අවවාද ප්‍රාතිමෝක්ෂය

“ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂය - අවවාද ප්‍රාතිමෝක්ෂය” යි ප්‍රාතිමෝක්ෂ දෙකක් ඇත්තේ ය. ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂය යනු පොහෝ දිනයන්හි සීමාවට සංඝයා රැස් වූ කල්හි උදෙසීමට නියමිත ශික්ෂාපද සමූහය ය. ලොවුතුරා බුදුවරයන් විසින් සංඝයා රැස් වූ විට පාමොක් උදෙසීම් වශයෙන් වදාරන අවවාද ගාථා තුනක් ඇත්තේ ය. එයට අවවාද ප්‍රාතිමෝක්ෂය යි කියනු ලැබේ.

ඒ මෙසේ ය:-

1. ඛන්තී පරමං තපෝ තිතික්ඛා

නිබ්බානං පරමං වදන්ති බුද්ධා,

න හි පබ්බජිතෝ පරූපඝාතී

න සමණෝ හෝති පරං විහෙඨයන්තෝ.

-

2. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං.

-

3. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමෝක්ඛෙ ච සංවරෝ,

මත්තඤ්ඤූතා ච භත්තස්මිං පන්තං ච සයනාසනං,

අධිචිත්තේ ච ආයෝගෝ ඒතං බුද්ධානසාසනං.

(මහාපදාන සුත්ත)

තේරුම:-

  1. තිතික්ඛා යන නාමය ව්‍යවහාර කරන්නා වූ අපරාධාදිය ඉවසන ස්වභාවය මේ ශාසනයෙහි උත්තම තපෝගුණයෙක. නිවන සර්වාකාරයෙන් උතුම් ය යි බුදුවරයෝ පවසන්නාහ. අනුන්ට හිංසා කරන දුක් ඇති කරන තැනැත්තා පැවිද්දෙක් නො වේ ය. අනුන්ට කරදර කරන හිංසා කරන තැනැත්තා ශ්‍ර‍මණයෙක් ද නො වේ ය.
  2. සියලු පව් නො කිරීම ය, සියලු කුසල් කිරීම ය, තමා ගේ සිත පිරිසිදු කිරීමය යන මේ කරුණු තුන බුදුවරයන් ගේ අනුශාසනය ය.
  3. අනුන් ගේ සිත් රිදෙන කථා නො කිරීම ය, අත්පා ආදියෙන් අනුන්ට නො ගැසීම ය, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය රැකීම ය, ආහාරයෙහි පමණ දැන ගැනීම ය, කාය විවේකය ලැබෙන නොසන්සුන්වල විසීම ය, අෂ්ට සමාපත්ති සංඛ්‍යාත අධිචිත්තය ඇති කර ගැනීමෙහි යෙදීමය යන මෙය බුදුවරයන්ගේ අනුශාසනාව ය.