“යො පන භික්ඛු පඨවිං ඛණෙය්ය වා ඛණාපෙය්ය වා පාචිත්තියං.”[1]
යම් මහණෙක් පොළොව තෙමේ සාරන්නේ හෝ අනුන් ලවා සාරවන්නේ හෝ වේ නම් පචිති වේ.
ජාතපඨවිය, අජාතපඨවිය යි පඨවිය දෙයාකාර වේ. එයින් ජාතපඨවිය: සුද්ධපඨවිය මිස්සකපඨවිය පුඤ්ජපඨවිය යි තුන් ආකාර වේ. “සුද්ධපඨවිය” යනු ගල්කැට කැබිලිති බොරළු වැලි මිශ්‍ර වී නැති පස හා මැට්ටය. “මිස්සකපඨවිය” යනු ගල්කැට කැබිලිති බොරලු වැලි යන මේවායින් යම් කිසිවක් තුනෙන් පංගුවක් පමණ මිශ්‍ර පස හා මැට්ටය. “පුඤ්ජපඨවිය” යනු පොළොවෙන් සාරා මතු කොට ගොඩ දැමූ හෝ කඳු බෑවුම් වලින් ගැලවී වැටී ගොඩ ගැසුණා වූ හෝ වතුරපාරට සෑරී ගොඩ ගැසුණා වූ හෝ පස ය. කිනම් ආකාරයකින් හෝ පෙළොවෙන් මතු වී ගොඩ ගැසී සිවුමසකට අධික කාලයක් වැස්සට තෙමුණු පසත් මැට්ටත් පුඤ්ජපඨවි නම් වේ. සුළඟින් අවුත් ගල්තලා මත රැස්වන දූවිලි තට්ටු ද වැසිදියෙන් තෙමී සිවුමසක් ගතවීමෙන් පුඤ්ජපඨවිභාවයට පැමිණේ. ගින්නෙන් දැවීමෙන් පඨවියේ ජාතපඨවිභාවය නැති වේ. ගින්නෙන් නො දැවුණු තුන් ආකාර වූ ජාතපඨවිය භික්ෂූන් විසින් කැණීමට කැඩීමට ඉරි ගැසීමට දැවීමට නුසුදුසු වූ අකප්පිය පඨවිය ය. ගල්කැට කැබිලිති බොරළු වැලි යන මේවා හා තුනෙන් දෙපංගුවක් මිශ්‍ර වී ඇති පස ද මැට්ට ද ගින්නෙන් දැවුණු පඨවිය ද අජාත පඨවිය ය. අජාත පඨවිය කැප පඨවිය ය. එය කැණීමෙන් කැණවීමෙන් ඇවැත් නො වේ.
ගින්නෙන් දැවී විකෘති නො වූ ජාතපඨවිය උදලු උල් ආදියෙන් තමා විසින් කැණීමෙන් ද අනුන් ලවා කැණවීමෙන් ද ගින්නෙන් දැවීම අත්පා ආදියෙන් කැඩීම එහි උල් ගැසීම ඉරි ගැසීම යන මේවා කිරීමෙන් හා කරවීමෙන් ද භික්ෂුවට පචිති ඇවැත් වේ. තමා විසින් ජාතපඨවිය සාරන කල්හි ගසන පහරක් පාසා පචිති වේ. අනුන් ලවා කැණවීමේදී අණ කරන වාරයක් පාසා පචිති වේ. වරක් අණ කළ කල අණ ලැබූවහු දවස මුළුල්ලේ සෑරුව ද ආණාපකයාට වන්නේ එක් ඇවතකි. කැණීම නැවැත්වීමෙන් නැවත නැවත අණ දෙන්නේ නම් අණ දෙන වාරයක් පාසා ඇවැත් වේ.
මේ සිකපදය පිළිබඳ අටුවාවේ දැක්වෙන පාළිමුක්තක විනිශ්චය මෙසේ ය. පොකුණක් හාරවයි කීමෙන් ඇවැත් නො වේ. පොකුණය යි කියනුයේ සාරන ලද්දටය. එහි නැවත කැණිය යුත්තක් නැත. එබැවින් එසේ කීම සුදුසුය. එය කප්පිය ව්‍යවහාරය ය. ළිඳක් සාරව අගලක් කපව වළක් සාරවයි කීම ද එසේ ම කප්පිය ව්‍යවහාරය ය. මෙතැන සාරන්නය මෙතැන වළක් කපන්නය ළිඳක් කපන්නය යි කීම අකප්පිය ව්‍යවහාරය ය. එසේ කීමෙන් ඇවැත් වේ. අල සාරන්නය මුල් සාරන්නය යි අනියමින් කීමෙන් ද ඇවැත් නො වේ. මේ වැල සාරන්නය මේ ස්ථානය සාරන්නය මෙතැන අගලක් කපන්නය යි කීමෙන් ඇවැත් වේ. ළිං පොකුණු පිරිසිදු කිරීමේ දී පොළොව හා බැඳී නැති, කූඩාවලින් ගත හැකි දියාරු මඩ ඉවත් කිරීම සුදුසුය. පොළොව හා බැඳී ඇති තද මඩ ඉවත් කිරීම නුසුදුසු ය. අව්වෙන් වියළී පැළුණු මඩ පොළොව හා බද්ධ වී නැති නම් ඉවත් කිරීමෙන් ඇවැත් නො වේ. පොකුණක ඉවුරු කඩා වැටී වතුර සමීපයේ ගොඩ වූ පස වැසිදියෙන් තෙමී සිවුමසක් ගත වන්නට කලින් ඉවත් කිරීම සුදුසු ය. වැසිදියෙන් තෙමී සිවුමස පසු වූ පසු ඉවත් කිරීමෙන් ඇවැත් වේ. පොකුණු දියට කඩා වැටුණු පස වැසිදියට අසු නො වන බැවින් කල් ගත වුව ද ඉවත් කිරීමෙන් ඇවැත් නො වේ. ගල්තලාවක කණින ලද පොකුනකට එහි ජලය රැස්වන්නට කලින් වැටුණ පස් වරක් හෝ වැස්සට තෙමී සිවුමසක් ගතවී නම් එහි පසු කාලයේ රැස් වූ ජලය සිඳීයාමෙන් පොකුණ ශුද්ධ කිරීමේදී ඒ පස භික්ෂූන්ට ඉවත් කිරීම නුසුදුසු ය. පොකුණෙහි ජලය රැස්වීමෙන් පසු වැටුණු පස්වලට වැසිදිය නො වැටෙන බැවින් පොකුණ ශුද්ධ කිරීමේදී ඒවා ඉවත් කිරීම සුදුසු ය. ඒවා කොතෙක් පරණ වුවත් ඉවත් කිරීමෙන් ඇවැත් නො වේ. ගල්තලාව මත වැටී ඇති සියුම් රජස් තෙත් වී එහි ඇලී වැස්සට අසුවී සිවුමස ගත වී ඇති නම් ඒවා විකෝපනය නො කළ යුතුය. ගුහාවක් තුළ නැඟී ඇති තුඹස ඉවත් කිරීමෙන් ඇවැත් නො වේ. එළිමහනෙහි නැඟී ඇති තුඹස වැසිදියෙන් තෙමී සිවුමසක් ගත වී ඇති නම් කැඩීමෙන් ඇවැත් වේ. ගස්වලට නැඟ ඇති වේ පස් සම්බන්ධයෙන් ද එසේ කිය යුතු ය. සෑ තැන්වල නඟුලින් බිඳුණු මැටි කැට පොළොව හා අසම්බන්ධ නම් ගැනීමෙන් ඇවැත් නැත. පොළොවෙන් වෙන් නොවූ මැටිකැට ගැනීම නුසුදුසු ය. පියැස්ස නැත්තා වූ බිඳී ගිය හෝ පරණ ගෙයි බිත්ති ආදිය වැසිදියෙන් තෙමී සිවුමස ඉක්මීමෙන් ජාතපඨවි සංඛ්‍යාවට වැටේ. විකෝපනය කිරීමෙන් ඇවැත් වේ. එහි ගල් ආදිය ගැනීමෙන් ඇවැත් නො වේ. පඨවිය විකෝපනය කරන අදහසින් තොරව ගල් ආදිය ගැනීමේ දී පස බිඳී ගිය ද ඇවැත් නො වේ. බිත්තිවල මැටි ගැලවුව ඇවැත් වේ. වියළි මැටි ඇති නම් ගැනීමෙන් ඇවැත් නො වේ. එළිමහනෙහි බැඳි මැටි තාප්පය වැසිදියෙන් තෙමී සිවුමස ගතවීමෙන් ජාතපඨවි සංඛ්‍යාවට පැමිණේ. එය විකෝපනය කිරීමෙන් ඇවැත් වේ. මැටියෙන් ගලින් හෝ ගඩොලින් හෝ කළ තාප්පය ගල් ගඩොල් බහුල පඨවිය වන නිසා විකෝපනයෙන් ඇවැත් නො වේ. එළිමහනේ සිටුවා ඇති කණු ඉදිරීමේදී බුරුල් කිරීම පිණිස ඒ මේ අතට සෙලවීමෙන් ඇවැත් වේ. කෙළින් ඉදිරීමෙන් ඇවැත් නො වේ. වියළි ගස් ඉදිරීමේ දී ද ඒ ක්‍රමය ම ය. නවකර්මයක් පිණිස බර කඳක් ලීවලින් ඔසවමින් පෙරළාගෙන යාමේදී පොළොව කැඩී ගිය ද ඇවැත් නො වේ. අතු ආදිය ඇදගෙන යාමේදී පොළොව සීරී යාමෙන් ද දර පැළීමේදී පොළොව කැඩී යාමෙන් ද ඇවැත් නො වේ. ඇමදීමේදී බිම සම කිරීමේ අදහසින් පොළොව සීරෙන පරිදි ඉදල තදකොට ඇමදීම ද නුසුදුසු ය. පොළොව කැඩෙන සේ සැරයටිය තදින් බිම හැණීම ද නුසුදුසු ය. අත හේ අන් කිසිවක් හෝ සේදීමේදී බිම ඇතිල්ලීම ද නුසුදුසු ය. තෙත් වූ අත බිම තබා රජස් ගැනීම සුදුසු ය. පොළොව බිඳගෙන යන පරිදි බිම වතුර වත්කිරීම ද නුසුදුසු ය.
“පඨවියා පඨවිසඤ්ඤි ඛණති වා ඛණාපෙති වා භින්දති වා භෙදාපෙති වා දහති වා දහාපෙති වා ආපත්ති පාචිත්තියස්ස.”[2]
මෙසේ වදාරා ඇති බැවින් පොළොව කැණීමෙන් බිඳීමෙන් පමණක් නොව ගින්නෙන් දැවීමෙන් ද දැවවීමෙන් ද ඇවැත් වන බව දතයුතු ය. භික්ෂුවකට පාත්‍රය කළු කර ගැනීම ආදි කරුණකට ගිනි දැල්වීමට වුවමනා නම් කලින් ගිනි දැල්වූ තැනක මිස අන් තැනක ගිනි නො දැල්විය යුතු ය. පොළොවෙහි අන් තැනක ගිනි දැල්වුව ඇවැත් වේ. ගින්න පොළොවට නො වැදෙන පරිදි ගල්තලාවක හෝ ගඩොලක් මත හෝ වැලිතලාවක හෝ ගිනි දැල්වීමෙන් ඇවැත් නො වේ. දරගොඩක් කොළගොඩක් මත ගිනි දැල්වුව හොත් ඒවාට ගිනි ඇවිලී ගින්න පොළොවට පැමිණ පොළොව දැවෙන බැවින් ඇවැත් වේ. වරක් ගින්නෙන් දැවී ඇති පස විකෝපනය කිරීමෙහ් හා එහි ගිනි දැල්වීමෙන් ඇවැත් නො වේ. පොළොවෙහි පිහිටි වියළි ගස්වලට හා කොටවලට ගිනි දැල්වීම නො කළ යුතුය. ගින්න පොළොවට පැමිණෙන්නට කලින් නිවා දැමීමේ අදහසින් ගිනි දැල්වීමෙන් ඇවැත් නො වේ. එසේ දල්වන ලද ගින්න නිවිය හැකි නො වී පොළොව දැවුණේ ද අවිෂය බැවින් ඇවැත් නො වේ. ගිනිහුලක් ගෙන යාමේදී එය කෙටි වී අත දැවෙන්නට එන කල්හි බිම දැමීමෙන් ම ද ඇවැත් නො වේ. එය වැටුණු තැනට දර දමා ගිනි ඇවිලවීමෙන් ද ඇවැත් නො වේ.
“අනාපත්ති ඉමං ජානං ඉමං දෙහි ඉමං ආහර ඉමිනා මෙ අත්ථො ඉමං කප්පියං කරොහීති භණති.”[3]
මේ කණුව සිටවීමට වළක් කණින්නය යි කිව හොත් ඇවැත් වේ. මේ කණුවට වළක් දැන ගන්නය යි කීමෙන් ඇවැත් නො වේ. මැටි ටිකක් දෙන්නය පස් ටිකක් දෙන්නය මැටි ගෙනෙන්නය පස් ගෙනෙන්නය කීමෙන් ඇවැත් නො වේ. මේ කණුවට වළක් කප්පියං කරන්න ය, වතුර බැසයාමට අගලක් කප්පියං කරන්නය යි කීමෙන් ඇවැත් නො වේ.