“යො පන භික්ඛු මාතුගාමස්ස උත්තරිං ඡපඤ්චවාචාහි ධම්මං දෙසෙය්ය අඤ්ඤත්ර විඤ්ඤුනා පුරිසවිග්ගහෙන පාචිත්තියං.”[1]
යම් මහණෙක් නුවණැති පුරුෂයකු සමීපයේ නැතිව මාගම කට පසකට සයකට අධික වචනවලින් පෙළදහම කියා නම් පචිති වේ.
මේ සිකපදයෙන් දැක්වෙන ධර්මය ද පදසෝධම්ම සිකපදයෙන් දැක්වෙන බුද්ධභාෂිතාදි සවැදෑරුම් ධර්මය ය. මාගමය යනු මනුෂ්‍ය ස්ත්‍රිය ය. විඤ්ඤූපුරුෂයකු සමීපයේ නැති කල්හි මාගමට සපදයක් ධර්ම දෙසිය හැකි ය. එය ඉක්මවා සත්වන පදයෙන් එක අකුරක් වුව ද කීමෙන් පචිති වේ. ගාථා කීමේදී පදය ගණන් ගන්නේ ගාථාපද අනුව ය. ගාථාපද සයක් කිය හැකිය. එය ඉක්මවා සත්වන ගාථා පාදයෙන් එක අකුරක් වුව ද කීමෙන් පචිති වේ. වාක්‍යවලදී පදය ගණන් ගන්නේ විභක්ති අනුව ය. විභක්ත්‍යන්ත වචනය පදයෙකි. “බුද්ධං සරණං ගච්ඡාමි” යන මෙහි පද තුනෙකි. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි” යි කී කල්හි පද සය සම්පූර්ණ වේ. ඉන් ඔබ්බට අකුරකුදු කිව පචිති වේ. පෙළ අටුවා දෙකින් ම කියත හොත් පෙළින් පදයක් කියා අටුවාවෙන් පද සයක් කිය හැකි ය. එක් මාගමකට පද සයක් කියා වාඩි වී සිටි සැටියට ම සිට අන් මාගමකට තවත් පද සයක් කිය හැකි ය. මේ ක්‍රමයෙන් පැමිණෙන පැමිණෙන මාගමුන් උදෙසා සපදය බැගින් ධර්මය කිය හැකි ය. පසුව පැමිණි මාගමට කියන පද සය කලින් සපදය ඇසූ මාගම අසා සිටිය ද ඇවැත් නො වේ. මෙහි නුවණැති පුරුෂයායි කියනුයේ කරන ගාථාව යහපත් කථාවක් ද නො මනා කථාවක් ද කාමය පිළිබඳ කථාවක් ද යන බව තේරුම් ගැනීමට සමත් පුරුෂයා ය. එබඳු පුරුෂයකු දොළොස් රියනකින් මොබ ඇති කල්හි මාගමුන්ට කොතෙක් දහම් දෙසුව ද ඇවැත් නො වේ. කරන කථාවේ තතු තේරුම් ගැනීමට නො සමත් ළමයකු හෝ බිහිරකු හෝ සිටිය ද ඇවතින් නො මිදේ. සමහරවිට පිරිත් කියවා ගැනීමට ස්ත්‍රීහු විහාරස්ථානවලට පැමිණෙති. පිරිමියකු සමග පැමිණෙන ලෙස ඔවුනට කිය යුතු ය. සමහරවිට ඔවුහු කුඩා ළමුන් කැඳවාගෙන එති. ඔවුන් සිටීම ඇවතින් මිදීමට ප්‍රමාණ නොවේ. පාළිධර්මය ඒ සැටියෙන්ම නො කියා අන් බසකින් ඒ ධර්මය තේරුම් කර දීමෙන් හෝ ධර්මානුකූලව කථා අන් බසකින් කිරීමෙන් හෝ ඇවැත් නොවේ. ධර්මාන්විත ගාථාදිය කීමෙන් ද ඇවැත් වේ.
-
පාචි - 32 පි. ↑