විකප්පනය යනු තමා අයත් දෙයක් අනිකකුට දීමකි. එහෙත් එය සම්පූර්ණ අයිතියට දීමක් නොව විනය කර්මයෙකි. එය කරන්නේ මෙසේ ය. සිවුර ඒකාංස කොට පොරවා භික්ෂුවක් සමීපයේ උක්කුටිකයෙන් හිඳ විකප්පනය කරන චීවරය අතින් ගෙන “ඉමං චීවරං තුය්හං විකප්පෙමි” යි කියා සිවුර දිය යුතු ය. එසේ කළ කල්හි සිවුර තමා වෙත තබා ගැනීමෙන් නිසගි නො වේ. එය පරිභෝග නො කළ හැකිය. නො දිය හැකිය. අධිෂ්ඨාන නො කළ හැකිය. විකප්පනය කරනු ලැබූ භික්ෂුව විසින් ඒ සිවුර “මයිහං සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං වා කරොහි” කියා ආපසු දිය යුතුය. එසේ කිරීමට පච්චුද්ධාරය යි කියනු ලැබේ. එය කළ පසු සිවුර අධිෂ්ඨානයක් නැතිව ම පරිභෝග කළ හැකිය. සිවුරු බොහෝ ගණනක් එක වර විකප්පනය කරන හොත් “ඉමානි චීවරානි තුය්හං විකප්පෙමි” යි කිය යුතු ය. පච්චුද්ධාරය කරන භික්ෂුව විසින් “මය්හං සන්තකානි පරිභුඤ්ජෙහි වා විස්සජ්ජෙහි වා යථාපච්ඡයං කරොහි” යි කිය යුතු ය. දුර ඇති සිවුරු විකප්පනයේදී “එතං චීවරං, එතානි චීවරානි” යි සුදුසු පරිදි යොදා කිය යුතු ය.
“අනුජානාමි භික්ඛවෙ ආයාමෙන අට්ඨංගුලං සුගතංගු ලෙන චතුරංගුලවිත්ථතං පච්ඡමං චීවරං විකප්පෙතුං”[1] යි වදාරා ඇති බැවින් දිගින් සුගත් අඟුලෙන් අටඟුලක් ද පළලින් සතරඟුලක් ද ඇති වස්ත්‍රය විකප්පනය කළ යුතු ය. එයට කුඩා වූ වස්ත්‍ර අධිෂ්ඨාන හෝ විකප්පනය නැතිව තබා ගැනීමෙන් ඇවැත් නැත. සුගතංගුලයෙන් අටඟුල සාමාන්‍ය ජනයාගේ දෙවියතකි. අඟල් සතර වියතෙකි.
-
මහා - 726 පි. ↑