“න ච භික්ඛවෙ සද්ධාදෙය්‍යං විනිපාතෙතබ්බං, යො විනිපාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]
මහණෙනි, සැදැහැයෙන් දෙන ලද්ද විනාශ නො කළ යුතු ය. යමෙක් විනාශ කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
ගිහියන් විසින් භික්ෂූන්ට සැදැහැයෙන් දෙන සිවුපසය නො මනා පරිදි පරිභෝග කිරීමෙන් හෝ නුසුදුස්සන්ට දීමෙන් හෝ විනාශ කරනු දක්නා සැදැහැවතුන්ට ඇති වන්නේ භික්ෂූන් කෙරෙහි අප්‍රසාදයෙකි. නො මනා ලෙස පරිභෝග කොට, දුන් සැදැහැවතුන්ගේ සිත් රිදවීම බලවත් වරදෙකි. තමන් පූජා කළ දෙය භික්ෂූන් විසින් පරෙස්සමින් බෝ කල් පරිභෝග කරනු දක්නා ගිහියෝ භික්ෂූන් කෙරෙහි පහදිති.
කොසඹෑ නුවර උදේනි රජුගේ සාමාවතී දේවිය ප්‍රධාන පන්සියයක් ස්ත්‍රීහු ආනන්දස්ථවිරයන් වහන්සේ ගෙන් බණ අසා පැහැදී තම තමන්ගේ උතුරුසළු උන් වහ්නසේට පූජා කළහ. උතුරු සළු නැතිව සිටිනා ස්ත්‍රීන් දැක රජතුමා “තොපගේ උතුරු සළුවලට කුමක් වී දැ”යි ඇසීය. ස්ත්‍රීහු ආනන්දස්ථවිරයන් වහන්සේට පූජා කළ බව කීහ. “සියල්ල ම ආනන්දස්ථවිරයන් වහන්සේ පිළින්නා ලද්දේදැ”යි අසා “එසේය” යි කී කල්හි, රජතුමා ආනන්දස්ථවිරයන් වහන්සේ වෙත එළඹ, “මෙපමණ වස්ත්‍ර රාශියක් නුඹවහන්සේට කුමටදැ”යි ඇසීය. “මහරජ, අපට වුවමනා පමණ ගෙන සෙස්ස දිරූ සිවුරු ඇති භික්ෂූන්ට දෙමු”යි තෙරුන් වහන්සේ කීහ. “ස්වාමීනි, ඒ භික්ෂූන්ගේ දිරූ සිවුරුවලට කුමක් කෙරෙත්දැ”යි රජතුමා කීය. “වඩාත් දිරූ සිවුරු ඇතියන්ට දෙන්නාහ”යි කීහ. “ඔවුන්ගේ දිරූ සිවුරුවලට කුමක් කෙරෙත්දැ”යි රජ ඇසීය. “මහරජ, පසතුරුණු කෙරෙත්ය”යි තෙරුන් වහන්සේ කීහ. පරණ පසතුරුණුවලට කුමක් කෙරෙත්දැ”යි රජු ඇසී ය. “බුමුතුරුණු කෙරෙත්ය”යි තෙරණුවෝ කීහ. “පුරාණ බුමුතුරුණුවලට කුමක් කෙරෙත්දැ”යි රජු ඇසී ය. “මහරජ පාබිසි කරන්නාහයි” කීහ. “පුරාණ පාබිසිවලට කුමක් කෙරෙත් දැ”යි විචාළේ ය. “ඒවා සිහින් කැබලි කොට මැටි හා අනා බිත්තිවලට ගසන්නාහ”යි කීහ. “ස්වාමීනි, මෙතෙක් දුර ගොස් ද ආර්‍ය්‍යයන් වහන්සේලාට දුන් දෙය නො නස්නේය”යි රජු කීය. “එසේය මහරජ” යි තෙරුන් වහන්සේ කීහ. රජු පැහැදී වස්ත්‍ර පන්සියයක් ගෙන්වා තෙරුන් වහන්සේට පූජා කෙළේ ය.
(චූළවග්ග පාළි)
සැදැහැයෙන් දෙන සිවුපසය, දීමට නුසුදුස්සන්ට දීම ද සද්ධාදෙය්‍ය විනිපාතනය ය. එබැවින් භික්ෂූන් විසින් තමාට ලැබෙන ප්‍රත්‍යය නුසුදුස්සන්ට නො දිය යුතු ය.
-
මහා - 726 පි. ↑