“මා භික්ඛවේ, පාපකං අකුසලං චිත්තං චින්තෙය්‍යාථ. “සස්සතෝ ලොකො” ති වා “අසස්සතො ලොකො” ති වා “අන්තවා ලොකො” ති වා “අනන්තවා ලොකො” ති වා “තං ජීවං තං සරීරං” ති වා “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං” ති වා “හොති තථාගතෝ පරම්මරණා” ති වා “න හෝති තථාගතෝ පරම්මරණා” ති වා “හෝති ච න ච හෝති තථාගතෝ පරම්මරණා” ති වා “නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණා” ති වා. තං කිස්ස හේතු? නේසා භික්ඛවේ, චින්තා අත්ථසංහිතා, නාදිබ්‍රහ්මචරියකා, න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති.
චින්තෙන්තා ච ඛෝ තුම්හෙ භික්ඛවේ. “ඉදං දුක්ඛං” ති චින්තෙය්‍යාථ. “අයං දුක්ඛසමුදයෝ” ති චින්තෙය්‍යාථ. “අයං දුක්ඛනිරෝධෝ” ති චින්තෙය්‍යාථ. “අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා” ති චින්තෙය්‍යාථ. තං කිස්ස හේතු? ඒසා භික්ඛවේ, චින්තා අත්ථසංහිතා, ඒසා ආදි බ්‍රහ්මචරියකා, ඒසා නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.
තස්මාතිහ භික්ඛවේ, “ඉදං දුක්ඛං” ති යෝගෝ කරණීයෝ. “අයං දුක්ඛ සමුදයෝ” ති යෝගෝ කරණීයෝ. “අයං දුක්ඛනිරෝධෝ” ති යෝගෝ කරණීයෝ. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා” ති යෝගෝ කරණීයෝ.
(සච්චසංයුක්ත සමාධිවග්ග)
තේරුම :-
“මහණෙනි, ලාමක වූ අකුසල සිතිවිලි නො සිතවු. ආත්මය නිත්‍යය කියා හෝ, ආත්මය අශාස්වතය ශරීරයත් සමඟ නස්නේ ය කියා හෝ, ආත්මය අනන්තවත් ය කියා හෝ, ආත්මයේ අනන්තයක් නැතය කියා හෝ, ආත්මයත් ශරීරයත් එකමය කියා හෝ, ශරීරය අනිකෙක ආත්මය අනිකෙක කියා හෝ, ආත්මය මරණින් පසු ද නො මැරී ඇතය කියා හෝ, මරණින් පසු ආත්මය නැතය කියා හෝ, මරණින් පසු ආත්මය ඇත්තේ ද නැත්තේ ද වේය කියා හෝ මරණින් පසු ආත්මය ඇත්තේ ද නැත නැත්තේ ද නැත කියා හෝ, මෙබඳු සිතුවිලි නො සතිවු. කුමක් හෙයින් ද යත්? මහණෙනි, ඒ චින්තාව අර්ථය පිණිස නො වන්නී ය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවෙහි ආදිය වූ ප්‍රතිපදාව නො වන්නී ය. සසර කලකිරීම පිණිස ද, රාගය දුරු වීම පිණිස ද රාගාදීන් ගේ නිරෝධය පිණිස ද, රාගාදීන් සංසිඳීම පිණිස ද, ආර්යසත්‍යයන් දැන ගැනීම පිණිස ද, සතර මාර්ග ඥානයන් පිණිස ද නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස ද හේතු නොවන්නී ය.
මහණෙනි, සිතන්නා වූ තෙපි, “මේ දුකය” යි සිතවු. මේ දුක්වලට හේතුවය” යි සිතවු. “මේ දුක් නිවීමය” යි සිතවු. “මේ නිවනට පැමිණීමේ ප්‍රතිපදාවය” යි සිතවු. කුමක් හෙයින් ද යත්? මහණෙනි, ඒ චින්තාව අර්ථය පිණිස පවත්නී ය, මාර්ග බ්‍රහ්මචරියාවගේ ආදිය පිණිස පවත්නී ය. ඒ චින්තාව සසර කලකිරීම පිණිස රාගය දුරුවීම පිණිස රාගාදීන්ගේ නිරෝධය පිණිස රාගාදීන්ගේ සන්සිඳීම පිණිස ආර්‍ය්‍යසත්‍යයන් දැන ගැනීම පිණිස ලෝකෝත්තර මාර්ග ඥානය පිණිස නිර්වාණය පිණිස පවත්නී ය.
මහණෙනි, එබැවින් “මේ දුකය” යි දැන ගැනීමට උත්සාහ කරවු. “මේ දුක්වලට හේතුවය” යි දැන ගැනීමට උත්සාහ කරවු. “මේ නිවනය” යි දැන ගැනීමට උත්සාහ කරවු. “මේ නිවන් මඟය” යි දැන ගැනීමට උත්සාහ කරවු.”
ආත්මයක් ඇත ද නැත ද ආත්මය පඤ්චස්කන්ධය සමඟ නැසෙන දෙයක් ද පඤ්චස්කන්ධය නැසුණත් නො නැසී ජාතියෙන් ජාතියට යෙමින් සෑම කල්හි පවත්නා දෙයක් ද යන මේ කරුණු ගැන ලෝකයේ බොහෝ දෙනා සිතති. කථා කරති. තම තමන් දැන ගෙන ඇති කරුණු අනුව සිතීමෙන් ඒවා පිළිබඳ සත්‍ය දැනීම සුකර නො වේ. නිත්‍ය වූ ආත්මයක් ඇතය යන ලබ්ධිය ගෙන ආත්මය ගැන සිතන්නා වූ තැනැත්තාට බොහේ සෙයින් සිදු වන්නේ සත්‍යය වැටහීම නො ව, ගෙන සිටින දෘෂ්ටිය තවත් දැඩිවීම ය. “පඤ්චස්කන්ධයා ගේ භේදයෙන් ආත්මයත් නැසේ ය, මතු ඉපදීමක් නො වේය, යන දෘෂ්ටිය ගෙන සිතන්නවුන්ට සිදු වන්නේ ද එයම ය. ඒ කරුණු ගැන සැකයට පත්ව සිතන්නවුන්ට බොහෝ සෙයින් වන්නේ ද සැකය දැඩි වීම ය. එයින් ඔවුනට වන්නේ නපුරකි. “මා භික්ඛවේ, පාපකං අකුසලං චිත්තං චින්තෙය්‍යාථ” යි තථාගතයන් වහන්සේ වදාළේ එහෙයිනි. ආත්මයක් ඇත ද? නැත ද? ආත්මය නිත්‍ය ද? අනිත්‍ය ද? පරලොවක් ඇත ද? නැත ද? නිවනක් ඇත ද? නැත ද? යන මේ සියලු ම ප්‍රශ්න විසඳාගෙන දුකින් මිදීමට ඇත්තා වූ එක ම ක්‍රමය චතුරාර්යසත්‍යය අවබෝධ කර ගැනීම ය. එය කළ කල්හි ඉහත කී ප්‍රශ්න ඉබේ ම විසඳෙන්නේ ය. එබැවින් බුදුසසුනෙහි පැවිද්ද ලබා සිටින්නා වූ සියලු ම කුල පුත්‍රයෝ සිතීමෙන් කථා කිරීමෙන් පලක් නො වන කරුණු ගැන සිතන්නට කථාකරන්නට කාලය ගත නො කර තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ අනුශාසනය පරිදි චතුරාර්යසත්‍යය ගැන ම සිතත්වා. කල්පනා කෙරෙත්වා. ඒ සත්‍යයන් අවබෝධ කරනු පිණිස භාවනාවෙහි යෙදෙත්වා!