අකප්පිය ආසන

“න භික්ඛවෙ උච්චාසයන මහාසයනානි ධාරෙතබ්බානි. සෙය්‍යථිදං? ආසන්දි පල්ලංකො ගොණකො චිත්තකො පටිකා පටලිකා තූලිකා විිකතතකිකා උද්දලොමි එකන්තලොමි කට්ඨිස්සං කොසෙය්‍යං කුත්තකං අත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]

මේ සිකපදයෙන් ආසන්දි ආදි නම්වලින් දක්වන ලද උච්චාසයන මහාසයනයන් පරිභෝග කිරීමෙන් දුකුළා ඇවැත් වන බව දැක් වේ. උච්චාසයන යනු පමණට වඩා උස් අසුනය. එහි ප්‍ර‍මාණය පාචිත්තියපාළියේ[2] මඤ්ච ශික්ෂාපදය අනුව දැක්විය යුතු ය. සුගත් අඟුලෙන් අටඟුලකට වඩා උස පා ඇති ඇඳක් හෝ පුටුවක් භික්ෂුවක් විසින් කරවුව හොත් වැඩි කොටස සිඳ දෙසිය යුතු පචිති ඇවැත් වේ. සුගත් අඟල් සතරක් සාමාන්‍ය ජනයාගේ වියතකි. අටඟුලක් රියනකි. ඒ සිකපදය අනුව රියනට වඩා උස් පා ඇති අසුන අකැපය. උච්චාසයනය යි කියනුයේ රියනට වඩා දික් පා ඇති අසුන්ය. අතිතකාලයේ බොහෝ උස් අසුන් අගය කොට සලකන්නට ඇත. මෙකල උස් අසුන් අගය කොට නො සලකති. රියනට වඩා උස් පා ඇති ඇඳ පුටු මෙකල නො සාදති. දැනට පන්සල්වලත් ගෙවලත් පාවිච්චි කරන ඇඳ පුටු උච්චාසයන නො වේ.

මහාසයන යනු වඩා සනීපය ගෙන දෙන වඩා ලස්සන කාමභෝගීන් පිනවන මහමිනිසුන් පරිභෝග කරන අසුන් ය. “අකප්පිය ඇතිරි අතුළ අසුන්ය” යි අටුවාවෙහි කියා තිබේ. ඉහත දැක් වූ පාඨයෙහි ආසන්දාදි නම්වලින් දැක්වෙන්නේ අතීත කාලයේ විසූ මහමිනිසුන් පරිභෝග කළ පරණ බඩුය. දැන් ඒවා නැති බැවින් ඒවා හරියට තේරුම් ගැනීමත් දුෂ්කරය.

“ආසන්දි” යනු පමණට වඩා උස් පා ඇති ආසන විශේෂයකි. “පල්ලංක” යනු පාවල සිංහරූප ව්‍යාඝ්‍ර‍රූප යක්ෂරූපාදි රූප යොදා ඇති අසුනය. “ගෝණක” යනු සතරඟුලකට දික් ලොම් ඇති පලස ය. “චිත්තක” යනු වියුමෙන් විසිතුරු කළ ඇතිරිය ය. “පටිකා” යනු ලොමින් කළ සුදු ඇතිරිය ය. “පටලිකා” යනු ඝනට මල් ඇති ලොමින් කළ රතු ඇතිරිය ය. “තූලිකා” යනු පුළුන් දමා කළ ගුරිදිය ය. “විකතිකා” යනු සිංහ ව්‍යාඝ්‍රාදි රූපවලින් විසිතුරු කළ ලොම් ඇතිරිය ය. “උද්දලොමි” යනු එක පැත්තකින් ලොම් මතු වී ඇති ලොම් ඇතිරිය ය. “ඒකන්තලොමි” යනු දෙපැත්තෙහි ම මතු වූ ලොම් ඇති ලොම් ඇතිරිය ය. “කට්ඨිස්ස” යනු අතරට රන්රිදී නූල් යොදා කට්ඨිස්ස නම් කෙඳි වර්ගයකින් වියූ ඇතිරිය ය. “කෝසෙය්‍ය” යනු පටනූල් අතරට රන් රිදී කෙඳි යොදා වියූ ඇතිරිය ය. “කුත්තක” යනු නාටිකාවන් සොළොස් දෙනෙකුට නැටීමට ඉඩ ඇති ලොම් ඇතිරිය ය. “හත්ථත්ථර අස්සත්ථර රථත්ථර” යනු ඇතුන් පිට අසුන් පිට හා රථවල අතුරන ඇතිරිය ය. “අජිනප්පවේණි” යනු අඳුන්දිවිසම්වලින් ඇඳ පමණට මසා කළ ඇතිරිය ය. “කදලිමිගපවරපච්චත්ථරණ” යනු කදලිමිග නම් මුවන්ගේ සමින් කළ උතුම් ඇතිරිය ය. “සඋත්තරච්ඡද උභතෝලෝහිතකූපධාන” යනු හිසට පයට රතු කොට්ටා හා රතුවියන් ඇති අසුන ය.

එක් සමයෙක්හි මනුෂ්‍යයෝ ඇතුළුගමෙහි දන් ශාලාවක භික්ෂූන්ට වාඩිවීම සඳහා ආසන්දාදි උච්චාසයන මහාසයනයන් පැනවූහ. භික්ෂූහු සැක ඇත්තාහු ඒවායේ නො හිඳිත්. එකරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූ කල්හි “අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා තීණි ආසන්දිං පල්ලංකං තූලිකං ගිහිවිකතං අභිනිසීදිතුං නත්වෙව අභිනිපජ්ජිතුං.”[3] යි “මහණෙනි, ගිහියන් විසින් පිළියෙළ කර දුන් කල්හි ආසන්දි පල්ලංක තූලිකා යන අසුන් තුන හැර අන් අසුන්වල හිඳීම අනුදනිමි. නිදීම නො අනුදනිමි” යි වදාළ සේක. පසු අවස්ථාවක ගිහියන් විසින් පිළියෙළ කර දුන් කල්හි තූලිකාවෙහි ද හිඳ ගැනීම අනුදැන වදාළහ.

ආසන්දි තූලික පල්ලංක යන තුන හැර ඉතිරි අසුන්වල ධර්මාසනයෙහි ද දානශාලාවෙහි ද ගිහිගෙයෙහි ද හිඳ ගැනීම කැප ය.

  1. මහා - 502 පි.

  2. පාචි - 189 පි.

  3. චූල - 243 පි.