“භූතගාමපාතබ්යතාය පාචිත්තියං.”[1]
යම්කිසි තැනක පිහිටි බීජයෙන් හටගත් නො මළ ගස්වැල් ආදිය විකෝපනය කිරීමෙන් පචිති වේ.
“භූතගාම” යනු යම්කිසි තැනක පිහිටා ඇති මූලබීජාදි පඤ්චප්‍රකාර බීජයන්ගෙන් හටගත්තා වූ ද වැඩුණා වූ ද වැඩෙන්නා වූ ද ගස්වැල් තණ සෙවෙල් ආදියට නමෙකි. ඒ භූතගාමය ආවුධවලින් තමා විසින් සිඳීමෙන් ද අනුන් ලවා සිඳවීමෙන් ද ගල් ආදියෙන් තමා විසින් තළා තුවාල කිරීමෙන් ද අනුන් ලවා තුවාල කරවීමෙන් ද තමා විසින් ගින්නේ පැසවීමෙන් ද අනුන් ලවා එසේ කරවීමෙන් ද පචිති ඇවැත් වේ. ගින්නෙන් පැසවීමය යනු ගස්වැල් තැම්බී යන පරිදි දැවී යන පරිදි ඒවාට ළං කොට ගිනි දැල්වීම ය. භූතගාමයෙන් වෙන් වූ බීජයන්ට එසේ කිරීමෙන් දුකුළා ඇවැත් වේ.
මූලබීජ, ඛන්ධබීජ, ඒළුබීජ, අග්ගබීජ, බීජබීජයයි බීජ පස්වර්ගයකි. බීජයන් කැපීම තැලීම දැවීම වශයෙන් විකෝපනය කිරීමෙන් හා කරවීමෙන් දුකුළා ඇවැත් වේ.
දියේ හටගෙන දියේ වැඩෙන්නා වූ භූතගාමයෝ ය, ගොඩ හටගෙන එහි ම වැඩෙන භූතගාමයෝ ය යි භූතගාම දෙවර්ගයෙකි. පත් ඇත්තා වූ ද නැත්තා වූ ද සෙවෙල් ජාති හා දියමත පාවෙන පැළෑටි වර්ග දියේ හැදෙන වැඩෙන භූතගාමයෝ ය. ඒවායේ ස්ථානය ජලය ය. ඒවා ජලයෙන් මතු කිරීම විකෝපනය කිරීම ය. ඒවා ජලයෙන් මතු කිරීමෙන් ගොඩට ගැනීමෙන් පචිති වේ. ජලයත් සමඟ භාජනයකට ගැනීමෙන් ඇවැත් නො වේ. එසේ ගන්නා ලද්ද දියට ම දැමිය යුතු ය. ගොඩට දැමුව හොත් පචිති වේ. නෑම සඳහා හෝ වතුර ගැනීම සඳහා හෝ දියේ ම එහා මෙහා කිරීමෙන් ඇවැත් නො වේ. දියේ හට ගන්නා සෙවෙල ජාතියක මුල් පොළොවට බැස ඇත්තේ නම් ඒවා පොළොවෙන් වෙන් කිරීමෙන් පචිති වේ. දිය සෙවෙල් ආදිය දියේ තිබිය දී ම සිඳීමෙන් ද පචිති වේ. අන්‍යයන් විසින් ගොඩ දමන ලද නො මළ දියසෙවෙල් ආදිය බීජ ගාමයට අයත් ය. ඒවා විකෝපනය කිරීමෙන් දුකුළා ඇවැත් වේ. තෙමෙන තාප්ප බිත්ති චෛත්‍ය ආදියෙහි හටගන්නා කොළ ඇති දියසෙවෙල් ද භූතගාමයට අයත් ය. ඒවායේ කොළ ඇති නැති බව පෙනෙන්නේ ළංවී හොඳින් බැලුව හොත් ය. ඒවා සූරා දැමීමෙන් හා ඒවා මත සුණු ගෑමෙන් ද ඇවැත් වේ. ගස් වැල් සොලවා ඉදුණු කොළ හා මල් බිම හෙළීමෙන් ද ඇවැත් වේ. ගස්වල හා කොළවල අකුරු සටහන් කැපීමෙන් ද ඇවැත් වේ. ගෙඩි හෝ මල් කඩා ගැනීමට සාමණේරයන්ට ගස් වැල් නමා පහත් කරදීමෙන් ඇවැත් නො වේ. එහේත තමාගේ කෑම පිණිස ගෙඩි කැඩීමට ගස් නමා දීම නො කළ යුතු ය. කැපූ ගස්වල අතුපැළවෙන ඒවා නම් බීජගාමයට අයත් ය. ඒවා විකෝපනයෙන් දුකුළා ඇවැත් වේ. තණ ඉදිරී යන පරිදි බිඳී යන පරිදි ඇමදීමෙන් හා තණමත ඇවිදීමෙන් ද දික් තණපත්වලට හානි වන පරිදි එකතු කොට ගැට ගැසීමෙන් ද ඇවැත් වේ.
මේ සිකපදය පනවා ඇත්තේ ගස්වැල් කැපීම ඉදිරීම පාපයක් නිසා නො වේ. ගස්වැල් ද එක්තරා සත්ත්ව කොට්ඨාසයක්ය යන හැඟීම ඇති මිනිස්සු වෙති. ඔවුහු භික්ෂූන් ගස්වැල් කපනු උදුරනු දක්නා කල්හි මේ භික්ෂූහු ඒකින්ද්රිය ප්‍රාණීන් නසත්ය යි භික්ෂූන් කෙරෙහි කලකිරෙති. භික්ෂූන්ට ගර්හා කොට පව් සිදු කර ගනිති. මේ සිකපදය පනවන ලද්දේ ඒ නිසා ය. ඉවත් කළ යුතු තණ හා ගස්වැල් ඉවත් කරගත නො හැකිවීම නිසා මේ සිකපදයෙන් භික්ෂූන්ට කරදරයක් විය. භික්ෂූන්ට ඒ කරදරයෙන් මිදීම පිණිස සිකපදයත් රකිමින් ඒවාත් සිදු කර ගැනීමේ ක්‍රමයක් දැක්වීම් වශයෙන්:-
“අනාපත්ති ඉමං ජාන ඉමං දෙහි ඉමං ආහර ඉමිනා මේ අත්ථො ඉමං කප්පියං කරොහීති භණති.”[2]
යනු වදාළ සේක. මෙයින් අනුපසම්පන්නයන් ලවා කප්පිය ව්‍යවහාරයෙන් තණ ආදිය ඉවත් කරවා ගැනීමට ඉඩ සලසා ඇත්තේ ය. කෙළින් ම මෙතැන උදලු ගාන්නය, මේ ගස කපන්නය, මේ වැල කපන්නය යි නො කියා තණ ඉවත් කරවා ගැනීම සඳහා ගස්වැල් ඉවත් කරවා ගැනීම සඳහා මේ තණවලින් අවහිරයක් ඇති බව දැන ගන්නය, මේ ගසින් මේ වැලෙන් අවහිරයක් ඇති බව දැන ගන්නය, මේ ගස මෙතැනට වුවමනා නැති බව දැන ගන්නය යි කීමෙන් ඇවැත් නො වේ. එසේ කී කල්හි නුවණැති සාමණේරාදීහු ඒ තණ ඉවත් කරති. ගස්වැල් ඉවත් කරති. මෙය දැන ගන්නය යි කීම කප්පිය ව්‍යවහාර බැවින් එසේ කියා ඒවා කරවා ගැනීමෙන් ඇවතින් මිදේ. ගසක වැලක කොළ ගෙඩි හෝ මල් හෝ වුවමනා විටෙක අනුපසම්පන්නයකුට මෙය දෙන්නය කියා හෝ ගෙනෙන්නය කියා හෝ මෙය මට වුවමනාය කියා හෝ මෙය කප්පියං කරන්නය කියා හෝ කී කල්හි අනුපසම්පන්නයා නුවණැත්තේ නම් භික්ෂුවගේ වුවමනාව ඉටු කරයි. එසේ කීම කප්පිය ව්‍යවහාරය ය. කප්පිය ව්‍යවහාරයෙන් වුවමනා දෙය කරවා ගැනීමෙන් ඇවැත් නො වේ.