“යො පන භික්ඛු සන්නිධිකාරකං ඛාදනීයං වා භෝජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ්ජෙය්‍ය වා පාචිත්තියං.”[1]
යම් මහණෙක් පිළිගෙන රැයක් ඉක්මුණා වූ කෑයුත්තක් හෝ අනුභව කළ යුත්තක් හෝ කෑයේ හෝ අනුභව කෙළේ හෝ වේ නම් පචිති ඇවැත් වේ.
භික්ෂුව විසින් ආහාරපාන පිළිගත යුත්තේ ඒ ඒ දිනයට සෑහෙන පමණට ය. අධිකව පිළිගෙන මතු මතු දිනවල ප්‍රයෝජනයට නො තබා ගත යුතු ය. අද පිළිගත් යාවකාලික යාමකාලික වස්තූන් අද ම අවසන් කළ යුතු ය. පිළිගත් ආහාරපානවලින් වැඩි හරියක් ඇති නම් ඒවා එදින ම අනිකෙකුට හෝ දිය යුතු ය. දීමට කෙනෙකු නැති නම් නිරපේක්ෂකව හළ යුතු ය. පිළිගෙන දිනයක් ඉක්මුණු දෙය “සන්නිධිකාරක” නම් වේ. සන්නිධිකාරක ආහාරයක් හෝ ගිලන්පසක් හෝ පසුදින වැළඳුව පචිති ඇවැත් වේ. තමා පිළිගෙන සාමණේරාදීන්ට නිරපේක්ෂකව දුන් දෙයක් පසු දිනක ඔවුන් තමාට පිළිගන්වන ලද්දේ නම් වැළඳීමෙන් ඇවැත් නැත. පසුදින තමා වළඳනා බලාපොරොත්තුවෙන් සාමණේරාදීන්ට දුන් දෙය ලැබී වැළඳුව ද ඇවැත් වේ. භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස කල් තබා ගත හැකි ටින්වල බෝතල්වල අසුරන ලද කෑම වර්ග පිටි වර්ග හෝ සහල් පොල් ආදිය හෝ දායකයෝ දෙත් නම් භික්ෂූන් විසින් ඒවා නො පිළිගෙන අනුසම්පන්නයන්ට පැවරිය යුතු ය. එසේ පවරන ලද වස්තූන් ඔවුන් ඒ ඒ දිනවලදී පිළිගන්වත හොත් පිළිගෙන වැළඳීම සුදුසු ය. දානපොළවලදී පිළිගෙන වළඳා ඉතිරි වන කල් තබා ගත හැකි ආහාර නිරපේක්ෂකව හැර ආ පසු, අනුපසම්පන්නයකු ඒවා පරෙස්සම් කර තබා පසු දිනක පිළිගැන්වුව හොත් වැළඳීමෙන් ඇවැත් නැත. වළඳන පාත්‍රය හොඳින් සෝදා පිරිසිදු කර තබා ගත යුතු ය. පාත්‍රයේ තැවරී ඉතිරි වී තුබුණ කලින් පිළිගත් ආහාරවලින් ඉතා ස්වල්පයක් වුව ද එදින පිළිගන්නා ආහාරයට මිශ්‍ර වී ගිලුණේ නම් එයින් ද පචිති ඇවැත් වන බව විනය අටුවාවේ දැක්වේ. වැළඳූ පාත්‍රය දෙතුන්වරක් හොඳින් නො සේදුව හොත් දිය වූ ආහාර හා තෙල් එහි තැවරී සිටී. අව්වේ තැබූ කල්හි පාත්‍රයේ තෙල් උණු වී එනවා පෙනෙනවා නම්, ඇඟිල්ල තද කොට ඇතිල්ලූ කල්හි ඉරි පෙනෙනවා නම් ඒ පාත්‍රය පිරිසිදු කරගෙන මිස එහි ආහාර නො වැළඳිය යුතු ය. වැළඳුව ඇවැත් වේ.
-
පාචි - 103 පි. ↑