බුදුරජාණන් වහන්සේගේ දායාදය

සියලු ගංගා ඇළදොලවලින් මහාසාගරයට පිවිසෙන්නා වූ ජලය ඒවාට පළමු තුබූ නම් අහෝසි වී සාගරය ම වන්නාක් මෙන්, නොයෙක් රටවලින් නොයෙක් ජාතිවලින් නොයෙක් කුලගොත්වලින් බුදුසස්නෙහි පැවිදි වන සියලු ම කුල පුත්‍රයෝ පැවිදි වීමෙන් පසු ඔවුන්ගේ පළමු නම් ගොත් අහෝසි වී බුද්ධපුත්‍රයෝ වෙති. ඉන්පසු ඔවුහු බුදුරජාණන් වහන්සේ ගේ දායාදයට උරුමක්කාරයෝ වෙති.

‘ධර්ම දායාදය, ආමිෂ දායාදය’ යි බුදුන් වහන්සේගෙන් ලැබෙන දායාද දෙකකි. ධර්මදායාදය ද ‘නිෂ්පර්යාය ධර්ම දායාදය, පර්යාය ධර්මදායාදය’ යි දෙපරිදි වේ. සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන නවලෝකෝත්තර ධර්මය තථාගතයන් වහන්සේගේ ‘නිෂ්පර්යාය ධර්මදායාදය’ ය. ඒ නවලෝකෝත්තර ධර්මයට පැමිණීමට එය ලැබීමට උපකාර වන නිවන් පතා කරන දාන ශීලාදි කුශලයෝ පර්යාය ධර්ම දායාදය ය. සත්ත්වයනට ඒ නවලෝකෝත්තර ධර්මයන් ලැබිය හැක්කේ තථාගතයන් වහන්සේ ඒවා පළමුවෙන් සොයා ගෙන දැන ගෙන ශ්‍රාවකයනට දේශනය කළ නිසා ය. නො එසේ වී නම් කිසිවකුට ඒ ධර්මවලට පැමිණීම තබා ඒවා ඇති බව වත් දැනගන්නට නොලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ විසින් සොයා දුන් දෙයක් වන බැවින් ඒ මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත ධර්මය උන්වහන්සේගෙන් ලැබෙන දායාදයෙකි. පර්‍ය්‍යාය ධර්මය වන නිවන් ලබන කුශලයත් තථාගතයන් වහන්සේ විසින් ම සොයා ගන්නා ලද්දක් වන බැවින් උන්වහන්සේගෙන් ම ලැබෙන දායාදයකි.

ආමිෂදායාදය ද ‘නිෂ්පර්‍ය්‍යාය ආමිෂදායාදය - පර්‍ය්‍යායආමිෂදායාදය’ යි දෙපරිදි වේ. එයින් පර්‍ය්‍යාය ආමිෂදායාදය නම් පැවිද්දනට ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්‍ර‍ත්‍යය යන සිවුපසය ය. භික්ෂූන්ට එය ලැබෙන්නේ තථාගතයන් වහන්සේ විසින් ඒවා ලැබෙන ක්‍ර‍මය යොදන ලද බැවිනි. එබැවින් සිවුපසය ද තථාගතයන් වහන්සේ ගෙන් ලැබෙන දායාදයක් වෙයි. ඇතැමෙක් භව සම්පත්තිය පතා දන් දී සිල් පුරා භාවනා කොට දෙව් මිනිස් සම්පත් ලබති. එසේ ලබන දේව මානුෂික සම්පත්තිය නිෂ්පර්යාය ආමිෂදායාදය ය. බුදුන් වහන්සේ විසින් දේශිත මාර්ගයෙන් ලබන බැවින් ඒ දේව මානුෂික සම්පත්තිය උන්වහන්සේගෙන් ලැබෙන දායාදයෙකි. බුදුන් වහන්සේගේ බලාපොරොත්තුව තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ලවා මේ දායාද දෙකින් ධර්මදායාදය ගැන්වීමය. එබැවින් :-

“ධම්ම දායාද මේ භික්ඛවේ, භවථ මා ආමිස දායාද: අත්ථි මේ තුම්හේසු අනුකම්පා, කින්ති මේ සාවකා ධම්ම දායාද භවෙය්‍යුං, නෝ ආමිස දායාදති.

“තුම්හේව මේ භික්ඛවේ, ආමිස දායාද භවෙය්‍යාථ නෝ ධම්ම දායාදා, තුම්හේපි තේන ආදිස්සා භවෙය්‍යාථ ආමිස දායාද සත්ථුසාවකා විහරන්ති නෝ ධම්මදායාද ති, අහම්පි තේන ආදිස්සෝ භවෙය්‍යං ආමිස දායාද සත්ථුසාවකා විහරන්ති නෝ ධම්ම දායාදා ති.”

(ධම්මදායාද සුත්ත)

තේරුම :-

“මහණෙනි, තෙපි මාගේ ධර්මය දායාදය වශයෙන් ගන්නෝ වව්. ආමිස දායාදය ගන්නෝ වව්. මහණෙනි, මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මදායාදය පිළිගන්නෝ වන්නහුද, ආමිස දායාදය පිළිගන්නෝ නො වන්නාහු ද කියා තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත්තේ ය.

මහණෙනි, ඉදින් තෙපි මාගේ ආමිස දායාදය පිළිගන්නෝ වන්නහු නම් ධර්මදායාදය පිළිගන්නෝ නො වන්නාහු නම්, එයින් තෙපි ද ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිස දායාදය ගන්නෝ ය, ධර්මදායාදය නො ගන්නෝ ය යි ගැරහුම් ලැබිය යුත්තෝ වන්නාහු ය. මම ද එයින් ගැරහුම් ලැබිය යුත්තේ වෙමි.”

මේ දේශනයෙන් දැක්වෙන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් ආමිස දායාදය උසස් කොට නො ගෙන ධර්ම දායාදය පිළිගන්නවුන් විය යුතු බවය. නිවන් දැකීමට උත්සාහයක් නොකොට හොඳ පන්සල් සාදාගෙන ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසා ලැබීම ම පර්මාර්ථය කරගෙන වෙසෙන පැවිද්දෝ තථාගතයන් වහන්සේගේ ආමිස දායාදය පමණක් පිළිගෙන වෙසෙන්නෝ ය. පැවිද්දකුට සම්පූර්ණයෙන් ම ආමිෂය නො ගෙන ආමිෂයෙන් තොර ව ජීවත් විය නො හැකි ය. තථාගතයන් වහන්සේ ආමිෂයත් පැවිද්දන්ට උරුම කර දී ඇත්තේ එයත් වුවමනා බැවිනි. එහෙත් එය ගත යුත්තේ ලෙඩකට බෙහෙතක් ගන්නාක් මෙන් එයට ගිජු නො වී ය. යම් පැවිද්දෙක් ආමිෂයෙහි ගිජු නො වී ආර්යවංශ ධර්මයෙහි පිහිටා සුදුසු සේ සිවුපස පිළිගැනීම හා පරිභෝගය ද කරමින් ප්‍ර‍තිපත්තිය ප්‍ර‍ධාන කර ගෙන වෙසේ නම් ඒ පැවිද්දා බුදුරජාණන් වහන්සේ ගේ අදහස අනුව ධර්ම දායාදය පිළිගෙන වාසය කරන්නෙක් වේ.