“අනුජානාමි භික්ඛවෙ, මාතාපිතුන්නං දාතුං”[1] යනුවෙන් මාපියන්ට දීම තථාගතයන් වහ්නසේ විසින් අනුදැන වදාරා ඇති බැවින් මා පියෝ දීමට සුදුස්සෝ ය. කොතරම් අගනා දෙයක් වුව ද මාපියන්ට දීම සද්ධාදෙය්ය විනිපාතය නො වේ. මාපියන්ට වුව ද පෞද්ගලික දෙය මිස සඟසතු දෑ නො දිය යුතු ය. මාපියෝ රජයෙහි පිහිටියාහු ද පුත්ර වූ භික්ෂුවගෙන් යමක් බලාපොරොත්තු වෙත් නම් දිය යුතු ය. උපස්ථානය බලාපොරොත්තු වෙත් නම් උපස්ථාන කළ යුතු ය. දුබල මාපියන්ට උපස්ථායකයන් නැති නම් විහාරයෙහි නවතාගෙන උපස්ථාන කිරීම ද සුදුසු ය. ස්ත්රීශරීරය ස්පර්ශ කිරීම පැවිද්දන්ට නුසුදුසු බැවින් ශරීරය ස්පර්ශ නො කරමින් මවට උපස්ථාන කළ යුතු ය.
මාපියන්ට උපස්ථාන කරන්නවුන්ට හා විහාරස්ථානයන්හි වත්-පිළිවෙත් කරන්නවුන්ට ද පණ්ඩුපලාසයන්ට ද දීම සුදුසු ය. “පණ්ඩුපලාස” යනු විහාරයේ නැවතී පැවිදි වීමට සූදානම් වන තැනැත්තා ය. ඔහුට භික්ෂූන්ගේ භාජනවල වුව ද කෑම දී සුදුසු ය. “පබ්බජිතපරිභොගො හි අගාරිකානං චෙතියට්ඨානියො”[2] යි පැවිද්දන් පරිභෝග කරන වස්තූහු ගිහියන්ට චෛත්යස්ථානයෙහි සිටිතැයි දක්වා ඇති බැවින් පණ්ඩුපලාසයාට හැර අන් ගිහියන්ට භික්ෂූන්ගේ භාජනවල කෑම නො දිය යුතු ය. මාපියන්ට වුව ද නො දිය යුතු බව දක්වා ඇත. දී සතුටු නො කළ හොත් අනතුරු සිදුවන්නට ඉඩ ඇති බැවින් නපුරු සොරුන්ට හා අධිපතීන්ට ද දිය යුතුය. සොරුන්ට සඟසතු වස්තුව වුව ද දීමට සුදුසු බව දක්වා ඇත. මගවියදම් නැතිව විහාරයට පැමිණෙන ආගන්තුකයන්ට හා රෝගීන්ට ද දිළින්දන්ට ද දීම සුදුසු ය. එය ඔවුන්ගෙන් කිසි ප්රත්යුපකාරයක් බලාපොරොත්තු නො වී ශුද්ධචිත්තයෙන් ම කළ යුතු ය.