“යො පන භික්ඛු අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙය්‍ය පාචිත්තියං.”1
යම් මහණෙක් අනුපසම්පන්නයකුහට ධර්මය පද වශයෙන් එකට කීම් වශයෙන් කියවා නම් පචිති වේ.
මෙහි “අනුපසම්පන්නය” යි කියනුයේ භික්ෂුව හා භික්ෂුණිය හැර සෙස්සන්ටය. පද වශයෙන් කියවීම යනු කොටස් වශයෙන් කියවීමය. පදය අනුපදය අන්වක්ඛරය අනුබ්‍යඤ්ජනය යි කියවන ධර්මය සතර කොටසක් කොට දක්වා ඇත්තේ ය. එහි “අන්වක්ඛර” යනු තනි අකුරය. “අනුබ්‍යඤ්ජන” යනු අකුරු සමූහයය. “පද” යනු ගාථා පාදයය. ගාථාවකට පාද සතරක් ඇත්තේ ය. එහි පළමුවන පාදය පද නම් වේ. දෙවන පාදය අනුපද නම් වේ. “මනොපුබ්බංගමා ධම්මා” යනාදීන් භික්ෂුව සාමණේරයාට කියවීමේදී සාමණේරයා භික්ෂුව සමඟ ම පටන් ගෙන භික්ෂුව සමඟ ම අවසන් කෙරේ නම් ගාථාවේ පාදයක් පාසා පචිති වේ. එක් ගාථාවක් එසේ කියවීමෙන් පචිති සතරක් වේ. මනොපුබ්බංගමා ධම්මා යනාදීන් භික්ෂුව කියවන කල්හි අනුපසම්පන්නයා ප්‍රථම පාදය එක්ව කියන්නට අසමත් වී දෙවන පාදයේ දී භික්ෂුවට එක් වී දෙවන පාදය භික්ෂුව හා එකවිට අවසන් කෙරේ නම් භික්ෂුවට අනපද ගණනට ඇවැත් වේ. භික්ෂුව අනුපසම්පන්නයාහට ධර්මකොට්ඨාශයේ මුල් අකුර පමණක් එකට කියා නම් එසේ කියවන අකුරු ගණනට ඇවැත් වේ. “රූපං භික්ඛවෙ අනිච්චං වෙදනා අනිච්චා” යනාදීන් භික්ෂුව කියවන කල්හි අනුපසම්පන්නයා ඉක්මන් වී භික්ෂුව “රූපං භික්ඛවෙ අනිච්චං” යි කියන කල්හි “වෙදනා අනිච්චා” යි කියමින් අනිච්ච යන පදය එකවර කියා අවසන් කෙරේ නම් භික්ෂුවට පචිති වේ. පාදාදියෙන් කුමක් හෝ අනුපසම්පන්නයා හා එකවර කීයේ නම් භික්ෂුවට ඇවැත් වේ.
එක්ව නො කියවිය යුතු ධර්මය බුද්ධභාසිතය සාවකභාසිතය ඉසිභාසිතය දෙවතාභාසිතය අත්ථූපසංහිතය ධම්මූපසංහිතය යි පාළියෙහි ආකාර සයකින් දක්වා තිබේ.
එහි “බුද්ධභාසිතය” යනු විනය පිටකය අභිධර්ම පිටකය ධම්මපදය චරියාපිටකය උදානය ඉතිවුත්තකය ජාතකය සුත්තනිපාතය විමානවත්ථුය පේතවත්ථුය බ්‍රහ්මජාලාදි සූත්‍රයෝ යන මේවාය. “සාවකභාසිංතය” යනු සිවු පිරිසට අයත් බුද්ධශ්‍රාවකයන් විසින් ප්‍රකාශිත අනංගණ සම්මාදිට්ඨි අනුමාන චූළවේදල්ල මහා වේදල්ලාදි සූත්‍ර ධර්මයෝය. අනංගණ සම්මාදිට්ඨි මහාවේදල්ල යන සූත්‍රයෝ සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් වදාරන ලද්දෝ ය. අනුමාන සූත්‍රය මුගලන් තෙරුන් වහන්සේ විසින් වදාරන ලද්දකි. චූළ වේදල්ල සූත්‍රය ධම්මදින්නා තෙරණියගේ භාෂිතයෙකි. සූත්‍ර නිපාතයෙහි එන පසේබුදුවරුන්ගේ ගාථා බුද්ධ භාසිතයට අයත් ය. ඉසිභාසිතය යනු ශාසනයෙන් බාහිර පිරිවැඩියන්ගේ ප්‍රකාශනයෝ ය. මජ්ඣිමනිකායේ මජ්ඣිම පණ්ණාසකයේ පරිව්‍රාජකවර්ගය, සූත්‍රනිපාතයේ එන බාවරීතවුසාගේ අතවැසියන්ගේ ප්‍රශ්න ගාථා යනාදිය සෘෂිභාෂිතයෝ ය. දේවභාෂිතය යනු දේවතා සංයුක්ත දෙවපුත්තසංයුත්ත මාරසංයුත්ත බ්‍රහ්මසංයුත්ත යනාදියෙහි දැක්වෙන දේවභාෂිතයෝය. “අත්ථූපසංහිතය” යනු පෙර පාළිභාෂාවෙන් තුබූ සංගයනාවන්ට ඇතුළත් කළ අටුවාය. “ධම්මූපසංහිතය, යනු පිටකත්‍රය පාළියෙහි එන “මක්කටී වජ්ජිපුත්තාච” යනාදි සංගීති කාරකයන් විසින් තබන ලද ධර්මයෝය. කියන ලද සකොටසක් වන ධර්මය සංගීති තුනකට ම නඟා බුද්ධධර්මය වශයෙන් තබා ඇත්තේ ය. ඒවායින් කිනම් කොටසක් වුව ද අනුපසම්පන්නයන්හට එක්ව කියවීමෙන් ඇවැත් වේ. සංගීතියට නො ගත් බුද්ධ ධර්මය ද ඇත්තේ ය. ඒවා කියවීමෙන් ද ඇවැත් වේ. කුලුම්බසුත්ත රාජෝවාදසුත්ත තික්ඛින්ද්‍රිය චතුපරිවට්ට නන්දෝපනන්ද යන මේ ධර්ම, සංගායනා නො කළ ධර්මයන් ලෙස අටුවාවෙහි දක්වා ඇත. අන්‍ය භාෂාවන්ට හා ගාථාදියට නඟන ලද බුද්ධධර්මය කියැවීමෙන් ඇවැත් නො වේ. අනුපසම්පන්නයන් හා එකට සජ්ඣායනා කිරීමෙන් ඇවැත් නො වේ. පිරිත් කීමත් එකට සජ්ඣායනා කිරීමක් මිස උගැන්වීමක් නො වන බැවින් අනුපසම්පන්නයන් හා පිරිත් කීමෙන් ඇවැත් නො වේ.