සිවුරුවල කඩ කැපීම.

බුදුසස්න ඇති වුණු මුල් කාලයේ දී භික්ෂූහු කඩ නො කැපූ සිවුරු පරිභෝග කළහ. එක් දවසක් තථාගතයන් වහන්සේ රජගහනුවර සිට දක්ෂිණගිරියට වඩනාසේක් අතරමඟ මගධ දේශයේ කුඹුරක් දැක එය ආනන්ද ස්ථවිරයන් වහන්සේට දක්වා ඒ සැටියට කඩ කපා සිවුරු පිළියෙළ කරන ලෙස වදාළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ දක්ෂිණගිරියෙහි වැස රජගහනුවරට පෙරළා වැඩම කොට බොහෝ භික්ෂූන්ට කඩ කපා මැසූ සිවුරු පිළියෙළ කොට ඒවා භාග්‍යවතුන් වහන්සේට දැක්වූහ. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට පසසා:

“අනුජානාමි භික්ඛවෙ ඡින්නකං සංඝාටිං, ඡින්නකං උත්තරාසංගං, ඡින්නකං අන්තරාවාසකං”[1]

යි කඩ කපා මැසූ සංඝාටි උත්තරාසංග අන්තරවාසකයන් පරිභෝග කිරීම අනුදැන වදාළ සේක.

“න භික්ඛවෙ අච්ඡින්නකානි චීවරානි ධාරෙතබ්බානි. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]

මහණෙනි, කඩ නොකැපූ සිවුරු නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

තුන් සිවුරම කඩ කපා මසා ගැනීමට රෙදි මදි වුව හොත් දෙකක් කඩ කපා මසා ගැනීමටත් එකක් කඩ නො කපා දැරීමටත් භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළහ. දෙකක් කඩ කපා මසා ගැනීමට පවා රෙදි මඳ වුව හොත් එකක් කඩ කපා මසා ගැනීමටත් දෙකක් කඩ නො කපා දැරීමටත් අනුදැන වදාළහ. එසේ කිරීමටත් රෙදි මදි වුව හොත් කඩ කැපූ සේ පෙනෙන්නට රෙදිපටි ඇල්ලීමටත් අනුදැන වදාරා:

“න ච භික්ඛවෙ සබ්බං අච්ඡින්නකං ධාරෙතබ්බං, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[3]

යනු වදාළ සේක. යටත් පිරිසෙයින් කඩ කැපූ එක සිවුරකුදු නො ගෙන කඩ නො කැපූ සිවුරු ම දැරුව හොත් දුකුළා ඇවැත් වේ.

සිවුර මැසීමේදී ප්‍ර‍කෘති මැසීමෙන් ම මසනු මිස අලංකාරය පිණිස විශේෂ මැසීම් නො කළ යුතු බවත්, පඬු පෙවූ සිවුර තවත් වර්ණවත් කිරීම සඳහා යම් කිසිවක් නො කළ යුතු බවත්, සිවුර ඔප් ගැන්වීම පිණිස ගලකින් හෝ අන් කිසිවකින් මැදීම නො කළ යුතු බවත් පාළිමුත්තක විනය විනිච්ඡය ආදි පොත්වල දක්වා ඇත්තේ ය.

  1. මහා - 708 පි.

  2. මහා - 708 පි.

  3. මහා - 726 පි.