“න භික්ඛවෙ ඡත්තං ධාරෙතබ්බං, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස ඡත්තං, අනුජානාමි භික්ඛවෙ අගිලානෙන’පි ආරාමෙ ආරාමූපචාරෙ ඡත්තං ධාරෙතුං”[1]
තේරුම:
“මහණෙනි, කුඩ නො දැරිය යුතු ය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, ගිලනාහට කුඩය අනුදනිමි. මහණෙනි, ආරාමයෙහි හා ආරාමූපචාරයෙහි කුඩ දැරීම අනුදනිමි.
“යස්ස කායදාහො වා පිත්තකොපො වා හොති, චක්ඛු වා දුබ්බලං, අඤ්ඤො වා කොචි ආබාධො විනා ඡත්තෙන, උප්පජ්ජති, තස්ස ගාමෙ වා අරඤ්ඤෙ වා ඡත්තං වට්ටති. වස්සෙ පන චීවරගුත්තත්ථං, වාළමිගචොරභයෙසු ච අත්තගුත්තත්ථං’ පි වට්ටති. එකපණ්ණඡත්තං පන සබ්බත්ථ වට්ටති.”[2]
තේරුම:
යමෙකුගේ කයෙහි දැවිල්ලක් හෝ පිත්කෝපයක් ඇත්තේ ද ඇස හෝ දුබල වේ ද, අන් කිසි ආබාධයක් හෝ කුඩය නො ඉසුලූ කල්හි වේ ද ඔහුට ගමෙහිත් අරණ්‍යයෙහිත් කුඩය දැරීම සුදුසු ය. වර්ෂාවෙහි සිවුරු ආරක්ෂා වීමට ද නපුරු සතුන්ගෙන් සොරුන්ගෙන් භය ඇති කල්හි ආත්මාරක්ෂාව පිණිස ද කුඩය දැරීම සුදුසුය. එක් තල්පතකින් කළ කුඩය සැම තැන ම දැරීම සුදුසු ය.
දැරිය යුතු කුඩ මේවාය, නො දැරිය යුතු කුඩ මේවාය කියා කුඩ ගැන විශේෂ විභාගයක් විනය පාළියෙහි දක්නට නැත. අටුවාවෙහි ද නො දක්නා ලදී. පාලිමුක්තක විනය විනිශ්චයෙහි අලංකාරය පිණිස නොයෙක් පාට නූල්වලින් මැසුම් යෙදූ කුඩ හා මිටෙහි කැටයමි ඇති කුඩ නො වටනා බව දක්වා තිබේ.