මහාකාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පූර්ව භක්තකෘත්‍යය නිමවා ගන්ධකුටිද්වාරයට එළඹ එහි පනවන ලද අසුනෙහි හිඳ සිරිත් පරිදි පා සෝදා ගඳ කිළියේ පඩිය මත සිට එතැනට පැමිණෙන භික්ෂූන් අමතා දිනපතා මෙසේ අනුශාසනා කරන සේක.
“භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං, දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා සද්ධාසම්පත්ති. දුල්ලභා පබ්බජ්ජා. දුල්ලභං සද්ධම්මස්සවණං’
(බ්‍රාහ්මණ සංයුත්තට්ඨකථා)
තේරුම :
මහණෙනි, සිහියෙන් යුක්ත ව සකල කෘත්‍යයන් සම්පාදනය කරව්. ලෝකයෙහි බුද්ධොත්පාදය දුර්ලභ ය. මනුෂ්‍යාත්මය දුර්ලභ ය. ශ්‍රද්ධාසම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.
දිනපතා තථාගතයන් වහන්සේ කරන මේ අවවාදය පැවිද්දන් විසින් දිනපතා මෙනෙහි කිරීමට වටනේ ය. ප්‍රතිමා ගෘහයට හෝ දාගැබ වෙත හෝ ගොස් බුදුන් වැඳ අවසන් කළ වෙලාව මෙය මෙනෙහි කිරීමට පුරුදු කර ගැනීම හොඳ ය. (මේ පාඨය පිටකත්‍රයෙහි නො දක්නා ලදි. මෙය දක්නට ලැබෙන්නේ අටුවාවල බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව විස්තර කරන තැන්වල ය. ඒවායේ මඳ වෙනස්කම් ද දක්නා ලැබේ.)