“යො පන භික්ඛු භික්ඛුස්ස දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙය්‍ය අඤ්ඤත්‍ර භික්ඛු සම්මුතියා පාචිත්තියං.”[1]
යම් මහණෙක් භික්ෂුවකගේ දුට්ඨුල්ලාපත්තියක් භික්ෂු සම්මුතියක් නැතිව අනුපසම්පන්නයකුට ආරෝචනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
දුට්ඨුල්ලාපත්ති යනු පාරාජිකා සංඝාදිසේස යන ඇවැත් දෙකොටසට ම නමෙකි. මේ ඇවත පනවා ඇත්තේ සංඝාදිසේසාපත්ති ගැන පමණෙකි. උපසම්පන්නයකු අසවල් භික්ෂුව මෙනම් වරද කොට සංඝාදිසේසාපත්තියට පැමිණ ඇතැයි අනුපසම්පන්නයකුට කියුව හොත් පචිති ඇවැත් වේ. ඇවත නො කියා අසවල් භික්ෂුව මෙනම් දෙයක් කළේය යි කිව ඇවැත් නො වේ. වරද නො කියා අසවල් භික්ෂුව සංඝාදිසේසාපත්තියට පැමිණ ඇතැයි කිව ද ඇවැත් නො වේ. අසවල් භික්ෂුව ශුක්‍රමෝචනය කොට සංඝාදිසේසාපත්තියට පැමිණ ඇතැයි වස්තු ආපත්ති දෙක ම ගෙන අනුපසම්පන්නයකුට කියුව හොත් පචිති වේ.
භික්ඛු සම්මුතියෙන් දුට්ඨුල්ලාපත්තිය අනුපසම්පන්නයන්ට ආරෝචනය කිරීමට අනුදැනීම භික්ෂුවට නින්දා කිරීම පිණිස හෝ ශාසනයෙහි පිහිටක් නැති වී යාමට හෝ කරන ලද්දක් නොව නිතර ඇවතට පැමිණෙන භික්ෂූන් හික්මවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් නියම කරන ලද්දකි. අනුපසම්පන්නයන්ට ආපත්ති ආරෝචනය කිරීමේ සම්මුතිය දීමේ කර්මවාක්‍යයක් නො දක්නා ලැබේ. යම් භික්ෂුවක් නිතර ගරුකාපත්තියට පැමිණේ නම් ඒ භික්ෂුව ගිහියන්ට ඒ බව ආරෝචනය කිරීමෙන් ලජ්ජා වී මතු හික්මෙනු ඇතය යි සලකා ඒ භික්ෂුවගේ යහපත පිණිස තුන්වරක් ම අපලෝකනය කොට සංඝයාවිසින් කෙනකු සම්මත කළයුතු බව අටුවාවෙහි දක්වා ඇත. දුට්ඨුල්ලාපත්ති හැර ලහුකාපත්තින් අනුපසම්පන්නයන්ට කීමෙන් දුකුළා ඇවැත් වේ.
“යථා ඛො පනානන්ද එතරහි භික්ඛු අඤ්ඤමඤ්ඤං ආවුසො වාදෙන සමුදාචරන්ති, න ඛො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං. ථෙරෙන ආනන්ද භික්ඛුනා නවකතරො භික්ඛු නාමෙන වා ගොත්තෙන වා ආවුසොවාදෙන වා සමුදාචරිතබ්බො. නවකතරෙන භික්ඛුනා ථෙරොභික්ඛු භන්තෙති වා ආයස්මාති වා සමුදාචරිතබ්බො.”[2]
ආනන්දය, දැන් භික්ෂූහු ඔවුනොවුන්ට “ආවුසෝ” යන වචනයෙන් කථා කරන්නාහ. මාගේ ඇවෑමෙන් භික්ෂූන් එසේ කථා නො කළ යුතුය. ආනන්දය, ස්ථවිරභික්ෂුව විසින් නවකභික්ෂුවට නමින් හෝ ගෝත්‍රයෙන් හෝ “ආවුසෝ” යන වචනයෙන් හෝ කථා කළ යුතුය. නවක භික්ෂුව විසින් ස්ථවිර භික්ෂුවට “භන්තේ” යන වචනයෙන් හෝ “ආයස්මා” යන වචනයෙන් හෝ කථා කළ යුතුය.
මෙය තථාගතයන් වහන්සේ විසින් පිරිනිවන් පාන දිනයෙහි පිරිනිවන් මඤ්චකයේ සැතපී ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාරන ලද්දකි. මෙය සිකපදයක් නො වතුදු සිකපදයක් සේ ම ගරු කළ යුතු කරුණෙකි. ආවුසෝ, ආයස්මා යන මේ වචන ප්‍රිය වචනය. භන්තේ යනු ගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීමේදී යෙදෙන වචනයෙකි. “ආවුසො” යනු ආමන්ත්‍රණය කිරීම පිණිස නඟන හඬෙකි. එහි අර්ථයක් නැත. එබඳු අර්ථ විරහිත වචන අන්බසකට නො නැඟිය හැකිය. එහෙත් ඒ වචනයට ඇවත කියා ද ඇවැත්නි කියා ද සිංහලෙන් අර්ථ දෙති. “භන්තේ” යනු භවන්ත ශබ්දයට ආදේශයක් වී ආලපනේකවචනයට සෑදෙන පදයකැ යි වියරණ පොත්වල දක්වා තිබේ. “භවන්ත” යන වචනයෙන් ජීවත්වන්නාය දියුණු වන්නාය යන අර්ථ දෙක කියැවේ. “භන්තේ” යන වචනයට ස්වාමීනි කියා ද වහන්ස කියා ද ස්වාමීන්වහන්ස කියා ද අර්ථ දෙති. ආයස්මා යනු තද්ධිත පදයෙකි. “ආයුඅස්ස අත්ථිති - ආයස්මා” යි විග්‍රහ කෙරෙති. එහි අර්ථය ජීවත් වන තැනැත්තාය යනුයි. ආයස්මා යන වචනයට ආයුෂ්මත්ති කියා ද ආයුෂ්මත් කියා ද අර්ථ කියති. මෙකල නවකයන්ට “ආයුෂ්මතුන්” යි මහල්ලෝ කියති. ආවුසෝ යන්න වෙනුවට ආයුෂ්මතා ආයුෂ්මතුන් යන ව්‍යවහාර ද වරද නැති බව කිය යුතු ය.