ප්‍ර‍ථම පවාරණ ශික්ෂාපදය.

“යො පන භික්ඛු භුත්තාවී පවාරිතො අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ්ජෙය්‍ය වා පාචිත්තියං.”[1]

යම් මහණෙක් ආහාර වළඳමින් සිටියේ පවාරණය කෙළේ අනතිරික්ත ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ කන්නේ හෝ අනුභව කරන්නේ හෝ වේ නම් ඒ මහණහට පචිති ඇවැත් වේ.

“පවාරණ” යන වචනය ප්‍ර‍තික්ෂේප කිරීමය, ආරාධනා කිරීමය යන අර්ථ දෙක ම කියැවෙන වචනයෙකි. “සංඝ භන්තෙ පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා” යනාදීන්හි පවාරණ යනුවෙන් කියැවෙන්නේ ආරාධනා කිරීමය. මේ සිකපදයෙහි “පවාරිතො” යන වචනයෙන් කියැවෙන්නේ ප්‍ර‍තික්ෂේපය ය. මේ සිකපදයෙහි අදහස් කරන පවාරණය භික්ෂුවක් විසින් ඕදන කුම්මාස සත්තු මච්ඡ මංස යන පඤ්චවිධ භෝජනයන් අතුරෙන් යම් කිසි භෝජනයක් වළඳමින් සිටිනා අතර අනිකකු අත්පසේ සිට ඒ භෝජනයන් අතුරෙන් යම් කිසි භෝජනයක් භික්ෂුවට පිළිගන්වන කල්හි එය ප්‍ර‍තික්ෂේප කිරීම ය.

පඤ්චවිධ භෝජනයන් අතුරෙන් “ඔදන” යනු සාලි වීහි යව ගෝධුම කංගු වරක කුද්‍රෘසක යන සප්තධාන්‍යයන්ගේ හා අනුලෝම ධාන්‍යයන්ගේ ද සහල්වලින් පිසූ බත ය. ඒවායින් පිසූ කැඳ වුව ද ගත් තැන පෙනෙන තරමට උකු නම් භෝජනයට ම අයත් වේ. පවාරණයට වස්තු වේ. “කුම්මාස” යනු යවයෙන් හෙවත් ඉරිඟුවලින් සාදන රොටි හෝ එවැනි කෑම ජාතියකි. “සත්තු” යනු බැදපු පිටි ය. “මච්ඡ” යනු දිය මස් ය. “මංස” යනු ගොඩ මස් ය.

වළඳමින් සිටිය දී අත්පසට පැමිණ පිළිගන්වන භෝජනය ප්‍ර‍තික්ෂේප කළ භික්ෂුව ඒ ඉරියව් වෙනස් කිරීමෙන් පසු අතිරික්ත නො වූ යාවකාලික ආහාරයක් වැළඳුව හොත් පචිති ඇවැත් වේ. කුල දූෂණාදියෙන් උපන් අකප්පියි භෝජන හා අකප්පිය මස් ද පඤ්චවිධ භෝජනයන්ට අයත් නො වූ කැඳ අල පලතුරු කොළ පොතු කරටි ආදිය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් පවාරණය නො වේ.

පවාරණය සිදුවන්නේ පඤ්චාංගයක් සම්පූර්ණ වීමෙනි. එක් බත්හුලක් වුව ද ගිල ඇති බව, ඉදිරියට වැළඳීමට ඔහුගේ මුඛයෙහි හෝ අතෙහි හෝ පාත්‍රයෙහි හෝ තවත් ආහාර තිබීම, පඤ්ච භෝජනයට අයත් යම් කිසි ආහාරයක් දායකයා විසින් එළවීම, ඔහු භික්ෂුවගේ අත්පස සිටීම, භික්ෂුව විසින් කයින් හෝ වචනයෙන් හෝ එය ප්‍ර‍තික්ෂේප කිරීම ඒ පඤ්චාංගය ය.

ආහාර වැළඳීම ආරම්භ කළ පසු භික්ෂුව එක් බත්හුලකුදු ගිලීමෙන් ඔහු වෙත කටෙහි හෝ අතෙහි හෝ වළඳන භාජනයෙහි හෝ ආහාර ස්වල්පයකුදු ඇත්තේ නම් ඔහු වැළඳීම අවසන් නො කළ කෙනෙකි. එසේ සිට දායකයා පිළිගන්වන භෝජනය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් පවාරණය වේ. භික්ෂුවගේ මුඛයෙහි හෝ අතෙහි කිසි ආහාරයක් නැතිව පාත්‍රයෙහි පමණක් ආහාර ඇති කල්හි ඔහු එය අන්තැනකට ගොස් වැළඳීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පාත්‍රයේ ආහාර අනිකකුට දීමට හෝ ඉවත ලීමට හෝ බලාපොරොත්තු වේ නම් ඒ කාලය තුළදී ප්‍ර‍තික්ෂේප කිරීමෙන් පවාරණය නො වේ. භික්ෂූන්ට පිළිගැන්වීම නො දත් ඇතැම් ගිහියෝ ආහාරතැටි ආහාරපිඟන් ගෙනවුත් ගිහියන්ට කෑම අල්ලන්නාක් මෙන් භික්ෂුව ඉදිරියේ කෑම භාජනය අල්ලා ගෙන බලා සිටිති. ඒවා ප්‍ර‍තික්ෂේප කිරීමෙන් පවාරණය නො වේ. පවාරණය වන්නේ දායකයා විසින් භික්ෂුවගේ අතට හෝ පාත්‍ර‍යට එළවන කල්හි ප්‍ර‍තික්ෂේප කිරීමෙන් ය. එළවීමය කියනුයේ බෙදන්නට හෝ දෙන්නට ළං කිරීම ය. ඇතැම්හු භික්ෂුවට ළං වීම වරදකැයි සිතා හැකිතරම් භික්ෂුවට දුරින් සිට පිළිගන්වන්නට බෙදන්නට තැත් කරති. දුර සිට පිළිගන්වන ඒවා ගැනීමෙන් දන්තපෝන සිකපදයෙන් ඇවැත් වේ. එබැවින් අත්පසට නො පැමිණ දුර සිට දෙන දේ ප්‍ර‍තික්ෂේප කිරීමෙන් ද පවාරණය නො වේ. පිළිගන්වන භෝජනය කයින් හෝ වචනයෙන් හෝ ප්‍ර‍තික්ෂේප කළ හොත් පවාරණය වේ. දායකයා පිළිවෙළින් බෙදමින් එන විට භික්ෂුව තමා ළඟට දායකයා පැමිණීමට කලින් ම අතින් පාත්‍ර‍ය වසාගෙන සිටිනා කල්හි දායකයා නො බෙදා ගිය ද පවාරණය නො වේ.

මෙසේ පවාරණය කළ භික්ෂුවට පවාරණය කළ ඉරියව්වෙන් ම සිට කැමති තාක් කල් ආහාර වැළඳීමට අවසර ඇත. ඉරියව්ව වෙනස් කළ පසු අනතිරිත්ත භෝජනයක් වැළඳුව ඇවැත් වේ. හිඳගෙන පවාරණය කළ භික්ෂුවට ඒ ස්ථානයේ හිඳිනාතුරු වැළඳීමෙන් ඇවැත් නැත. නැගිටීමෙන් පසු අනතිරික්ත භෝජනයක් වැළඳුව ඇවැත් වේ. දීර්ඝාසනයක වාඩිවී පවාරණය කළ භික්ෂුව ඒ ඉරියව්වෙන් ම එහා මෙහා වී තැන වෙනස් කළ ද ඉන්පසු වැළඳීමෙන් ඇවැත් වේ.

සිටගෙන හෝ යමින් ඇල්වතුර ටිකක් වුව ද බීම වරදක් ලෙස විනය නො දත්තෝ සිතති. විනය නො දත් ඇතැම් භික්ෂූහු ඇවතට බියෙන් ඇල්දිය ටිකක් වුව වාඩි වී බොති. විනය නො දත් ගිහියෝ ද භික්ෂුවක් සිටගෙන වතුර ටිකක් වුව ද බොනු දුට හොත් සිල් නැති භික්ෂුවකැයි ඒ භික්ෂුවට ගර්හා කරති. විනයෙහි නම්සිටගෙන නො වැළඳිය යුතුය යමින් නො වැළඳිය යුතුය කියා සිකපද නැත. යම් භික්ෂුවක් සිටගෙන පවාරණය කෙළේ නම් ඒ භික්ෂුවට සිටි තැන සිටගෙන ම කැමති තාක් කල් වැළඳිය හැකි ය. වාඩිවී වැළඳුව ඇවැත් වේ. යමින් පවාරණය කළ භික්ෂුවට නො නැවතී යමින් කැමති තාක් වැළඳිය හැකිය. යන ඉදිරියට වැටක් හෝ ගඟක් හෝ හසුවී යා නොහී නැවතුන හොත් ඉන්පසු වැළඳුව හොත් ඇවැත් වේ. මේ කරුණු සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි මෙසේ දක්වා ඇත්තේය.

“යො පන ගච්ඡන්තො පවාරෙති, සො ගච්ඡන්තොව භුඤ්ජිතුං ලභති, කද්දමං වා උදකං වා පත්වා ඨිතෙන අතිරිත්තං කාරෙතබ්බං, සචෙ අන්තරා නදී පූරා හොති, නදීතීරෙ ගුම්බං අනුපරියායන්තෙන භුඤ්ජිතබ්බං. අථ නාවා වා සෙතු වා අත්ථි තං අභිරුහිත්වා‘ පි චංකමන්තෙනෙව භුඤ්ජිතබ්බං. අථ නාවා වා සෙතු වා අත්ථි තං අභිරුහිත්වා පි චංකමන්තෙනෙව භුඤ්ජිතබ්බං. ගමනං න උපච්ඡින්දිතබ්බං.”[2]

  1. පාචි - 98 පි.

  2. ස.පා. 610 පි.