ධනිමා සබ්බකාමෝ,

වයං අපස්සං ඝරමාවසාතු

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා. බොහෝ පුත්‍ර‍යන් ලබාවා. ගිහියෙක් වේවා, බොහෝ ධනය ඇත්තේ වේවා, රූපාදි සකල කාමයන් ඇත්තේ වේවා, වයස ගැන නො බලා මහලු කල ද ගිහිකම් කරන්නෙක් වේවා” යනු එහි තේරුම යි.

“සෝ ඛත්තියෝ හෝතු පසය්හකාරී

රාජාභිරාජා බලවා යසස්සී,

ස චාතුරන්තං මහිමා වසාතු

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ අනුන් පෙළන්නා වූ ක්ෂත්‍රියයෙක් වේවා, බලවත් වූ කීර්තිමත් වූ රාජාධිරාජයෙක් වේවා, හෙතෙමේ සියලු පොළොවට අධිපති වේවා” යි යනු එහි තේරුම යි.

“සෝ බ්‍රාහ්මණෝ හෝතු අවීතරාගෝ

මුහුත්ත නක්ඛත්ත පථෙසු යුත්තෝ,

පූජේතු නං රට්ඨපතී යසස්සී

භිසානි තේ බ්‍රාහ්මණ යෝ අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද හේ නැකැත් දන්නා වූ රාග සහිත වූ බ්‍රාහ්මණයෙක් වේවා, යසස් ඇත්තා වූ රජ ඔහු මුදාවා.”

“අජ්ඣායකං සබ්බ සමත්තවේදං

තපස්සිනං මඤ්ඤතු සබ්බ ලෝකෝ,

පූජේතු නං ජානපදා සමෙච්ච

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල කොටස ගත්තේ ද, හේ සියලු වේදන හදාරන එකෙක් වේවා. සකල ලෝකයා ඔහු සිල්වතෙක්ය යි සිතාවා. ජනපද වැසියෝ එක්ව ඔහු පුදාවා.

“චතුස්සදං ගාමවරං සමිද්ධං

දින්නං හි සෝ භුඤ්ජති වාසවේන,

අවීතරාගෝ මරණං උපේතු,

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ මිනිසුන් ද, ධනය ද, දර ද, දිය ද යන මේ සතර උත්සන්න වූ ශක්‍ර‍යා විසින් තෑගි කරන ලද්දක් බඳු වූ සමෘද්ධ ගමක් භුක්ති විඳීවා. එහි ආලය දුරු කර නො ගෙන මරණයට පැමිණෙත්වා!”

“සෝ ගාමිණී හෝතු සහාය මජ්ඣෙ

නච්චේහි ගීතේහි පමෝදමානෝ,

මා රාජතෝ ව්‍යසන මලත්ථ කිඤ්චි

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ ගම් ප්‍ර‍ධානයෙක් වේවා, යහළුවන් මැද ගී නැටුම්වලින් සතුටු වී සිටින්නෙක් වේවා. හේ රජුගෙන් කිසි ව්‍යසනයක් නො ලබාවා.

නැගණියගේ ශාපය මෙසේ ය:

“යං ඒකරාජා පඨවිං විජෙත්වා

ඉත්ථි සහස්සස්ස ඨපේතු අග්ගං

සීමන්තිනීනං පවරා භවාතු,

භිසානි තේ බ්‍රාහ්මණ, යා අහාසි”

“බ්‍රාහ්මණය, යම් ස්ත්‍රියක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තී ද, ඇය මුළු පොළොව දිනූ අග රජ තෙමේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍ර‍ධාන කොට තබා ගනීවා! ඕ තොමෝ ස්ත්‍රීන්ට අග්‍ර‍ වේවා!

ඉක්බිති දාසිය ද මෙසේ ශාප කළා ය.

“ඉසිනං හි සා සබ්බසමාගතානං

භුඤ්ජෙය්‍ය සාදුං අවිකම්පමානා,

චරාතු ලාභේන විකත්ථමානා

භිසානි තේ බ්‍රාහ්මණ, යා අහාසි.”

“බ්‍රාහ්මණය, නුඹ වහන්සේගේ නෙළුම් අල යම් තැනැත්තියක් පැහැර ගත්තී ද, ඕ තොමෝ එක් රැස් වූ තාපසවරුන් මැද හිඳ, කිසි පැකිළීමක් නැතිව උතුම් රසය අනුභව කරාවා. ලාභය නිසා කුහකකම් කරාවා.” යනු එහි තේරුම යි.

දාසිය මෙසේ ශාප කරන ලදුයේ හිමියන් ඉදිරියේ ආහාර වැළඳීම දාසිදාසයනට ඉතාම අප්‍රිය වැඩක් බැවිනි. එ තැනට පැමිණ සිටි අසපුවේ දෙටු රුකේ දෙවියා ද මෙසේ ශාප කෙළේ ය.

“ආවාසිකෝ හෝතු මහා විහාරේ

නවකම්මිකෝ හෝතු කජංගලායං,

ආලෝක සන්ධිං දිවසා කරෝතු

භිසානි තේ බ්‍රාහ්මණ, යො අහාසි.”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ ලොකු පන්සලක වාසය කරන්නේ වේවා. කජංගලා නම් නගරයෙහි නවකම් කරන්නේ වේවා. එක් දිනකින් කවුළුවක වැඩ අවසන් කරන්නේ වේවා” යනු එහි තේරුම යි.

ඒ දෙවියා කසුප් බුදුන් සමයෙහි කජංගලා නම් නගරයෙක පරණ මහ පන්සලක අධිපතියකු වී එහි ප්‍ර‍තිසංස්කරණ වැඩ කිරීමෙන් බොහෝ දුක් විඳ ඇති බැවින් එය සිහි කොට එසේ ශාප කෙළේ ය. කලක් මිනිසුන්ට හසු වී සිට ඔවුන්ගෙන් මිදී වනයට ඇවිත් සිටින ඇතෙක් ද කලින් කල එහි පැමිණ තාපසවරුන්ට වඳින්නේ ය. ඌ ද මේ වේලාවේ එහි ඇවිත් සිට මෙසේ ශාප කෙළේ ය.

“සෝ බජ්ඣතං පාසසතේහි ඡම්භි

රම්මා වනා නීය්‍යතු රාජධානිං

තුත්තේහි සෝ හඤ්ඤතු පාචනේහි

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”

“බ්‍රාහ්මණය, ඔබ තුමා ගේ නෙළුම් අල යමෙක් පැහැර ගත්තේ ද හේ බොහෝ පාසයන්නේ සය තැනින් බඳිනු ලබාවා. සිත්කළු වනයෙන් රාජධානියකට ගෙන යනු ලබාවා. කනමුල විදිනා කටුවලින් හා කෙවිටිවලින් විදිනු ලබාවා.

එහි අහිගුණ්ටිකයකු ගේ අතින් මිදී පලා ආ රිළවෙක් ද විය. ඌ ද මෙසේ ශාප කෙළේ ය.

“අලක්කමාලී තිපුකණ්ණ විද්ධෝ

ලට්ඨිහතෝ සප්පමුඛං උපේතු,

සක්කච්ච බද්ධෝ විසිඛං චරාතු

භිසානි තේ බ්‍රාහ්මණ, යෝ අහාසි”

“බ්‍රාහ්මණය, යමෙක් ඔබ ගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද ඔහුට ගෙළ එළවරාමාලය පළඳවන ලදුව කනෙහි ඊයම් අබරණ පළඳවන ලදුව කෝටුවලින් තළනු ලබමින් සර්පයාගේ ඉදිරියට යන්නට සිදු වේවාය” යනු එහි තේරුම යි.

රිළවා මේ කියන්නේ අහිගුණ්ටිකයාට හසු වී සිටි කාලයේ දී විඳින්නට සිදු වූ දුක ගැන ය. මෙසේ ඒ තෙළෙස් දෙනා ම ශාප කොට අවසන් වූ කල්හි මහා බෝසතාණන් වහන්සේ නෙළුම් අල කොටස නැති වී ය යි බොරු චෝදනාවක් කළහ යි සෙස්සන් තමන් වහන්සේ ගැන සිතති යි තමන් වහන්සේ ගේ ශුද්ධිය පැවසීම් වශයෙන් මෙසේ ශාප කළහ.

“යෝ චේ අනට්ඨං නට්ඨන්ති චාහ

කාමේ ච සෝ ලභතං භුඤ්ජතඤ්ච

අගාරමජ්ඣෙ මරණං උපේතු

යෝ වා භොන්තෝ සංකති කිඤ්චිදේව”

“පින්වත්නි, යමෙක් නැති නොවූ තමාගේ ආහාර කොටස නැති වූයේ ය යි කියා නම් හෙතෙමේ රූපාදී කාමයන් ලබාවා, කාමයන් පරිභෝග කෙරේවා, ගිහි ගෙයි ම මැරෙන්නට සිදු වේවා” යනු එහි තේරුම යි.

මෙසේ තවුසන් විසින් සාප කළ කල්හි ශක්‍ර‍යා බිය වී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නින්දා කරති. එහි කාරණය විමසිය යුතු ය යි පෙනෙන්නට අවුත් බෝසතාණන් වහන්සේට වැඳ, ස්වාමීනි, ලෝකයෙහි සත්ත්වයෝ නොයෙක් අයුරෙන් වෙහෙසී කාමයන් සොයති. කාමයෝ බොහෝ දෙනට ඉතා ප්‍රිය වෙති. ඒ කාමයන්ට කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නින්දා කෙරෙත් දැ යි විචාළේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක.

“කාමේසු වේ හඤ්ඤරේ බජ්ඣරේ ච

කාමේසු දුක්ඛඤ්ච භයඤ්ච ජාතං

කාමේසු භූතාධිපතී පමත්තා

පාපානි කම්මානි කරොන්ති මෝහා.

-

තේ පාපධම්මා පසවෙත්වා පාපං

කායස්ස භේදා නිරයං වජන්ති,

ආදීනවං කාම ගුණේසු දිස්වා

තස්මා ඉසයො නප්පසංසන්ති කාමෙ.”

“ශක්‍ර‍ය කාමයන් නිසා දඬු මුගුරු ආදියෙන් පහර දෙනු ලබති. බඳිනු ලබති. කාමයන් නිසා කායික මානසික දුක්ඛය ද, අත්තානුවාදාදී භය ද ඇති වේ. කාමයන් කෙරෙහි මුළා වූ සත්ත්වයෝ මෝහයෙන් පව්කම් කරති. ඔවුහු පව් රැස් කොට මරණින් මතු නරකයට යෙති. කාමයන්හි දෝෂය දක්නා බැවින් සෘෂීහු කාමයන්ට ප්‍ර‍ශංසා නො කෙරෙති” ය යනු එහි තේරුම යි.

ශක්‍ර‍යා තමා කළ වරද ගැන තාපසවරුන්ගෙන් ක්ෂමාව ගෙන දෙව් ලොවට ගියේ ය. තාපස සමූහයා ද ධ්‍යාන වඩා බඹලොවට ගියෝ ය.