“යේ හි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා ‘ඉදං දුක්ඛං” ති යථාභූතං නප්පජානන්ති, “අයං දුක්ඛසමුදයො” ති යථාභූතං නප්පජානන්ති, “අයං දුක්ඛනිරෝධෝ” ති යථාභූතං නප්පජානන්ති, “අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා” ති යථාභූතං නප්පජානන්ති, න මේතේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා සමණේසු වා සමණසම්මතා, බ්‍රාහ්මණේසු වා බ්‍රාහ්මණ සම්මතා, න ච පන තේ ආයස්මන්තෝ සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
යේ ච ඛෝ කේචි භික්ඛවේ, සමණා වා, බ්‍රාහ්මණාවා “ඉදං දුක්ඛං” ති යථාභූතං, පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා” ති යථාභූතං පජානන්ති, තේ ඛෝ මේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා සමණේසු වා සමණසම්මතා, බ්‍රාහ්මණේසු වා බ්‍රාහ්මණසම්මතා, තෙ පනායස්මන්තෝ සමාඤ්ඤත්ථඤ්ච බ්‍රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. -පෙ-”
(සච්චසංයුත්ත කෝටිගාමවග්ග)
තේරුම:-
“මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ “මේ දුකය” යි තත්ත්වාකාරයෙන් නොදනිද් ද’ “මේ දුක් ඇති වීමේ හේතුවය’ යි තත්ත්වාකාරයෙන් නො දනිත් ද? “මේ දුඃඛනිරෝධය” යි තත්ත්වාකාරයෙන් නො දනිත් ද? “මේ නිවනට පැමිණෙන ප්‍රතිපත්තිය” යි තත්ත්වාකාරයෙන් නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සම්මුතිය නැත්තෝ ය, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණ සම්මුතිය නැත්තෝ ය, ඒ ආයුෂ්මත්හු සාමඤ්ඤත්ථ බ්‍රහ්මඤ්ඤත්ථ යන නම්වලින් දැක්වෙන ලෝකෝත්තර ඵල තමන් විසින් විශිෂ්ඨ ඥානයෙන් සාක්ෂාත් කොට ඒවාට පැමිණ වාසය කරන්නෝ නො වෙති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ “මේ දුකය” යි තත්ත්වාකාරයෙන් දනිත් ද, -පෙ- “මේ නිවනට පැමිණෙන ප්‍රතිපත්තිය” යි තත්ත්වාකාරයෙන් දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණසම්මුතිය ඇත්තෝ ය, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණ සම්මුතිය ඇත්තෝ ය, ඒ ආයුෂ්මත්හු සාමඤ්ඤත්ථ බ්‍රහ්මඤ්ඤත්ථ නම් වූ ආර්ය ඵලයන් තමන් විසින් විශිෂ්ඨ ඥානයෙන් සාක්ෂාත් කොට ඒවාට පැමිණ වාසය කරන්නෝ ය.
මේ සූත්‍රයෙහි සමණ - බ්‍රාහ්මණ යන වචන දෙකින් ම දක්වන්නේ එක ම පුද්ගල කොටසකි. එක ම පුද්ගලයාට පව් සන්සිඳ වූ තැනැත්තාය යන අර්ථයෙන් “සමණය” යි ද පව් බැහැර කළ තැනැත්තාය යන අර්ථයෙන් “බ්‍රාහ්මණය” යි ද කියනු ලැබේ. එබැවින් මේ වචන දෙකෙන් ම අදහස් කරන්නේ පැවිද්ද බව දත යුතු ය. ශ්‍රමණයාත් පැවිද්දා ය. බ්‍රාහ්මණයාත් පැවිද්දා ය. සූත්‍ර ධර්මවල සමහර තැනක මෙසේ එක් අර්ථයක් දක්වන වචන දෙක තුන එක තැනට යොදා ඇත්තේ දේශනාව අලංකාර වීම පිණිස හා අසන්නහුගේ සිතට කාරණය වඩාත් පැහැදිලි වීම පිණිස ය.
ගිහිගෙයින් බැහැර ව පැවිදි ව ඉන්නා සැමදෙන ම පව් සන්සිඳවන්නා වූ අර්ථයෙන් හා පව් බැහැර කරන්නා වූ අර්ථයෙන් සාමාන්‍යයෙන් ශ්‍රමණයෝ ද බ්‍රාහ්මණයෝ ද වෙති. මේ සූත්‍රයෙන් දක්වන්නේ ඔවුන් අතුරෙන් ආර්ය සත්‍යයන් අවබෝධ කර නැති අය ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් නො වන බව හා ආර්යසත්‍යයන් අවබෝධ කර ඇති ශ්‍රමණයන් ම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් වන බව ය. ‘ශ්‍රමණයන් අතර ශ්‍රමණයෝය’ යි කියනුයේ සත්‍යාවබෝධය කිරීමෙන් උසස් බවට පත් ශ්‍රමණයන්ට ය. ඔවුහු ශ්‍රමණයන්ගේ ද ශ්‍රමණයෝ ය. නියම ශ්‍රමණයෝ ය. සත්‍යාවබෝධය කොට නියම ශ්‍රමණත්වයට පැමිණ සිටින්නෝ නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණ සිටින ශ්‍රමණයෝ ය. පෘථග්ජන පැවිද්දන්ට ඒ තත්ත්වය නැත. දැනට සිටින පැවිද්දන්ට ඒ තත්ත්වයට පැමිණීමට දුෂ්කර වුව ද ඔවුන් විසින් හැකි පමණකින්වත් ආර්ය සත්‍යයන් දැන, නියම ශ්‍රමණයන්ට ළංව වාසය කිරීමට වත් උත්සාහ කළ යුතු ය. එසේ උත්සාහ කරන පැවිද්දන්ට ම මේ ශ්‍රමණ ධර්මය සඵල කර ගත හැකි වන්නේ ය. එසේ උත්සාහ කරන තැනැත්තාට වර්තමාන භවයේ දී ආර්ය සත්‍යාවබෝධය කොට දුක් කෙළවර කරගත නො හැකි වී නම් ඒ හේතුවෙන් අනාගත භවයක දී හෝ සව් කෙලෙසුන් නසා රහත් ව නිවන් දැකිය හැකි වන්නේ ය.