3. දේශක භික්ෂුවගේ විනය විචාරීම

“සම්මජ්ජනී පදීපො ච

උදකං ආසනෙන ච

උපොසථස්ස එතානි

පුබ්බකරණන්ති වුච්චති”

යනුවෙන් දැක්වෙන උපෝසථාගාරයට සංඝයා රැස්වීමට කලින් කළයුතු වන උපෝසථාගාරය හැමදීම ය, පහන් දැල්වීම ය, පැන් තැබීම ය, අසුන් පැනවීම ය යන සතර කිස කොට නිමවී ද?

ආරාධනය කළ භික්ෂුවගේ පිළිතුර:- දැනට සූර්‍ය්‍යාලෝකය ඇති බැවින් පහන් දැල්වීමෙන් ප්‍රයෝජන නැත. සෙසු වත් තුන කොට නිමවී ය.

ප්‍ර‍ශ්නය:-

“ඡන්දපාරිසුද්ධි උතුක්ඛානං

භික්ඛුගණනාච ඔවාදො

උපොසථස්ස එතානි

පුබ්බකිච්චන්ති වුච්චති”

යනුවෙන් දැක්වෙන පූර්වකෘත්‍යයන් සම්පූර්ණ වනු පිණිස ගෙනෙන ලද ඡන්දපාරිශුද්ධීන් සංඝයා හට ආරෝචනය කොට නිමවී ද?

පිළිතුර :- ශීමස්ථක සියලු භික්ෂූන් වහන්සේ ම මෙහි රැස්වී ඇති බැවින් ගෙනෙන ලද ඡන්දපාරිශුද්ධියක් නැත්තේය.

ප්‍ර‍ශ්නය :- සෘතුව වනාහි හේමන්තය, ගිම්හානය, වස්සාන ය යි තුන් වැදෑරුම් වේ. එයින් දැනට පැමිණ ඇති සෘතුව කවරේ ද? (පිළිතුරු දෙනු.)

ප්‍ර‍ශ්නය :- එක් එක් සෘතුවක පක්ෂ අට බැගින් ඇත්තේ ය. පැමිණ ඇත්තා වූ මේ සෘතුවෙහි ඉක්ම ගිය පක්ෂ කෙතෙක් ද? ඉදිරියට ඇති පක්ෂ කෙතෙක් ද? මේ පැමිණ තිබෙන පක්ෂය කී වෙනි පක්ෂය ද? (පිළිතුරු දෙනු.)

ප්‍ර‍ශ්නය :- දැනට මේ සීමාවෙහි රැස්ව ඉන්නා භික්ෂූන් වහන්සේලා කොතෙක් වන්නාහු ද? (ගණන කියනු.)

ප්‍ර‍ශ්නය :- අවවාද ලබා ගැනීම සඳහා භික්ෂුණීන් විසින් කර ඇති ආයාචනය සංඝයා හට සැලකොට නිමවී ද?

පිළිතුර :- මෙකල භික්ෂුණීන් නැති බැවින් එ බඳු ආයාචනයක් නැත්තේ ය.

ප්‍ර‍ශ්නය :- මේ සතර, සංඝයා සීමාවට රැස්වූ පසු පාමොක් උදෙසීමට පළමුවෙන් කළ යුතු බැවින් පූර්ව කෘත්‍යය යි කියනු ලැබේ.

“උපොසථො යාවතිකා ච භික්ඛු

කම්මප්පත්තා සභාගාපත්තියො ච

න විජ්ජන්ති වජ්ජනීයා ච පුග්ගලා

තස්මිං න හොන්ති පත්තකල්ලන්ති වුච්චති” යි.

අර්ථකථාචාර්‍ය්‍යයන් වහන්සේලා විසින් ප්‍ර‍කාශිත පරිදි, උපෝසථකර්මයට සුදුසු කාලය චතුරංගයකින් යුක්ත විය යුතුය. උපෝසථය සාමාන්‍ය ලක්ෂණයෙන් එකක් වුවද චාතුද්දසී-පණ්ණරසී-සාමග්ගීය’යි දින වශයෙන් තුනක් ද, සංඝ-ගණ-පුග්ගලය’යි කාරක පුද්ගලයන් ගේ වශයෙන් තුනක් ද, සුත්තුද්දේස - පාරිසුද්ධි - අධිට්ඨානය’යි කර්තව්‍යාකාර වශයෙන් තුනක් ද වේ. එයින් මේ කරනු ලබන උපෝසථය-දින වශයෙන් කිනම් උපෝසථයක් ද? (පිළිතුරු දෙනු.)

ප්‍ර‍ශ්නය :- කාරක පුද්ගලයන්ගේ වශයෙන් කිනම් උපෝසථයක් ද?

පිළිතුර :- කාරක පුද්ගලයන්ගේ වශයෙන් සංඝ උපෝසථය යි.

ප්‍ර‍ශ්නය :- කර්තව්‍යාකාර වශයෙන් කිනම් උපෝසථයක් ද?

පිළිතුර :- කර්තව්‍යාකාර වශයෙන් සුත්තුද්දේස උපෝසථය යි.

සුත්තුද්දේස උපෝසථය යි කීයෙහි. එයට සතර නමකට නො අඩු භික්ෂු පිරිසක් එක් සීමාවෙක්හි අත්පස නො පිරිහෙළා වැඩසිටිය යුතු ය. එපමණ භික්ෂූහු මෙහි වැඩසිටින්නාහු ද?

පිළිතුර :- එසේ ය, වැඩ සිටින්නාහුය.

ප්‍ර‍ශ්නය :- පැමිණ සිටින භික්ෂූහු වස්තුසභාගාපත්ති වලින් මිදුණාහු ද?

පිළිතුර :- එසේය, ඇවැත්දෙසීමෙන් පිරිසිදු වූවාහුය.

ප්‍ර‍ශ්නය :- ගෘහස්ථාදී එක්විසි වර්ජනීය පුද්ගලයන් සංඝයාගේ අත්පසින් බැහැර කොට නිමවී ද?

පිළිතුර :- එසේය, නිමවිය.

ඉක්බිති පාමොක් උදෙසන ස්ථවිරයන් විසින් මෙසේ කිය යුතු ය.

මේ චතුරංගයෙන් යුක්ත කර්මයට ‘පත්තකල්ලය’ යි කියනු ලැබේ. පුබ්බකරණ පුබ්බකිච්චානි සමාපෙත්වා දෙසිතාපත්තිකස්ස සමග්ගස්ස භික්ඛු සංඝස්ස අනුමතියා පාතිමොක්ඛං උද්දිසිතුං ආරාධනං කරොම.

මෙය කී කල්හි සංඝයා විසින් සාධුකාර දිය යුතු ය. ඉක්බිති “ඤත්තිය” කියා පාමොක් උදෙසිය යුතු ය.

පාමොක් උදෙසීමේ දී සතර පාරාජිකාව පමණක් උදෙසා නිම කරත හොත් “උද්ධිට්ඨං ඛො ආයස්මන්තො නිදානං, උද්දිට්ඨා චත්තාරො පාරාජිකා ධම්මා, සුතා ඛො පනායස්මන්තෙහි තෙරස සංඝාදිසෙසා ධම්මා” යනාදි පාඨයෙන් අවසන් කර එම පාඨය අවසානයේ දී “පාරාජිකුද්දෙසො දුතියො” කියා අවසන් කළ යුතුය.

සංඝාදිසෙසුද්දෙසය දක්වා දෙසූ කල “උද්ධිට්ඨං ඛො ආයස්මන්තො නිදානං, උද්දිට්ඨා චත්තාරො පාරාජිකා ධම්මා, උද්දිට්ඨා තෙරස සංඝාදිසෙසා ධම්මා, සුතා ඛො පනායස්මන්තෙහි ද්වෙ අනියතාධම්මා” යනාදි පාඨයෙන් අවසන් කර එම පාඨය අවසානයේදී “සංඝාදිසෙසුද්දෙසො තතියො” කියා නිම කළ යුතුය.

අනියතුද්දේසය දක්වා උදෙසුව හොත් “උද්දිට්ඨං ඛො ආයස්මන්තො නිදානං, උද්දිට්ඨා චත්තාරො පාරාජිකා ධම්මා, උද්දිට්ඨා තෙරස සංඝාදිසෙසා ධම්මා, උද්දිට්ඨා ද්වේ අනියතා ධම්මා, සුතා ඛො පනායස්මන්තෙහි තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා” යනාදි පාඨයෙන් අවසන් කර එම පාඨය අවසානයේදී “අනියතුද්දෙසො චතුත්ථො” කියා අවසන් කළ යුතුය.

අනියතුද්දේසය ඉක්මවා දේශනා කරතහොත් සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂය ම උදෙසිය යුතුය. එසේ උදෙසූ කල ප්‍රාතිමෝක්ෂයෙහි එන පරිදිම අවසාන කොට “විත්ථාරුද්දෙසො පඤ්චමො” කියා නිම කළ යුතුය.