“යේ හි කේචි භික්ඛවේ, අතීතමද්ධානං කුල පුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිංසු, සබ්බේ තේ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය. යේ හි කේචි භික්ඛවේ, අනාගත මද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති, සබ්බේ තේ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය. යේ හි කේචි භික්ඛවේ, ඒතරහි කුල පුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජන්ති, සබ්බේ තේ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය.
කතමේසං චතුන්නං? දුක්ඛස්ස අරිසච්චස්ස දුක්ඛසමුදස්ස අරිසච්චස්ස දුක්ඛනිරෝධස්ස අරිසච්චස්ස දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අරිය සච්චස්ස. යේ හි කේචි භික්ඛවේ. අතීතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිංසු -පෙ- පබ්බජිස්සන්ති, -පෙ- පබ්බජන්ති, සබ්බේ තේ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය.
තස්මාතිහ භික්ඛවේ, “ඉදං දුක්ඛන්ති” යෝගෝ කරණීයෝ. “අයං දුක්ඛසමුදයො” ති යෝගෝ කරණීයෝ. “අයං දුක්ඛනිරෝධො” ති යෝගෝ කරණීයෝ. “අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා” ති යෝගෝ කරණීයෝ.”
(සච්චසංයුත්ත සමාධිවග්ග)
තේරුම :-
“මහණෙනි, අතීතයෙහි යම් කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි මැනවින් පැවිදි වූවාහු ද, ඒ සැම දෙනා ම සතරක් වූ ආර්‍ය්‍යසත්‍යයන් තත්වූ පරිද්දෙන් අවබෝධ කිරීම පිණිස පැවිදි වූවාහු ය. මහණෙනි, අනාගතකාලයෙහි යම් කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි මැනවින් පැවිදි වන්නාහු ද, ඒ සැම දෙන ම සතරක් වූ ආර්‍ය්‍යසත්‍යයන් අවබෝධ කිරීම පිණිස පැවිදි වන්නාහ. මහණෙනි, දැන් යම් කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි මැනවින් පැවිදි වෙත් ද ඒ සැම දෙන ම සතරක් වූ ආර්‍ය්‍යසත්‍යයන් අවබෝධ කිරීම පිණිස පැවිදි වෙති.
කවර සතරක් ද යත්? දුඃඛසංඛ්යාත ආර්‍ය්‍ය සත්‍යය ය, දුක් ඇතිවීමේ හේතුව වූ ආර්‍ය්‍ය සත්‍යය ය, දුඃඛ නිරෝධය වූ ආර්‍ය්‍ය සත්‍යය ය, දුඃඛ නිරෝධයට පැමිණෙන මාර්ගය වූ ආර්‍ය්‍ය සත්‍යය යන මේ සතර ය. මහණෙනි, අතීත කාලයෙහි යම් කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙයින් නික්ම සස්නෙහි මැනවින් පැවිදි වූවාහු නම් -පෙ- සතරක් වූ ආර්‍ය්‍යසත්‍යයන් අවබෝධ කිරීම පිණිස ය.
මහණෙනි, එහෙයින් තොප විසින් ‘මේ දුඃඛය’ යි අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතු ය. ‘මේ දුක් ඇති වීමේ හේතුවය’ යි අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතු ය. ‘මේ දුඃඛ නිරෝධය’ යි අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතු ය. ‘මේ දුඃඛනිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාවය’ යි අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතු ය.
සත්ත්වයන් සසර දුකින් නො මිදෙන්නේ නිවනයට නො පැමිණෙන්නේ ඔවුනට සම්මෝහයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යයන් වැසී ඇති නිසා ය. සසර දුකින් මිදෙනු කැමති කුලපුත්‍රයෝ ඒ මෝහය දුරු කොට චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කර ගැනීම සඳහා ගිහිගෙය හැර බුදුසස්නෙහි පැවිදි වෙති. පැවිදි ව සත්‍යාවබෝධය කර ගැනීම සඳහා වීර්‍ය්‍ය කරති. මේ සස්නෙහි පැවිදි වන අය අතර නොයෙක් අදහස්වලින් පැවිදි වන්නෝ ඇතහ. පැවිදිවීමෙන් පසු ද නොයෙක් වැඩවල යෙදෙන්නෝ ඇතහ. මේ කුලපුත්‍ර සූත්‍රයෙන් දැක්වෙන්නේ චතුරාර්‍ය්‍යසත්‍යයන් අවබෝධ කිරීම පිණිස පැවිදි වන අය ම මැනවින් පැවිදි වන අය වන බවය. පැවිදි ව චතුරාර්‍ය්‍යසත්‍යයන් අවබෝධ කිරීම සඳහා කළ යුතු වැඩවල යෙදෙන අය ම මැනවින් මහණකම කරන අය බව ය. සසර දුකින් මිදීමත් නිවනට පැමිණීමත් චතුස්සත්‍යාවබෝධයෙන් සිදු කළයුතු වන බැවින් සසර දුකින් මිදීමේ අදහසින් නිවන් දැකීමේ අදහසින් පැවිදි වන්නෝ ද චතුස්සත්‍යාවබෝධය පිණිස පැවිදි වන්නෝ ය. එබැවින් ඒ අදහස්වලින් පැවිදි වීම ද මැනවින් පැවිදි වීම බව කිය යුතු ය.
පැවිදි වූ කුලපුත්‍රයා විසින් සත්‍යාවබෝධය කළ හැකි වීම සඳහා අභිධර්මාර්ථ සංග්‍රහය - විශුද්ධිමාර්ගය ආදි දහම් පොත් උගත යුතු ය. ඉන්පසු භාවනාවෙහි යෙදිය යුතු ය. සත්‍යාවබෝධය කළ හැකි වන්නේ භාවනාවෙහි යෙදීමෙනි.