“ඕමසවාදෙ පාචිත්තියං.”[1]
අසන්නහුගේ සිතෙහි හැණෙන වචන කීමෙන් පචිති වේ.
උපසම්පන්නයෙක් උපසම්පන්නයකුට රිදවීම පිණිස ජාතිය නාමය ගෝත්‍රය කර්මය ශිල්පය ආබාධය ලිංගය ක්ලේශය ආපත්තිය ආක්‍රෝශය යන දශාක්‍රෝශ වස්තූන් ගෙන ආක්‍රෝශ කෙරේ නම් පචිති වේ. මේ සිකපදයෙන් පාචිත්ති දුක්කට දුබ්භාසිත යන ඇවැත් තුන ම වේ.
හීනජාති උත්කෘෂ්ටජාති වශයෙන් ජාති දෙවර්ගයකි. චණ්ඩාල වේණ නේසාද රථකාර පුක්කුස යන මේවා හීනජාතිය යිද, ක්ෂත්‍රිය බ්‍රාහ්ම ජාති උත්කෘෂ්ට ජාතිය යි ද විනය පාළියෙහි දක්වා ඇත්තේ ය. චණ්ඩාලාදි හීනජාති ඇති උපසම්පන්නයකුට රිදවීමේ අදහසින් චණ්ඩාලයෙක වැද්දෙක කෙවුලෙක යනාදීන් කියා නම් වචනයක් පාසා පචිති වේ. ක්ෂත්‍රියාදි උසස් ජාති ඇති උපසම්පන්නයකුට නුඹ චණ්ඩාලයෙක යනාදීන් කියා නම් වචනයක් පාසා පචිති ඇවැත් වේ. ක්ෂත්‍රියයකුට චණ්ඩාලයෙකැයි කීම බොරුවක් වුව ද රැවටීමේ අදහසින් තොරව රිදවීමේ අදහසින් කීමෙහි දී ඕමසවාද ශික්ෂාපදයෙන් මිස මුසාවාද ශික්ෂාපදයෙන් ඇවැත් නො වේ. හීනජාති ඇති උපසම්පන්නයකුට රිදවනු කමැත්තෙන් ඔබ ක්ෂත්‍රියෙක බ්‍රාහ්මණයෙකැයි කියා නම් එයින් ද පචිති වේ. උසස් ජාති ඇති උපසම්පන්නයකුට රිදවනු කැමැත්තෙන් ඔබ ක්ෂත්‍රියයෙකු බ්‍රාහ්මණයෙකැයි කියා නම් එයින් ද පචිති වේ.
උපසම්පන්නයකුට රිදවනු පිණිස කෙළින් ම චණ්ඩාලයෙක යනාදීන් නො කියා මෙහි චණ්ඩාලයෝත් ඇත යනාදීන් අනියමින් කීමෙන් දුකුළා ඇවැත් වේ. උපසම්පන්නයකුට රිදවනු පිණිස අනියමින් මේ මේ දේ කරන අය චණ්ඩාලයෝ නොවෙත් ද යනාදීන් කීමෙන් ද දුකුළා ඇවැත් වේ. උපසම්පන්නයකුට රිදවනු පිණිස අපි චණ්ඩාලයෝ නො වෙමුය, වැද්දෝ නො වෙමුය යනාදීන් කීමෙන් ද දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්නයන්ට ආක්‍රෝශ කිරීමෙන් ද දුකුළා ඇවැත් වේ. රිදවීමේ අදහසින් තොරව චණ්ඩාලාදි ජාති ඇති උපසම්පන්නයකුට පීඩා කිරීමේ අදහසින් චණ්ඩාලයෙක යනාදීන් කීමෙන් දුබ්භාසිතාපත්ති වේ. අනුපසම්පන්නයකුට කීමෙන් ද දුබ්භාසිතාපත්ති වේ. නාම ගොත්ත කම්ම සිප්ප ආබාධ ලිංග කිලේස ආපත්ති යන ආක්‍රෝශ වස්තූන් ගෙන ආක්‍රෝශ කිරීම කියන ලද ක්‍රමය අනුව සලකා ගත යුතුය. විනය පාළියෙහි ඒ සියල්ල ද එකින් එක විස්තර කර ඇත්තේ ය. දීර්ඝවීමෙන් පොත මහත්වන බැවින් මෙහි ඒවා නො දක්වමු.
ආක්‍රෝශය ද හීනෝත්කෘෂ්ට වශයෙන් දෙයාකාර වේ. බල්ලා ගොනා මීහරකා ඌරා කොටියා පව්කාරයා යනාදියත්, යකාරාදි නො මනා අකුරු යොදා කථා කිරීමත් හීනාක්‍රෝශය ය. සීලවන්තයා, පණ්ඩිතයා, වීරයා, කථිකයා, පින්වන්තයා, වාසනාවන්තයා යනාදිය උත්කෘෂ්ටාක්‍රෝශය ය. යකාරාදිය යොදා ආක්‍රෝශ කිරීම යනු අනුන්ගේ තත්ත්වය පහත් කරනු සඳහා රයිගමයා, ගම්පොළයා, ජිනරතනයා, ගුණානන්දයා, ගුණසිරියා, ආනන්දයා, රාහුලයා යනාදීන් කථා කිරීම ය. පෙර කළ පව්කම් නිසා නුඹ දැන් චණ්ඩාලයකු වී ඇත. පව්කම් කළ හොත් මතු ද එසේ ම විය හැකි ය - යනාදීන් අනුශාසනයක් වශයෙන් කීමෙන් ඇවැත් නො වේ. වරද කළ අයට අනුශාසනා කිරීමේදී සිත වහා පෙරළෙන බැවින් අතර අතඅර කෝපය ඇති වී චණ්ඩාලයෙක යනාදීන් කිව ද ඇවැත් නො වේ.
-
පාචි - 8 පි. ↑