“භික්ඛු පෙසුඤ්ඤෙ පාචිත්තියං.”[1]
භික්ෂූන්ට කේලාම් කීමෙන් පචිති වේ.
කේලාම් කීමය යනු තමා ප්‍රිය පුද්ගලයකු වීමේ අදහසින් හෝ දෙදෙනකු භේද කිරීමේ අදහසින් හෝ එකකු කී දෙයක් අනිකකුට කීමය. එය ඕමසවාද සිකපද විස්තරයේ දැක්වූ ජාතිනාමාදි දශාකාරයෙන් සිදු වේ. අසවල් භික්ෂුව ඔබ වහන්සේ චණ්ඩාලයෙකැයි කීය යි කීම ජාති වශයෙන් කේලාම් කීමය. අසවල් භික්ෂුව ඔබ වහන්සේට නො මනා - කැත නම් කියන්නේය යි කීම නාම වශයෙන් කේලාම් කීමය. අසවල් භික්ෂුව “ඔබ වහන්සේ අසවල් ගෝත්‍රයේය යි කියන්නේය යි කීම ගෝත්‍ර වශයෙන් කේලාම් කීමය. එක් භික්ෂුවකට අන්‍ය භික්ෂුවක් ජාත්‍යාදියෙන් ගටා කී නො මනා බසක් අසා එය තමා ප්‍රියයකු වීමේ අදහසින් හෝ ඒ භික්ෂූන් දෙදෙන භේද කිරීමේ අදහසින් හෝ ඒ භික්ෂුවට කීයේ නම් පචිති ඇවැත් වේ. භික්ෂුවක් අනියමින් කී දෙයක් අසා අසවල් භික්ෂුව මෙහි චණ්ඩාලයකු අතැයි කීයේ ය. ඒ කීයේ ඔබ වහන්සේට යනු ඇතැයි කීමෙන් දුකුළා ඇවැත් වේ.
භික්ෂුවක් භික්ෂුවක් ගැන භික්ෂුවක් විසින් කී දෙයක් ඒ භික්ෂුවට කේලාම් වශයෙන් කියන කල්හි වචනයක් පාසා පචිති ඇවැත් වේ.
උපසම්පන්නයකු උපසම්පන්නයකුගේ කීමක් අසා එය කේලාම් වශයෙන් අනුපසම්පන්නයකුට කියතහොත් වචනයක් පාසා දුකුළා ඇවැත් වේ.
උපසම්පන්නයකු අනුපසම්පන්නයකුගේ කීමක් අසා කේලාම් වශයෙන් උපසම්පන්නයකුට කීමෙහි ද වචනයක් පාසා දුකුළා ඇවැත් වේ.
උපසම්පන්නයෙක් අනුපසම්පන්නයකුගේ කීමක් කේලාම් වශයෙන් අනුපසම්පන්නයකුට කියා නම් වචනයක් පාසා දුකුළා ඇවැත් වේ.
තමා ප්‍රියයකු වීමේ අදහසින් තොරව අන්‍යයන් භේද කිරීමේ අදහසින් තොරව යම්කිසි කරුණක් නිසා එකකු කී දෙයක් අනිකකුට කීමෙන් ඇවැත් නො වේ.
-
පාචි - 20 පි. ↑