“න භික්ඛවෙ දීඝා කෙසා ධාරෙතබ්බා, යො ධාරෙය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ දුමාසිකං වා දුවංගුලං වා.”[1]
මහණෙනි, දික් හිසකේ නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, දෙමසකට වරක් හෝ දෙඅඟලක් වැඩුණු කල්හි හෝ හිසකේ කැපීම අනුදනිමි.
“න භික්ඛවෙ කොච්ඡෙන කෙසා ඔසණ්හෙතබ්බා, න එණකෙන කෙසා ඔසණ්හෙතබ්බා, න හත්ථඵණකෙ කෙසා ඔසණ්හෙතබ්බා, න සිත්ථතෙලකෙන කෙසා ඔසණ්හෙතබ්බා, න උදකතෙලකෙන කෙසා ඔසණ්හෙතබ්බා, යො ඔසණ්හෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]
මහණෙනි, කොස්සෙන් හිසකේ නො පීරිය යුතුය. පණාවෙන් හිසකේ නො පීරිය යුතුය. අතින් හිසකේ නො පීරිය යුතුය. ඉටි මිශ්‍ර තෙල් ආදි යම්කිසි ලාටුවකින් හිසකේ නො පීරිය යුතුය. දිය මිශ්‍ර තෙලින් හිසකේ නො පීරිය යුතුය. යමෙක් පීරන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
ඇවැත් වන්නේ අලංකාරය පිණිස හිසකේ පීරීමෙනි. හිසකේ කෙළින් සිටින කෙනෙකුට අතෙහි වතුර ගා පිරිමැදීමෙන් ද දූලි ඉවත් කිරීම පිණිස අත තෙමා හිස පිරිමැදීමෙන් ද ඇවැත් නො වේ.
“න භික්ඛවෙ කත්තරියා කෙසා ඡෙදාපෙතබ්බා, යො ඡෙදාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[3]
මහණෙනි, කතුරෙන් හිසකේ නො කැප්පවිය යුතුය. යමෙක් කැප්පවූයේ නම් දුකුළා ඇවැත් වේ.
“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා කත්තරිකාය කෙසෙ ඡෙදාපෙතුං.”1
මහණෙනි, ආබාධයක් නිසා කතුරෙන් හිසකේ කැප්පවීම අනුදනිමි.
“න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං, න මස්සු වඩ්ඪාපෙතබ්බං, න ගොලොමිකං කාරාපෙතබ්බං, න චතුරස්සකං කාරාපෙතබ්බං, න පරිමුඛං කාරාපෙතබ්බං, න අඩ්ඪුරකං කාරාපෙතබ්බං, න දාඨිකා ඨපෙතබ්බා, න සම්බාධෙ ලොමං සංහාරාපෙතබ්බං. යො සංහරාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1
“මහණෙනි, රැවුල අලංකාර ලෙස නො කැප්ප විය යුතුය. දෑඟුලකට වඩා නො වැඩවිය යුතුය. දෙකම්මුල්හි දිගට ඉතිරි නො කළ යුතුය. සිවුකොනක් තබා නො කැප්පවිය යුතුය. ළයේ ලොම් නො කැප්පවිය යුතුය. උදරයෙහි ලොම් රොදක් නො තැබිය යුතුය. උඩුරැවුල නො තැබිය යුතුය. සම්බාධස්ථානයන්හි ලෝමයන් නො කැපිය යුතුය. යමේක කපා නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං යන සිකපදය ඇතැම්හු හිසකේ තිබිය දී රැවුල පමණක් නො කැපිය යුතුය. කියා තේරුම් කරති. හිසකේ තිබිය දීය කියා සිකපදයෙහි නැත. නැති දෙයක් සිකපදයට අමුතුවෙන් එකතු කිරීම නුසුදුසුය. කෙස් රැවුල් කපා ඉවත් කිරීම කියැවෙන කිසි ම තැනෙක පිටකත්‍රයෙහි “කප්ප” යන වචනය යෙදී තිබෙනු නො දක්නා ලැබේ. “පඨමං කෙසමස්සුං ඔහාරාපෙත්වා” යනාදීන් විනයෙහි දක්නා ලැබෙන්නේ කෙස් රැවුල් කැපීම කියැවෙන තැන්වල “ඔහාරාපෙත්වා” යන වචනය ය. සූත්‍රවල දක්නට ලැබෙන්නේ ද ඔහාරාපෙත්වා යන වචනය ම ය. සම්බනාධස්ථානයන්හි ලොම් ඉවත් කිරීම කියැවෙන සිකපදයෙහි ඒවා කැපීම දක්වා ඇත්තේ “සංහාරාපෙතබ්බං” යන වචනයෙනි. “න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං” යන සිකපදය ගැන වර්ණනාවක් විනය අටුවාවෙහි නො දක්නා ලැබේ. සාරත්ථදීපනී විමතිවිනෝදනී වජිරබුද්ධි යන විනයටීකා තුනෙහි ද මේ සිකපදය ගැන කිසිවක් සඳහන් නො වේ. එබැවින් මේ සිකපදය ඒ ඒ අය තම තමන්ට රුචි සැටියට තේරුම් කරති. අටුවා ටීකාවලට මෙය ඇතුළු නොවීමේ හේතුවත් විමසිය යුතු කරුණෙකි. විනය පෙළ තේරුම් කළ යුත්තේ අටුවාටීකා අනුවය. අටුවාටීකාවල සඳහන් නො වන වචනය තේරුම් කිරීම දුෂ්කරය. මේ සිකපදයෙහි “කප්පාපෙතබ්බං” යන වචනය යොදා ඇත්තේ, රැවුල කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අන් සෑම තැන යෙදී ඇති ඔහාරෙතබ්බං යන වචනය ම යොදා නැත්තේ, මෙහි අර්ථය අනිකක් නිසාය යනු අපගේ පිළිගැනීම ය සූත්‍ර පිටකයේ සමහර තැනක “කප්පිතකෙසමස්සු” යන වචනය දක්නා ලැබේ. ඒ වචනයෙහි අර්ථය උදාන අටුවාවෙහි විවරණය කර ඇත්තේ “කප්පිතකෙසමස්සූති අලංකාරසත්ථෙ වුත්තවිධිනා කප්පකෙහි ඡින්නකෙසමස්සු”[4] කියා ය. ඒ අටුවාපාඨයෙන් දක්වන්නේ “කප්පත” යන වචනයේ අර්ථය අලංකාර ශාස්ත්‍රයෙහි දැක්වෙන පරිදි මුහුණ අලංකාර කරනු පිණිස කපුවන් ලවා හැඩ තබා කෙස් රැවුල් කැප්පවීම ය. අප විසින් “න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං” යන සිකපදය රැවුල අලංකාර ලෙස නො කැප්පවිය යුතුය” කියා තේරුම් කරන ලද්දේ උදාන අටුවාව අනුව ය. “න භික්ඛවෙ මස්සු කප්පාපෙතබ්බං” යන්නෙහි අර්ථය රැවුල නො කැපිය යුතු ය කියා ගත හොත් කවදාවත් රැවුල කැපීමට ඉඩක් නැත.
මේ විනය විනිශ්චය නම් ග්‍රන්ථයෙහි එන ගාථාවකි. ඇතැම්හු මේ ගාථාව දක්වා හිසකේ තිබිය දී රැවුල නො කැපිය යුතුය යි කියති. එහෙත් කෙස් තිබියදීය කියා ඒ ගාථාවෙහි ද නැත. මස්සු යනු යටි රැවුලය. දාඨිකා යනු උඩු රැවුල ය. මේ ගාථාවෙහි කප්පාපෙය්‍ය විසුං මස්සුං යන්නෙහි අදහස දාඨිකාව තබා වෙනම රැවුල නො කැපිය යුතු බව විය හැකි ය. මේ ගාථාව බුද්ධ වචනය නො වන බව ද සැලකිය යුතු ය. කෙස් හා රැවුල එකවිට නො කැපිය යුතු ය. කැපිය හැක්කේ වෙන වෙනම ය. මේ කාරණයත් මේ ගාථාව තේරුම් කිරීමේ දී සැලකිය යුතු ය.
“අනුජානාමි භික්ඛවෙ අබාධප්පච්චයා සම්බාධෙ ලොමං සංහාරපෙතුං.”[6]
ආබාධයක් ඇති කල්හි සම්බාධයෙහි ලොම් ඉවත් කිරීමට අනුදනිමි.
“න භික්ඛවෙ මුඛං ආලම්පිතබ්බං, න මුඛං උම්මද්දිතබ්බං, න මුඛං වුණ්ණෙතබ්බං, න මනොසිලිකාය මුඛං ලඤ්ඡෙතබ්බං, න අංගරාගො කාතබ්බො, න මුඛරාගො කාතබ්බො, න අංගරාග මුඛරාගො කාතබ්බො, යො කරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[7]
මහණෙනි, පැහැපත් කරන දෑ මුහුණෙහි නො ගැල්විය යුතු ය. මුහුණෙහි වත්සුණු (පියරු) නො ගැල්විය යුතු ය. මුහුණෙහි තිලක නො තැබිය යුතු ය. කය සායම් නො කළ යුතු ය. මුහුණ සායම් නො කළ යුතු ය. කය මුහුණ සායම් නො කළ යුතු ය. යමෙක් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා මුඛං ආලිම්පිතුං”[8]
ආබාධ නිසා මුව බෙහෙත් ගැල්වීම අනුදනිමි.
“න භික්ඛවෙ දීඝා නඛා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[9]
මහණෙනි, දික් නිය නො දැරිය යුතු ය. යමෙක් දරා නම් දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ දීඝං නාසිකාලොමං ධාරෙතබ්බං, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[10]
දික් නාස්ලොම් නො දැරිය යුතු ය. දැරුව දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ පලිතං ගාහාපෙතබ්බං, යො ගාහාපෙය්‍ය ආපත්ති දුක්කස්ස.”[11]
පැසුණු කෙස්ලොම් නො ගැන්විය යුතු ය. ගැන්වුව දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ ආදාසෙ වා උදකපත්තෙ වා මුඛනිමිත්තං ඔලොකෙතබ්බං, යො ඔලොකෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[12]
ආදාසයක හෝ දිය බඳුනක හෝ මුව නිමිත්ත නො බැලිය යුතුය. බැලුව දුකුළා ඇවැත් වේ.
“අනුජානාමි භික්ඛවෙ ආබාධප්පච්චයා ආදාසෙ වා උදකපත්තෙ වා මුඛනිමිත්තං ඔලොකෙතුං.”[13]
ආබාධයක් නිසා ආදාසයේ හෝ දියබඳුනේ හෝ මුවනිමිත්ත බැලීමට අනුදනිමි.
ආබාධයක් ඇති කල්හි එය සුව වී ද නැතදැ යි දැන ගැනීම පිණිස ද බෙහෙත් ගැල්වීම පිණිස ද මා දැන් දිරා ඇතිදැ යි ආයුසංස්කාරය දැන ගැනීම පිණිස ද කන්නාඩියෙන් මුහුණ බැලීම සුදුසු ය. කන්නාඩියකින් නො බලා රැවුල බෑම දුෂ්කර ය. කන්නාඩියකින් නො බලා රැවුල කැපීමෙන් තුවාල විය හැකිය. තුවාලය ආබාධයකි. රැවුල බෑමේදී තුවාල නො වනු පිණිස කන්නාඩියෙන් බැලීම ද ආබාධයක් නො වනු පිණිස බැලීම ය. එබැවින් එයත් ආබාධයක් නිසා කරන වැඩකි. ඒ නිසා එය නිවැරදි විය යුතු ය. විනය පාළියේ අටුවා ටීකාවල ඒ ගැන කිසිවක් සඳහන් කර නැත. මේ අප අදහස ය. මේ ගැන විමසිය යුතු ය.