විනය සිකපද තේරුම් ගත හැකිවීම පිණිස භික්ෂූන් විසින් පිළිගෙන වැළඳිය යුතු ආහාරපානාදියේ කාලවිභාගය දැන සිටිය යුතු ය. “යාවකාලිකය, යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය” යි වළඳන්නා වූ වස්තූන් සිවු කොටසකට බෙදා ඇත්තේ ය.
පිළිගෙන එදින (මජ්ඣන්තිකකාලය තෙක්) පෙරවරු කාලයෙහි පමණක් වැළඳීමට සුදුසු වස්තූහු යාවකාලික නම් වෙති. ධාන්‍යවර්ග හා ඒවායින් පිසූ කැඳබත් ද, මස්මාලු එළවලු ව්‍යඤ්ජන ද, නොයෙක් පිටිවර්ගවලින් පිළියෙළ කරන කැවිලි වර්ග ද ආහාරය පිණිස ගන්නා පොල් කොස් දෙල් ගස්ලබු කෙසෙල් බෙලි දිවුල් දොඩම් නාරන් ආදි ඵලවර්ග ද, ආහාරය පිණිස ගන්නා අල කොළ කඳන් කරටි මල් ආදිය හා ඒවායින් තනන නොයෙක් ආකාර කෑම ද, බිත්තර කිරි දී යන මේ සියල්ල යාවකාලික වස්තුය. කොටින් කියත හොත් සත්තාහකාලික වශයෙන් විශේෂයෙන් නියම කර ඇති වස්තූන් හැර ආහාර පිණිස ගන්නා සියල්ල ම යාවකාලික වස්තු ය. යාවකාලිකයේ ලක්ෂණය ආහාර පිණිස ගන්නා බව ය.
පිළිගෙන එදින රාත්‍රියේ පශ්චිමයාමය තෙක් තබාගෙන වැළඳීමට සුදුසු පානවර්ගයෝ යාමකාලික නම් වෙති.
“අනුජානාමි භික්ඛවෙ අට්ඨපානානි, අම්බපානං ජම්බුපානං වොචපානං මොචපානං මධුපානං මුද්දිකපානං සාලුකපානං ඵාරුසකපානං.”[1]
යනුවෙන් අනුදන්නා ලද අෂ්ටපානය ද, ඒවාට අනුලෝම වන දෙහි දොඩම් සියඹලා බෙලි දෙළුම් ආදි කුඩා ඵලවලින් ඇල්දියෙන් සාදන ලද පානය ද යාමකාලික ය. අව්වෙන් පැසවා ගන්නා ලද්දේ ද යාමකාලික වේ. ගින්නේ පැසවා ගන්නා ලද්දේ නම් යාවකාලිකයට අයත් වේ. විකාලයේ වැළඳීමට සුදුසු නො වේ.
“අනුජානාමි භික්ඛවෙ සබ්බං ඵලරසං ඨපෙත්වා ධඤ්ඤඵලරසං.”[2]
යනුවෙන් වදාරා ඇති පරිදි ධාන්‍යඵලයන්ගේ හා ඒවාට අනුලොම් වන මහාඵලයන්ගේ ද රසය හැර සිසිල් දියෙන් හෝ හිරු රැසින් රත් කිරීමෙන් හෝ පිළියෙළ කළ සියලු ඵලරසය ද යාමකාලික ය.
“අනුජානාමි භික්ඛවෙ සබ්බං පත්තරසං ඨපෙත්වා ඩාකරසං.”[3]
යි වදාළ පරිදි තැම්බූ කොළවල රසය හැර සිසිල් දියෙන් සාදන ලද හෝ හිරුරැසින් රත් කරන ලද හෝ පානය ද යාමකාලික ය.
“අනුජානාමි භික්ඛවෙ සබ්බං පුප්ඵරසං ඨපෙත්වා මධුකපුප්ඵරසං.”1
යනුවෙන් අනුදැන වදාරා ඇති මීමල්රසය හැර සිසිල් දියෙන් පිළියෙළ කරන ලද්දා වූ මල්රස පානයත් හිරුරැසින් රත් කර තැනූ පානයත් යාමකාලික ය. මීමල්රසය මද්‍ය වර්ගයක් වන බැවින් ප්‍රතික්ෂේප කර තිබේ.
යාවජීවික පත්‍රයන්ගේ රසය පිරිසිදු ජලයෙන් පැසවා ගත් පානය යාවජීවිකය. එයට සත්කාහකාලික වූ සකුරු මිශ්‍ර කළ හොත් සත් දිනක් කැපය. “අනුජානාමි භික්ඛවෙ උච්ඡුරසං”1 යි ද වදාරා ඇති බැවින් පිරිසිදු උක්පැණි ද විකාලයෙහි කැප ය. එය සත්තාහකාලිකයට අයත් ය.
ගිතෙල් ය, වෙඬරුය, තලතෙල් පොල්තෙල් ආදි සියලු තෙල්ය, මීපැණිය, උක් සකුරුය යන මේවා සත්තාහකාලික වස්තූහුය. වරක් පිළිගෙන සත් දිනක් ම තබා ගෙන කාලයෙහි වුව ද විකාලයෙහි වුව ද ඒවා පරිභෝග කළ හැකි ය. කාලයෙහි යාවකාලික වස්තූන් හා මිශ්‍රකොට වැළඳීම සුදුසු වන්නේ කාලයෙහි පිළිගත් ගිතෙල් ආදිය පමණෙකි. ඊයේ පිළිගත් ගිතෙල් ආදිය අද පිළිගත් ආහාරවලට මිශ්‍ර කොට නො වැළඳිය යුතුය. සකුරු, සීනි, සූකිරි යන මේවාත් සත්තාහකාලිකයට ම අයත් ය.
යාවකාලික යාමකාලික සත්තාහකාලික වස්තූන්ට අයත් නො වන බෙහෙත් පිණිස ගන්නා සියල්ල යාවජීවික ය. යාවජීවික වස්තූ පිළිගෙන තබා කරුණක් ඇත හොත් කාලයෙහිත් විකාලයෙහිත් ආදි කෙළවර තෙක් පරිභෝග කළ හැකිය.
ඉඟුරු, කහ, සුදුලූනු, වදකහ, අරත්ත; සැවැන්දරා, කලාඳුරු, කටුකරෝසන, අතිවිඩයන්, සුළුපස්මුල්, මහපස්මුල් ආදි සියලු බෙහෙත් මුල් ද, වලඟසාල්, ගම්මිරිස්, කොත්තමල්ලි, අබ, සුළුදුරු, මාදුරු, කළුදුරු, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි ආදි බෙහෙත් පිණිස ගන්නා ඵලජාති ද, කපු, කොහොඹ, දුම්මෑල්ල, නික, බටු, ආඩතෝඩා, දෙහි, යකිනාරන් ආදි පලාකොළ නො වන බෙහෙත් කොළ ජාති ද, කොසඹ පොතු, මාදන් පොතු, තොටිල පොතු ආදි පොතු ද ඉඹුල් මැලියම් ආදි මැලියම් ද, දුම්මල ද, ලුණු ජාති ද, ලොහො ජාති ද, ගින්නෙන් දැවු මත්ස්‍ය මාංසාදියේ අළු අඟුරු ද, ඉටි වර්ග ද, ගල් වර්ග ද, ධාතු වර්ග ද යන මේ සියල්ල යාවජීවික ය. යාවකාලිකය කාලයෙහි ම කැප ය. ඉතිරි තුන විකාලයෙහි ද කැප ය.