“යො පන භික්ඛු විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පාචිත්තියං.”[1]
යම් මහණෙක් විකාලයෙහි ඛාද්‍යයක් හෝ භෝජනීයයක් හෝ කෑයේ හෝ අනුභව කෙළේ හෝ වේ නම් පචිති ඇවැත් වේ.
මේ සිකපදයෙහි “ඛාදනීය භෝජනීය” යන වචන දෙකට ආහාර පිණිස ගන්නා සියල්ල අයත් ය. ඒවා අටුවාවෙහි දිගට විස්තර කර ඇත්තේ ය. අරුණෝදයේ පටන් හිරමුදුනට පැමිණීම දක්වා මේ කාලය පැවිද්දන් ආහාර වළඳන කාලය ය. ඉර මුදුනේ පවත්නා වෙලාවත් කාලයට ම අයත් ය. හිර මුදුන පසු කළ තැන් පටන් අරුණෝදය තෙක් කාලය පැවිද්දන් ආහාර නෙ ාගන්නා කාලය යි. ආහාර ගන්නා කාලයට කාලය යි ද නො ගන්නා කාලයට විකාලය යි ද කියනු ලැබේ. ඔරලෝසු නො තිබුණු අතීත කාලයේ වෙලාව දැන ගැනීම සඳහා කාලස්තම්භ පිහිටවා තිබිණි. භික්ෂූහු ඒවායින් හා වෙනත් ලකුණුවලින් කාලය දැන ගත්හ. මෙකල වෙලාව දැන ගැනීමට ඔරලෝසු ඇති බැවින් පහසු ය. ඔරලෝසු පැය ගණනින් දවල් දොළහ වීම කාලයේ අවසානය සැටියට සාමාන්‍යයෙන් සලකති. එය ස්ථිර නැත. සමහර දිනවල දවල් දොළහ වන්නට කලින් ද කාලය ඉක්මිය හැකි ය. සමහර දිනවල දොළහ පසුවී විනාඩි ගණනක් පසුවන තුරුත් කාලය තිබිය හැකි ය. සූර්යෝදය වන වෙලාවත් අස්ත වන වෙලාවත් මඳින් මඳ දිනෙන් දින වෙනස් වේ. ඒවා ඇතැම් පඤ්චාංග ලිත්වල දක්වා තිබේ. ඒ ඒ දිනයේ සූර්‍ය්‍යයා උදාවන වෙලාවට හා අස්ත වන වෙලාවට හරි මැද මජ්ඣන්තික කාලය ය. උදය හය පසු වී විනාඩි විසිතුනකදී හිරු උදාවී සවස සය පසුවී විනාඩි විසිතුනකදී බැස යන දිනයේදී දොළොහ පසුවී විනාඩි විස්සක් වන තෙක් කාලය ඇත්තේය. විකාලය එන්නේ දොළහ පසුවී විනාඩි විසිතුනකිනි. මාර්තු මාසයේ ඒ දිනය පැමිණේ. අලුයම පහ පසුවී විනාඩි ගණනකදී හිරු උදාවන ඇතැම් දිනවල දවල් දොළහ වන්නට විනාඩි කීපයකට කලින් ද විකාලය එළඹේ. හරියට ම කාල විකාල දෙක සොයා ගැනීම අපහසු නිසා දවල් දානය දොළහට විනාඩි පසළොසකට තරම කලින් අවසන් කර ගැනීම යහපති.[2]*
මෙය ප්රඥප්ති වද්‍ය ශික්ෂාපදයක් බැවින් කාලය ඉක්මයාමෙන් පසු කාලය ඇතය යන හැඟීමෙන් වැළඳුව ද පචිති ඇවැත් වේ. නො දැනීම ඇවැත් නො වීමට කරුණු නො වේ. විකාලයෙහි වළඳන අදහසින් ආහාර පිළිගැනීමෙන් දුකුළා ඇවැත් වේ. වළඳන කල්හි ගිලින ගිලින වාරයෙහි පචිති ඇවැත් වේ.
“යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.”[3]
විකාලයෙහි ප්‍රත්‍යයක් ඇති කල්හි වැළඳීමට අනුදැන වදාරා ඇති යාමකාලික සත්තාහකාලිය යාවජීවික වස්තූන් ආහාර පිණිස පිළිගැනීමෙන් දුකුළා ඇවැත් වේ. වළඳන කල්හි ගිලින වාරයක් පාසා දුකුළා ඇවැත් වේ.
“අනාපත්ති යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සතිපච්චයෙ පරිභුඤ්ජති.”[4]
යාමකාලික සත්තාහකාලික යාවජීවිකයන් කරුණක් ඇති කල්හි වැළඳීමෙන් ඇවැත් නො වේ. කරුණක් ඇති කල්හි වැළඳීමෙන් ඇවැත් නැතය යන මෙහි අදහස කරුණක් නැතිව වැළඳුව හොත් ඇවැත් සිදුවන බව ය. පිපාසය ක්ලාන්තය හතියි යනාදි කරුණක් ඇති කල්හි යාමකාලික පානයක් වැළඳීම සුදුසු ය. සත්තාහකාලික යාවජීවික වස්තූන් රෝගයක් ඇති කල්හි වැළඳීම සුදුසු ය. කිසි කරුණක් නැතිව රසවිඳීම පිණිස හෝ අනුන්ගේ ඉල්ලීම ඉටු කරනු පිණිස හෝ වැළඳීම නුසුදුසු ය.