පාවහන්

“අනුජානාමි භික්ඛවෙ එකපලාසිකං උපාහනං, න භික්ඛවෙ දිගුණා උපාහනා ධාරෙතබ්බා, න තිගුණා උපාහනා ධාරෙතබ්බා, න ගණංගණූපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]

“මහණෙනි, එක් පොටක් ඇති පාවහන් අනුදනිමි. මහණෙනි, දෙපොට ඇති පාවහන් නො දැරිය යුතුය. තුන්පොට ඇති පාවහන් නො දැරිය යුතුය. බොහෝ පොට ඇති පාවහන් නොදැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ සඋපාහනෙන ගාමෙ පවිසිතබ්බො, යො පවිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]

“මහණෙනි, වහන් පයලා ගමට නො පිවිසිය යුතුය. යමෙක් පිවිසියේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“අනුජානාමි භික්ඛවෙ යස්ස පාදා වා දුක්ඛා පාදා වා එලිතා පාදඛීලො වා ආබාධො උපාහනං ධාරෙතුං.”[3]

මහණෙනි, යමෙකුගේ පා රිදේ ද, පා පැළී හෝ ඇත්තේ ද පතුලෙහි කටු සේ මස් ලියලා හෝ ඇත්තේ ද ඔහුට පාවහන් දැරීම අනුදනිමි.

“අනුජානාමි භික්ඛවෙ ඉදානි මඤ්චං වා පීඨං වා අභිරුහිස්සාමීති උපාහනං ධාරෙතුං.”[4]

යනුවෙන් ඇඳට හෝ පුටුවට නඟින අවස්ථාවේ පාවහන් දැරීම අනුදැන ඇත්තේ ය. මෙයින් දක්වන්නේ පා සෝදා ඇඳට හෝ පුටුවට යන කල්හි නැවත පා නො කිලිටි වීම සඳහා වහන් පයලා යා යුතු බවය.

“අනුජානාමි භික්ඛවෙ අජ්ඣාරාමෙ උපාහනං ධාරෙතුං.”[5]

මහණෙනි, ආරාමයෙහි පාවහන් දැරීම අනුදනිමි.

“අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා සඋපාහනෙන ගාමං පවිසිතුං.”[6]

මහණෙනි, ගිලන් භික්ෂුවට වහන් පයලා ගම් වැදීම අනුදනිමි. තෙත් පොළොව පෑගීමෙන් හෝ රත් වූ පොළොව පෑගීමෙන් හෝ බොරලු පෑගීමෙන් හෝ නඟින රෝගයක් ඇතියහුට වහන් පය ලා ගම් වැදීමෙන් ඇවැත් නැත.

“න භික්ඛවෙ ආචරියෙසු ආචරියමත්තෙසු උපජ්ඣායෙසු උපජ්ඣායමත්තෙසු අනුපාහනෙසු චංකමමානෙසු සඋපාහනෙන චංකමිතබ්බං, යො චංකමෙය්‍ය, ආපත්ති දුක්කටස්ස.”[7]

මහණෙනි, ආචාර්‍ය්‍යයන්, ආචාර්‍ය්‍යයන් පමණ වූවන්, උපාධ්‍යායයන්, උපාධ්‍යායයන් පමණ වූවන් පාවහනින් තොරව සක්මන් කරන කල්හි වහන් පය ලා සක්මන් නො කළ යුතුය. යමෙක් සක්මන් කෙළේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

ප්‍ර‍ව්‍ර‍ජ්‍යාචාර්‍ය්‍යය උපසම්පදාචාර්‍ය්‍යය නිශ්‍ර‍යාචාර්‍ය්‍යය උද්දේසාචාර්‍ය්‍යය යි ආචාර්‍ය්‍යයෝ සතර දෙනෙකි. ආචාර්‍ය්‍යයන් පමණ වූවෝ නම් උපසම්පදාවෙන් සවසකට වැඩිමහලු භික්ෂූහු ය. එක්වසක් ඇති භික්ෂුවට සත්වසක් ඇති භික්ෂුව ද, දෙවසක් ඇති බික්ෂුවට අටවසක් ඇති භික්ෂුව ද, තෙවසක් ඇති භික්ෂුවට නවවසක් ඇති භික්ෂුව ද, සිවුවසක් ඇති භික්ෂුවට දසවස් පිරුණ භික්ෂුව ද ආචාර්‍ය්‍යයන් පමණ වෙති. උපාධ්‍යාචාර්‍ය්‍යයරයාගේ මිත්‍ර‍ ස්ථවිරයෝ ද, තමාට දසවසකින් මහලු ස්ථවිරවරු ද උපාධ්‍යාය පමණවූවෝ ය. මේ සිකපදයෙන් දැක්වෙන්නේ එක් සක්මනෙහි හෝ සමීපයෙහි හෝ සක්මන් කිරීමය. මේ සිකපදය අනුව සක්මන් කිරීම පමණක් නොව ආචාර්‍ය්‍ය, ආචාර්‍ය්‍යමාත්‍ර‍, උපාධ්‍යාය, උපාධ්‍යායමාත්‍ර‍ භික්ෂූන් වහන්සේලා ඉදිරියට වහන් පය ලා යාමත් නුසුදුසු බව කිව යුතුය.

“අනුජානාමි භික්ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ගණංගනූපාහනං.”[8]

යනුවෙන් ප්‍ර‍ත්‍යන්ත ජනපදයන්හි බොහෝ පොට ඇති පාවහන් අනුදැන ඇති බැවින් ප්‍ර‍ත්‍යයන්තයට අයත් වන මේ රටෙහි බොහෝ පොට ඇති පාවහන් දැරීමෙන් ඇවැත් නැත. මධ්‍යදේශයට යත හොත්, එක් පොටක් ඇති පාවහන් යුවලක් එහිදී දැරිය යුතුය.

නැගෙනහිරින් කජංගල නම් නියම්ගමින් ද, ගිනිකොනින් සලලවතී නම් ගංගාවෙන් ද, දකුණින් සේතකණ්ණිකා නම් නියම්ගමින් ද, බස්නාහිරින් ථූන නම් බ්‍රාහ්මණ ගමින් ද, උතුරෙන් උසීරද්ධජ නම් පර්වතයෙන් ද පිරිසිඳින ලද ජම්බුද්වීපයේ මැද කොටස මධ්‍යදේශය යි ඉන් ඔබ ප්‍ර‍ත්‍යන්තදේශය යි ද වදාරා ඇත්තේ ය.

“න භික්ඛවෙ සබ්බනීලිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බපීතිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බලොහිතිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමඤ්ජෙට්ඨිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බකණ්හා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමහාරංගරත්තා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමහානාමරත්තා උපාහනා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[9]

මෙයින් සම්පූර්ණ නීලාදි වර්ණවලින් යුක්ත පාවහන් දැරීමෙන් දුකුළා ඇවැත් වන බව දක්වන ලදී. එහි මහාරංග යනු පත්තෑයන්ගේ පිටේ පැහැයය යි ද මහානාම යනු ඉදුණු කොළවල පැහැය ය යි ද අටුවාවෙහි දක්වා ඇත්තේ ය. “න භික්ඛවෙ නීලවට්ටිකා උපාහනා ධාරෙතබ්බා” යනාදිය වදාරා ඇති බැවින් පටි පමණක් පාට කළ පාවහන් වුව ද දැරීමෙන් ඇවැත් වේ. මේ සිකපදවල සැටියට පාවහන කැප එකක් වීමට එහි කිසි පැහැයක් ආලේප නො කළ යුතු ය. පාවහන තැනූ ද්‍ර‍ව්‍යවල ප්‍ර‍කෘති පාට ම තිබෙන්නට හැරිය යුතු ය. පාට කළ පාවහන් ලද හොත් පාට ඉවත් කොට පරිභෝග කළ යුතු ය.

“න භික්ඛවෙ බල්ලබද්ධා උපාහනා ධාරෙතබ්බා. න පුටබද්ධා උපාහනා ධාරෙතබ්බා, න පාළිගුණ්ඨිමා උපාහනා ධාරෙතබ්බා, න තුලපුණ්ණිමා උපාහනා ධාරෙතබ්බා, න තිත්තිරපත්තිකා උපාහනා ධාරෙතබ්බා, න මෙණ්ඩවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා, න අජවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා, න විච්ඡකාලිකා උපාහනා ධාරෙතබ්බා, න මොරපිඤ්ජපරික්ඛිත්තා උපාහනා ධාරෙතබ්බා, න චිත්‍රා උපාහනා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[10]

මහණෙනි, විලුම් වැසෙන පාවහන් නො දැරිය යුතු ය. සියලු පය වැසෙන පාවහන් නො දැරිය යුතු ය. පිටිපතුල වැසෙන පාවහන් නො දැරිය යුතු ය. පුළුන් පුරවා කළ පාවහන් නො දැරිය යුතුය. වටු පියාපත් පැහැ පටි ඇති පාවහන් නො දැරිය යුතුය. බැටළු අං වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. එළු අං වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. ගෝනුස්සන්ගේ නටු වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. මොනර පිල්වලින් මැසුම් දැමූ පාවහන් නො දැරිය යුතුය. විසිතුරු පාවහන් නො දැරිය යුතු ය. යමෙක් දරා නම් දුකුළා ඇවැත් වේ.

මෙහි දැක්වුණු පාවහන් මේ කාලයේ දක්නට නැති බැවින් ඒවායේ නියම තතු තේරුම් ගැනීම දුෂ්කර ය. විලුඹ හෝ පිටිපතුල වැසෙන පාවහන් අකැප ය. නොයෙක් ආකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් අකැප ය. මෙකල රටේ පාවිච්චි කරන පාවහන් අතර නොයෙක් ආකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් දක්නා ලැබේ. ඒවා පැවිද්දන්ට අයෝග්‍යය.

සිංහය, ව්‍යාඝ්‍ර‍ය, දිවිය, අජින නම් මෘගය, ඔටුය, බළල්ය, ලේන්ය, බකමුහුණුය යන මොවුන්ගේ සම් වාටියට යොදා ඇති පාවහන් දැරීමෙන් ද ඇවැත් වන බව “න භික්ඛවෙ සීහචම්මපටික්ඛටා උපාහනා ධාරෙතබ්බා” යනාදීන් වදාරා ඇත්තේය.[11]

“න ච භික්ඛවෙ කාචි සංකමනීයා පාදුකා ධාරෙතබ්බා. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[12]

මහණෙනි, එහාමෙහා ගෙන යා හැකි කිසි පාදුකාවක් නො දැරිය යුතු ය. යමෙක් දරා නම් දුකුළා ඇවැත් වේ.

  1. මහා - 486 පි.

  2. මහා - 507 පි.

  3. මහා - 492 පි.

  4. මහා - 492 පි.

  5. මහා - 507 පි.

  6. මහා - 507 පි.

  7. මහා - 492 පි.

  8. මහා - 514 පි.

  9. මහා - 488 පි.

  10. මහා - 488 පි.

  11. මහා - 490 පි.

  12. මහා - 498 පි.