“යො පන භික්ඛු ඔරෙනද්ධමාසං නහායෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො, දියඩ්ඪො මාසො සෙසො ගිම්හානන්ති වස්සානස්ස පඨමො මාසො ඉච්චේතෙ අඩ්ඪතෙය්යමාසා උණ්හසමයො පරිළාහසමයො ගිලානසමයො කම්මසමයො අද්ධානගමනසමයො වාතවුට්ඨි සමයො අයං තත්ථ සමයො.”[1]
අසමයෙහි අඩමසකට වරකට වඩා නෑව හොත් මේ සිකපදයෙන් පචිති ඇවැත් වේ. මේ සිකපදය මධ්‍යදේශයට පමණෙකි. “අනුජානාමි භික්ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ධුවනහානං”1 යනුවෙන් ප්‍රත්‍යන්ත ජනපදයෙහි නිතර නෑම අනුදැන වදාරා ඇති බැවින් ප්‍රත්‍යන්තයට අයත් මේ රටෙහි කොතෙක් නෑව ද ඇවැත් නැත.
“න භික්ඛවෙ නහායමානෙන භික්ඛුනා රුක්ඛෙ කායො උග්ඝංසෙතබ්බො. යො උග්ඝංසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]
නෑමේදී ගස්වල කය නො ඇතිල්ලිය යුතුය, ඇතුල්ලුව හොත් දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ නහායමානෙන භික්ඛුනා ථම්හෙ කායො උග්ඝංසෙතබ්බො, යො උග්ඝංසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[3]
මේ සිකපදයෙන් නෑමේදී කය කණුවක ඇතුල්ලුව හොත් දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ නහායමානෙන කුඩ්ඩෙ කායො උග්ඝංසෙතබ්බො, යො උග්ඝංසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[4]
නෑමේදී බිත්තියක කය ඇතිල්ලුව හොත් දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ අට්ඨානෙ නහායිතබ්බං, යො නහායෙය්ය ආපත්ති දුක්කටස්ස.”1
අට්ඨාන නම් කණුවෙහි ඇඟ ගටා නෑමෙන් දුකුළා ඇවැත් වේ. අට්ඨානය මෙකල දක්නට නැත. ලී කොටයක පැත්තක් ලෑල්ලක් සේ මට්ටමට සැස දූපෝරුවක මෙන් එහි දෑතට ඉරි කපා නාන තැන්වල සිටවන ලද කණුවට “අට්ඨානය” යි කියනු ලැබේ. මනුෂ්‍යයෝ එයට සුණු ඉස එහි ඇඟ උලති.
“න භික්ඛවෙ ගන්ධබ්බහත්ථකෙන නහායිතබ්බං, යො නහායෙය්ය ආපත්ති දුක්කටස්ස”1
ගන්ධබ්බහත්ථක යනු නෑමේදී ඇඟ ඉලීම සඳහා වඳුරු අතක් මෙන් ලීයෙන් සාදන උපකරණයෙකි. එයින් ඇඟ උලා නෑව හොත් දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ කුරුවින්දකසුත්තියා නහායිතබ්බං, යො නහායෙය්ය ආපත්ති දුක්කටස්ස.”1
කරුවින්දකසුත්තික නම් උපකරණයක් මෙකල නො දක්නා ලැබේ. කරුවින්දක නම් ගල්වර්ගයක් ඇත. ඒවා සුණු කොට ලාකඩ හා මිශ්‍ර කොට ගුළි කර වැලක අවුනා ඒ වැල දෙකොනින් අල්ලා දෙපැත්තට අදිමින් එයින් පිටේ කුණු ඉවත් කරති. එය පාවිච්චි කිරීමෙන් දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ විගය්හ පරිකම්මං කාරාපෙතබ්බං. යො කාරාපෙය්ය ආපත්ති දුක්කටස්ස.”[5]
ඔවුනොවුන් කයින් කය ගටා කුණු ඉලීම නො කළ යුතුය. කළ හොත් දුකුළා ඇවැත් වේ.
“න භික්ඛවෙ මල්ලකෙන නහායිතබ්බං. යො නහායෙය්ය ආපත්ති දුක්කටස්ස.”1
“මල්ලක” යනු ද මෙකල දක්නට නැති උපකරණයෙකි. එය දැති කැපූ පියුම් කෙමියක ආකාර උපකරණයකැයි කියා තිබේ. එයින් ඇඟ උලා නෑමෙන් දුකුළා ඇවැත් වේ. ඇඹරූ රෙදි වැටියෙන් හෝ අතින් හෝ කුණු උලා නෑ යුතුය. ගල්කැට ගඩොල් කැබලි කැබිලිති යන මේවා පා ඉලීමට සුදුසුය.