“න භික්ඛවෙ අන්තොවුත්ථං අන්තොපක්කං සාමං පක්කං උග්ගහිතපටිග්ගහිතකං පරිභුඤ්ජිතබ්බං, යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]
මහණෙනි, අන්තෝවුත්ථය ද අන්තෝපාකය ද සාමංපාකය ද උග්ගහිතපටිග්ගහිතය ද නො වැළඳිය යුතුය. යමෙක් වැළඳුව හොත් ඔහුට දුකුළා ඇවැත් වේ.
“අන්තෝවුත්ථ” යනු සංඝයාට හෝ භික්ෂුවකට හෝ අයත් සහසෙය්‍යාපත්තිය සිදුවීමට ප්‍රමාණවත් වූ වාසය කිරීම සඳහා කළ කුටියක එක් රැයක් තබන ලද සංඝයාට හෝ භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ අයත් දෙය ය. “අන්තෝපක්ක” යනු එවැනි කුටියක පිසින ලද දෙයය. “සයංපාක” යනු භික්ෂුවක් තමා විසින්ම පිසන ලද දෙයය. “උග්ගහිතපටිග්ගහිත” යනු භික්ෂුවක් විසින් පිළිගැනීමක් නැතිව සියතින් ගෙන පසුව අනුපසම්පන්නයකු ලවා පිළිගන්වා ගත් දෙය ය.
සංඝයාට හෝ භික්ෂුවකට භික්ෂුණියකට පෞද්ගලික වශයෙන් හෝ අයත් සහසෙය්‍යාපත්තිය සිදුවීමට ප්‍රමාණවත් ලෙස වාසය කරනු පිණිස තනා ඇති කුටිය අකප්පිය භූමි නම් වේ. ගිහියන්ට අයත් ගෙවල් අකප්පිය භූමි නො වේ. සංඝයාට අයත් වූ ද භික්ෂූන්ට පෞද්ගලික වශයෙන් අයත් වූ ද කුටි කප්පිය භූමි කර ගත හැකිය. එහි ක්‍රමය විනයකර්ම පොතේ[2] දක්වා ඇත. සාංඝික වූ හෝ භික්ෂුවකට පෞද්ගලක වූ හෝ යාවකාලික යාමකාලික වස්තුවක් අකප්පිය කුටියෙහි එක් රැයක් වුව ද තිබී පිළිගෙන වැළඳුව හොත් දුකුළා ඇවැත් වේ. තමා ම ගෙන වැළඳුව හොත් දුකුළා ඇවතක් හා පචිති ඇවතක් වේ. අකප්පිය කුටියේ තුබූ සත්තාහකාලික යාවජීවක වස්තූන් වැළඳීමෙන් ඇවැත් නො වේ. අනුපසම්පන්නයකුට අයත් දෙයක් අකප්පිය කුටියේ තබා පසුදින භික්ෂූන්ට පිළිගැන්වුව හොත් වැළඳීමෙන් ඇවැත් නැත. අකප්පිය කුටියේ පිසූ අනුපසම්පන්නයන් අයත් දෙය ලැබී වැළඳුව ද ඇවැත් නො වේ. උපසම්පන්නයන්ට අයත් සහල් ආදියක් අකප්පිය කුටියේ පිස වැළඳුව හොත් ඇවැත් වේ. භික්ෂුවක් කොතැනක හෝ තමා විසින් පිස වැළඳුව හොත් දුකුළා ඇවැත් වේ. විහාරස්ථානයක කප්පිය කුටියක් නැතිවුව හොත් නිතර ඇවැත් සිදු විය හැකිය. ඒ නිසා ගෙයක් කප්පිය කුටියක් වශයෙන් විනයානුකූලව සම්මත කර ගත යුතු ය. කප්පිය කුටියක් සම්මත කර ගන්නා ආකාරය විනයකර්මපොතෙන්[3] දත හැකි ය.