“යානි ඛො පන තානි පණීතභොජනානි. සෙය්යථිදං, සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං මච්ඡො මංසං ඛීරං දධි, යො පන භික්ඛු එවරූපානි පණීතභොජනානි අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්ය පාචිත්තියං.”[1]
යම් මහණෙක් නොගිලන් වූයේ ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මීපැණි ය සකුරු ය මාලුය මස් ය කිරි ය දී ය යන මේවා මිශ්ර කළ ප්රණීත භෝජන තමාගේ ප්රයෝජනය පිණිස ඉල්ලා වළඳා නම් පචිති ඇවැත් වේ.
මෙහි ප්රණීත භෝජනය යි කියනුයේ ගිතෙල් ආදි ප්රණීත ජාති නවය අතුරෙන් කවරක් හෝ මිශ්ර කළ සප්තධ්යානයන් අතුරෙන් යම්කිසි ධාන්යයකින් පිසූ භෝජනය ය. මෙහි නො ගිලන් භික්ෂුවය යි කියනුයේ ප්රණීත භෝජනයක් නො ලැබුව ද යම් කිසි අපහසුවක් නැති භික්ෂුව ය. ගිලන් භික්ෂුවය කියනුයේ ප්රණීත භෝජනය නො ලැබෙත හොත් අපහසු භික්ෂුව ය.
නො ගිලන් භික්ෂුව, නෑයකු හෝ ඉල්ලන ලෙස පැවරූ කෙනකු හෝ නො වන ගිහියකුගෙන් ගිතෙල් හා බත් දෙන්නය කියා හෝ ගිතෙල් වත්කර බත් දෙන්නය කියා හෝ ගිතෙල් මිශ්ර බත් දෙන්නය කියා හෝ ගිතෙල් සමඟ බත් දෙන්නය කියා හෝ ගිතෙලුත් බතුත් දෙන්නය කියා හෝ ඉල්ලයි නම් ඉල්ලීමේදී දුකුළා ඇවැත් වේ. පිළිගැනීමේදී ද දුකුළා ඇවැත් වේ. ගිලින වාරයක් පාසා පචිති ඇවැත් වේ. වෙඬරු ආදිය සම්බන්ධයෙන් ද කියන ලද පරිද්දෙන් ආපත්ති විභාගය සලකා ගත යුතු ය. ගිතෙල් හා බත් ඉල්වූ කල්හි දායකය වෙත ගිතෙල් නො තිබී බත් දී මේවායින් ගිතෙල් සාදාගන්නය යි කිරි හෝ වෙඬරු දුන්නේ ද ගිතෙල් දුන්නේ වේ. භික්ෂුවට ඒවායින් ද පළමු කී පරිදි ම ඇවැත් වේ. එළඟිතෙල් හා බත ඉල්ලූ කල්හි එළුකිරෙන් ගත් තෙල් දුන්නේ නම් එය පිළිගත ද ඉල්ලූ දෙයින් අනිකක් ලද බැවින් ඇවැත් නො වේ. යම් නො ගිලන් භික්ෂුවක් ශුද්ධ ගිතෙල් ආදිය ඉල්ලා නම් ඔහුට ඇවැත් වීම මහානාම සිකපදය අනුව කිය යුතුය. මහානාම සිකපදය ඉදිරියෙහි දක්වමු. මස්, මාලු, කිරි, දී යන මේවා ඉල්ලීම පිළිබඳව “න සූපං වා ඔදනං වා අගිලානෙ අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා”[2] යන සිකපදය අනුව ඇවැත් කිය යුතුය.
යම් භික්ෂුවක් ගිතෙල් ආදි ප්රණීත වස්තු නවයෙන් ම යුක්ත භෝජන එක් තැනකින් හෝ නොයෙක් තැන් වලින් හෝ ඉල්ලා සියල්ල මිශ්ර කොට එයින් එක් පිඩක් වැළඳුව හොත් එකවර ම පචිති ඇවැත් නවයක් වේ.