“තිණ්ණං සංයොජනානං පහාණාය පටිපන්නො පුග්ගලො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුද්ගලස්ස තීණි සංයොජනානි පහීණානි අයං වුච්චති පුග්ගලො සොතාපන්නො,”
(පුග්ගලපඤ්ඤන්ති)
“සංයෝජන තුනක් ප්‍රහාණය කිරීම සඳහා පිළිපන් පුද්ගලයා ශ්‍රෝතාපත්තිඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකුට සංයෝජනත්‍රය ප්‍රහීණ ද ඒ පුද්ගලයා ශ්‍රෝතාපන්නය යයි කියනු ලැබේය” යනු එහි තේරුම ය. එහි කියවුණු සංයෝජන තුන නම් සක්කායදිට්ඨී - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස යන මේ අකුශල ධර්ම තුන ය. නැවත නැවතත් සත්ත්වයා සංසාරයෙහි යොදවන බැවින් ඒවාට සංයෝජනය යි කියනු ලැබේ. ඒවාට සත්ත්වයා සංසාරෙයෙහි බැඳ තබන රැහැන්ය යි කීම ද සුදුසු ය.
ආත්ම නො වන, මම නො වන සත්ත්වපුද්ගල නො වන, රූප - වේදනා -සඤ්ඤා - සංඛාර - විඤ්ඤාණ යන ස්කන්ධවලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ල ම හෝ මම ය, ආත්ම ය, සත්ත්වයා ය, පුද්ගලයා ය කියා ස්ථීර වශයෙන් පිළිගැනීම ස්ථීර වශයෙන් සැලකීම සක්කායදිට්ඨිය ය.
කරුණු අටක් සම්බන්ධයෙන් ඇති වන්නා වූ සැකය විචිකිච්ඡා සංයෝජනය ය. අන් කිසිවකුට නැතිව එක් පුද්ගලයකුට පමණක් සියල්ල දැනෙන නුවණක් ඇති විය හැකි ද? අන් කිසිවකුට නැති ආනුභාවයක් එක් පුද්ගලයකුට පමණක් ඇති විය හැකි ද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අශීත්‍යනුව්‍යඤ්ජන ලක්ෂණ කේතුමාලා ව්‍යාමප්‍රභා ඇති පුරුෂයකු විය හැකි ද? නැත ද? කියා බුදුරදුන් ගැන සැක පහළ වේ. ක්ලේශයන් ප්‍රහාණය කිරීමට සමත් ආර්‍ය්‍යඵල සතරක් ඇත ද? කෙලෙස් සන්සිඳවන ආර්‍ය්‍යඵල සතරක් ඇත ද? දුකින් තොර නිවනක් ඇති ද? තථාගතයන් වහන්සේ වදාළ ධර්මය නෛර්‍ය්‍යාණික ද? සත්‍ය ද? කියා ධර්මය කෙරෙහි සැක පහළ වේ. සතරමාර්ග සතරඵලයන්හි පිහිටි ආර්‍ය්‍යසංඝරත්නයක් ඇත්තේ ද? මේ සංඝයා සුප්‍රතිපන්න වූ පිරිසක් ද? සංඝයාට දී එයින් ඉෂ්ට විපාකයක් ලැබිය හැකියද? කියා සංඝරත්නය සම්බන්ධයෙන් සැක පහළ වේ. ශීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රයෙන් පලක් ඇත ද? නැත ද? කියා සැක ඇති වේ. මම අතීතයෙහිත් වූයෙම් ද? නැත ද? කියා අතීතය පිළිබඳව සැක ඇති වේ. මම අනාගතයෙහි උපදින්නෙම් ද? නැත ද? කියා ආනාගතය සම්බන්ධයෙන් සැක ඇති වේ. අතීතානාගත දෙක ම පිළිබඳව ද සැක පහළ වේ. අවිද්‍යාදි හේතූන්ගෙන් සංස්කාරාදි ඵලධර්ම හට ගැනීම් වශයෙන් සංසාර ප්‍රවෘත්තිය ඇති බව පිළිබඳව සැක පහළ වේ. මේ සැක සියල්ල විචිකිච්ඡා සංයෝජනය යි.
සීලබ්බතපරාමාස සංයෝජනය යනු ගෝශීලගෝව්‍රතාදී මිත්‍යා ශීලව්‍රත සමාදානයෙන් ඒවා පිරීමෙන් පව් අවසන් කොට ශුද්ධියට පැමිණ දුකින් මිදිය හැකිය, පරම සුඛයට පැමිණිය හැකිය යන දෘෂ්ටිය ය.
මේ සංයෝජන තුන පමණක් නොව අපායෝත්පත්තියට හේතුවන තරමට ඖදාරික වූ සකල ක්ලේශයෝ ම සෝවාන් පුද්ගලයාහට ප්‍රහීණයහ. සෝවාන් වීමෙන් පසු ඔහු අතින් සිදු වෙතොත් සිදු වන්නේ අපායට පැමිණිවීමට තරම් ශක්තියක් නැති කාමසුඛාස්වාදනාදි කුඩා පාපයන් පමණෙකි. එබැවින් සෝවාන් පුද්ගලයා නැවත කිසි කලෙක අපායට නො යන්නේ ය. ඔහුගේ සම්‍යග්දෘෂ්ට්‍යාදි කුශල පාක්ෂික ධර්මයෝ නැවත නො පිරිහෙති. ඔවුහු වැඩෙන පක්ෂයෙහි පවත්නාහු වෙති. එබැවින් සෝවාන් වූ ආර්‍ය්‍ය පුද්ගලයා වැරදීමක් නැතිව ම යම්කිසි දිනයක සියලු කෙලෙසුන් නසා අර්හත්ඵලයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය.
ගෘහස්ථ සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවකයෝ පෘථග්ජනයන් සේ ම දූ දරුවන් පෝෂණය කරමින් වෙළදාම ගොවිකම් ආදි නොයෙක් රැකියාවන් කරමින් සමාජයෙහි හැසිරෙති. පැවිදි වූ සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවකයෝ ද අන්‍ය පැවිදිදන් මෙන් ම පැවිදි සමාජයෙහි හැසිරෙති. ඔවුන් සෙස්සන්ගෙන් වෙන් කොට හැඳින ගත හැකි වීමට ලකුණුක් නැත්තේ ය. එහෙත් සෝවාන් පුද්ගලයන්ට පෘථග්ජනයන්ට නැති අංග සතරතක් ඇත්තේය. ඒවා සෝතාපත්තිසංයුත්තයේ මෙසේ වදාරා ඇත.
“චතුහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආරියසාවකො සොතාපන්නො හොති, අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, කතමෙහි චතුහි?
ඉධ භික්ඛවෙ ආරියසාවකො බුද්ධො අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසධම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධො භගවා ති”,
ධම්මො අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති,
සංඝො අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති “සුපටිපන්නො භගවතො සාවකසංඝො උජුපටිපන්නො භගවතො සාවකසංඝො ඤායපටිපන්නො භගවතො සාවකසංඝො සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
අරියකන්තෙහි සීලෙති සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භූජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධි සංවත්තනිකෙහි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති”
(සංයුක්ත 1019)
තේරුම:-
“මහණෙනි, අංග සතරකින් යුක්ත වන ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආර්‍ය්‍යමාර්ගසංඛ්‍යාත ධර්මශ්‍රෝතසට පැමිණියේ වේ. මතු සතර අපායට නො වැටෙන ස්වභාව ඇත්තේ වේ. ධර්මනියාමයෙන් නියත වූයේ වේ. මතු මාර්ගත්‍රයට ඒකාන්තයෙන් පැමිණෙන්නේ වේ.
කවර චතුරාංගයකින් ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණයන්ගෙන් යුක්තය හ, යහපත් ගමන් ඇත්තාහ, ලෝකය දත්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථීයහ. දෙවිමිනිසුන්ට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි මෙසේ බුදුරදුන් කෙරෙහි නො සැලෙන නො වෙනස් වන පැහැදීමක් ඇත්තේ වේ.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ධර්මය යහපත්ය. තමන්ට ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකියක, කල් නො යවා ඵල දැකිය හැකියක, එව බලව යි කියා ගුණය දැක්විය හැකියක, සිත් සතන්හි එළවිය යුත්තක, නුවණැතියන්ට තමන්ගේ සන්තානයෙන් ම දත හැකියක කියා ධර්මය කෙරෙහි නො සැලෙන නො වෙනස් වන පැහැදීමක් ඇත්තේ වේ.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා වහන්සේ සුප්‍රතිපන්නයහ. ඍජුව පිළිපන්නහ. නිවන් ලැබෙන පිළිවෙතක් පුරන්නාහ. ගරුබුහුමනට සුදුසු වන සේ පිළිපන්හ. යම් ඒ පුරුෂයුග්ම සතරක් වූ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවකසංඝයා වහන්සේ දුර සිට ගෙනවුත් පිරිනමන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වන්නාහ. ආගන්තුකයන් උදෙසා පිළියළ කල සත්කාරය පිළිගැනුමට සුදුසු වන්නාහ. සැදැහැවතුන් විසින් කම්පල අදහා පිරිනමන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වන්නාහ. ලෝකයට උතුම් පින් කෙත වන්නාහ. මෙසේ සංඝයා කෙරෙහි නො සැලෙන නො වෙනස් වන පැහැදීම ඇත්තේ වේ.
කඩ නො වූ සිදුරු නො වූ පිළිවෙළින් සිකපද ගණනක් නො බිඳුනා වූ තැනින් තැන සිකපද නො බිඳුනා වූ තෘෂ්ණා දාසත්වයෙන් මිදුණා වූ නුවණැතියන් විසින් පසස්නා වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුක්ත වූයේ වේ.
මහණෙනි, මේ අංග සතරින් යුක්ත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආර්‍ය්‍යමාර්ගසංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියා වූ මතු සතර අපායෙහි නො වැටෙන්නා වූ ධර්මනියාමයෙන් නියත වූ මතු මාර්ගත්‍රයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ පුද්ගලයෙක් වන්නේ ය.
කොටින් කියතහොත් බුදුන් කෙරෙහි නො වෙනස් වන පැහැදීම ඇති බවය, ධර්මය කෙරෙහි නො වෙනස් වන පැහැදීම ඇති බවය, සංඝයා කෙරෙහි නො වෙනස් වන පැහැදීම ඇති බවය, නො කැලැල් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වන බවය යන මේ කරුණු සතර සෝවාන් පුද්ගලයාගේ අංගයෝ ය.
මේ අංග සතර ආර්‍ය්‍යන්ට මිස පෘථග්ජන පුද්ගලයන්ට නැත්තේ ය. පෘථග්ජන පුද්ගලයා රත්නත්‍රයට දිවි පුදන තරමේ සැදැහැවතකු වී සිටිය ද ඔහු වෙනස් නොවන ස්ථීර පුද්ගලයෙක් නො වේ. සමහර විට ඔහු රත්නත්‍රය හැර අන්‍යශාස්තෲවරයකුගේ පිහිට සොයන්නෙක් වන්නේ ය. එක් භවයක රත්නත්‍රය පිළිගෙන සිටිය ද අන් භවයකදී ඔහු මිසදිටුවකු විය හැකි ය. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වර්තමාන භවයෙහි තබා භවාන්තරයෙහි ද රත්නත්‍රය නො හරනේ ය. පෘථග්ජනයා කෙතරම් උග්‍ර සිල්වතකු වුව ද ඔහුගේ ශීලය අස්ථීර ය. සමහර විට ඔහු කලකදී දුශ්ශීල වන්නේ ය. පැවිදිව ධ්‍යානාභිඥා ලබා අහසින් යෙමින් සිටි මහබෝසතාණන්ගේ ශීලය පවා පෘථග්ජන භාවය නිසා නොයෙක් වර බීඳී ගිය බව ජාතක කථාවල සඳහන්ව ඇත්තේ ය. ලෝකතත්ත්වය නො දන්නෝ කලක් සිල්වත්ව සිට සිල් බිඳගත් අයට නින්දා කෙරෙති. එය අනුවණ කමෙකි. කලක් සිල්වත්ව සිටීම ගැන පැසසිය යුතුවා මිස දිවිහිමියෙන් සිල් රකින්නට නො පිළිවන් වීම ගැන නින්දා කළ යුත්තක් නැත. ටික කලක් වුව ද සිල් රැකි තැනැත්තා කොහෙත් ම සිල් නො රැකි තැනැත්තාට වඩා උසස් ය.
රජව සිටින්නා වූ ද, සක්විතිරජව සිටින්නා වූ ද, සක්දෙව් රජව සිටින්නා වූ ද පෘථග්ජනයා සිටින්නේ මතු තිරශ්චීනත්වයට - ප්‍රේතත්වයට - නේරයිකත්වයට පැමිණිය හැකි ස්වාභාවය ඇතිව ය. සංයෝජනත්‍රය ප්‍රහාණය කළා වූ ශ්‍රෝතාපත්‍යංග සතරින් යුක්ත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කිසි කලෙක සතර අපායට නැවත නො යන්නේ ය. එබැවින් පිරිසිදු වතක් හඳින්නට නො ලබන මිහිරි බොජුනක් මාස ගණනකට වරකුදු නො ලබන පැල්පතක දුකසේ ජීවත් වන සෝවාන් පුද්ගලයාගේ තත්ත්වය පෘථග්ජන රජකුගේ සක්විත්රජකුගේ දෙව්රජකුගේ තත්ත්වයට උසස් බව කිය යුතු ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.
“පථව්‍යා එකරජ්ජෙන - සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන - සොතාපත්තිඵලං වරං.”
(ධම්මපද ලොකවග්ග)
“මුළු පොළොවට අධිපති චක්‍රවර්තිරාජභාවයට ද, ස්වර්ගයට යාමට ද, සකල ලෝකයට ම අධිපති වීමට ද, වඩා සෝතාපත්තිඵලය උතුම්ය”යනු එහි තේරුම ය.
සෝවාන් පුද්ගලයාගේ ප්‍රභේද
සත්තක්ඛත්තුපරමය, කෝලංකෝලය, ඒකබීජිය යි ශ්‍රෝතාපන්න පුද්ගලයෝ තිදෙනෙකි.
කතමො ච පුද්ගලො සත්තක්ඛත්තුපරමො?
ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති, අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො සො සත්තක්ඛත්තුං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති, අයං වුච්චති පුග්ගලො සත්තක්ඛත්තුපරමො”
(පුග්ගල පඤ්ඤත්ති)
තේරුම:-
කවර පුද්ගලයෙක් සත්තක්ඛත්තුපරම වේද?
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තිදෙනෙකු වූ සංයෝජනයන් ක්ෂය වීමෙන් අර්යමාර්ගසංඛ්‍යාත ශ්‍රෝතයට පැමිණියේ වේද, අපායට නොවැටෙන ස්වාභාවය ඇත්තේ ධර්මනියාමයෙන් නියත වූයේ මතු මාර්ගත්‍රයට ඒකාන්තයෙන් පැමිණෙන්නේ වේද, හෙතෙම සත් වරක් දිව්‍යලෝකයෙහි ද මනුෂ්‍යලෝකයෙහි ද ඉපදීම් වශයෙන් ඇවිද දුක් කෙළවර කරන්නේ ය. ඒ පුද්ගල තෙමේ සත්තක්ඛත්තුපරමය යි කියනු ලැබේ.
මෙයින් දිව්‍යලෝක මනුෂ්‍යලෝක දෙක්හි වරින් වර මාරුවෙමින් සත්වරක් ඉපිද සත්වන භවයේදි අර්හත්වයට පැමිණෙන පුද්ගලයා සත්තක්ඛත්තුපරම ය යි දක්වන ලදී. මිනිස්ලොව සෝවාන්ඵලයට පැමිණ මිනිස් ලොව ම සත්වරක් ඉපද අර්හත්වයට පැමිණෙන්නා වූ ද, දෙව්ලොවදී සෝවාන් ඵලයට පැමිණ දෙව්ලොව ම සත්වරක් ඉපද සත්වන භාවයේ අර්හත්වයට පැමිණෙන්නා වූ ද, පුද්ගලයන් ද ඇති බව අටුවාවෙහි කියා ඇත්තේය.
“කතමො ච පුග්ගලො කොලංකොලො?
ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, සො ද්වේ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති. අයං වුච්චති පුග්ගලො කොලංකොලො.”
(පුග්ගල පඤ්ඤත්ති)
දිව්‍යමනුෂ්‍ය භවවල දෙවරක් තුන්වරක් ඉපද අර්හත්වයට පැමිණෙන සෝවාන් පුද්ගලයා කෝලංකෝල නම් වන බව ඉහත පාඨයෙන් දක්වන ලදී. සවන භවය දක්වා සසර සැරිසරන සෝවාන් පුද්ගලයා “කෝලංකෝලය”යි අටුවාවෙහි කියා තිබේ. කොලංකෝල යන වචනයෙහි තේරුම කුලයෙන් කුලයට ඉපදීම් වශයෙන් යන පුද්ගලයා ය යනුයි. සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයෝ මහාභෝගකුලවල මිස ආහාරපාන වස්ත්‍රාදිය සෑහෙන පමණට නො ලබන දිළිදු අශීලාචාර පහත් පවුල්වල නූපදිති. එබැවින් ඒ පුද්ගලයා දැක්වීමේදී භව යන වචනය නො ගෙන කුල යන වචනය ගන්නා ලදී.
“කතමො ච පුග්ගලො එකබීජී?
ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො, සො එකං යෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්නං කරොති, අයං වුච්චති පුග්ගලො එකබීජි,”
(පුග්ගලපඤ්ඤත්ති)
මිනිස්ලොව නැවත එක් වරක් පමණක් ඉපද දුක් කෙළවර කරන සෝවාන් පුද්ගලයා ඒකබීජි නම් වන බව මෙයින් දක්වන ලදී. දෙව්ලොව වුවද එක් වරක් ඉපද දුක් කෙළවර කරන පුද්ගලයා ඒකබීජිය යි කිය යුතු බව අටුවාවෙහි කියා තිබේ.
සෝවාන් පුද්ගලයන්ගේ මේ භේදය වන්නේ මතු මඟපල ලැබීම සඳහා ඔවුන් කරන උත්සාහය අනුවය. ඇතැමෙක් සෝවාන් ඵලයට පැමිණ නො නවත්වා වීර්‍ය්‍ය කොට ඒ ආසනයෙහි දී ම සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵලවලට පැමිණ රහත්ව දුක් කෙළවර කරති. ඇතැමෙක් ඒ භවයේ දී ම කවර අවස්ථාවකදී හෝ වෙර වඩා ඉතිරි මඟපලවලට පැමිණ දුක් කෙළවර කරති. වර්තමාන භවයේදී ම දුක් කෙළවර කරන සෝවාන් පුද්ගලයෝ මේ ප්‍රභේදයට නො ගන්නා ලදහ. ඇතැමෙක් දෙවන ජාතියේ උතසාහ කොට අර්හත්වයට පැමිණෙති. ඔවුහු ඒකබීජි නම් වෙති. ඇතමෙක් දෙවන භවයෙන් ඔබ සත්වන භවයෙන් මොබ යම් කිසි භවයකදී විදසුන් වඩා අර්හත්වයට පැමිණෙති. ඔවුහු කෝලංකෝල නම් වෙති. ඉතා ප්‍රමාද සෝවාන් පුද්ගලයෝ සත්වන භවයෙහි අර්හත්වයට පැමිණෙති. ඔවුහු සත්තක්ඛත්තුපරම නම් වෙති. කාම ලෝකයෙහි සෝවාන් පුද්ගලයන් සත්වරකට වඩා නො ඉපිදීම එක්තරා ධර්මනියාමයෙකි. එහෙයින් “කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්ති.” යනු වදාරන ලදී.
ඇතැම් සෝවාන් පුද්ගලයන් නිවන් පසක් කොට සිටින්නාහු ද භවයට ද බොහෝ කැමැත්තෝ ය. බොහෝ කල් ලෞකික සම්පත් විඳින්නට කැමැත්තෝ ය. ඔවුහු කාමලෝකයේ දී රහත් නො වී අනාගාමීව ධ්‍යාන ලබා අවිහ බ්‍රාහ්මලෝකයෙහි ඉපද මහාකල්ප දහසක් එහි වාසය කොට, නැවත අතප්ප භූමියෙහි ඉපිද කල්ප දෙදහසක් එහි වැස, අනතුරුව සුදර්ශන බ්‍රහ්මලෝකයෙහි ඉපිද බ්‍රහ්මලෝකයෙහි ඉපිද කල්ප සාරදහසක් වැස, අනතුරුව සුදර්ශී බ්‍රහ්මලෝකයෙහි ඉපිද එහි අටකපස් වැස, අනතුරුව අකනිට්ඨයෙහි ඉපිද ඉතා දිර්ඝකාලයකින් රහත්ව සංසාරය කෙළවර කරන්නාහ. ඒ පුද්ගලයෝ ද මේ විභාගයට නො ගන්නා ලදහ. අනේපිඬු සිටුතුමාය, විශාඛා මහාඋපාසිකාවය, චූලරථ මහාරථ දේවපුත්‍රයෝ ය, අනේකවර්ණදේව පුත්‍රයා ය, සක්දෙව්රජය, නාගදත්තදේවපුත්‍රයාය යන මොවුහු සත්වරට වඩා සසර උපදනා සෝවාන් පුද්ගලයෝ ය යි පුද්ගලපඤ්ඤන්ති අටුවාවෙහි කියා තිබේ.
සියලු ම ආර්‍ය්‍යපුද්ගලයෝ සුඛාපටිපදා දන්ධාභිඤ්ඤය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤය, දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤය, දුක්ඛාපටිපදා ඛිප්පභිඤ්ඤය යන භේදයෙන් සතර කොටසක් වෙති. ඒකබීජි කෝලංකෝල සත්තක්ඛත්තුපරම යන සෝවාන් පුද්ගලයෝ තිදෙනා ප්‍රතිපදා භේදයෙන් සතර දෙනෙක් බැගින් වීමෙන් සෝවාන් පුද්ගලයෝ දොළොස් දෙනෙක් වෙති. මඟපලයන්ට පැමිණෙන්නවුන්ගෙන් ඇතමෙක් ශ්‍රද්ධාව ප්‍රධාන කර ගෙන විදසුන් වඩා මඟපල ලබති. ඔවුහු ශ්‍රද්ධාධුර නම් වෙති. ඇතමෙක් ප්‍රඥාව ප්‍රධාන කර ගෙන විදසුන් වඩා මඟපල ලබති. ඔවුහු ප්‍රඥාධුර නම් වෙති. ඉහත කී සෝවාන් පුද්ගලයන් අතර ශ්‍රද්ධාධුරයෝ ද වෙති. ප්‍රඥා ධුරයෝ ද වෙති. එබැවින් ඒ පුද්ගලයන් දොළොස් දෙන ධුර දෙකින් ගුණ කළ කල්හි සෝවාන් පුද්ගලයෝ සූවිසි දෙනෙක් වෙති.