“යො පන භික්ඛු සංඝිකෙ විහාරෙ ජානං පුබ්බූපගතං භික්ඛුං අනුපඛජ්ජ සෙය්යං කප්පෙය්ය, යස්ස සම්බාධො භවිස්සති සො පක්කමිස්සතී ති, එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තියං.”[1]
යම් මහණෙක් සඟසතු විහාරයෙහි පළමු පැමිණ සිටින භික්ෂුව නැගිටවීමට නුසුදුස්සෙකැයි දැන යමකුට අවහිර වේ නම් ඔහු යන්නේ ය යි එය ම කාරණය කොට අනිකක් කරුණු නො කොට එහි පිවිස ශයනය කෙරේ නම් පචිති වේ.
සඟසතු විහාරයෙහි අසුන් ගෙන සිටින වැඩිමහලු භික්ෂුවය, ගිලන් භික්ෂුවය, සංඝයාට කරන උපකාර සලකා සංඝයා විසින් සම්මත කොට තැනක් දී ඇති භික්ෂුවය යන මොවුහු නැගිටවීමට නුසුදුස්සෝය. පළමුවෙන් විහාරයෙහි වෙසෙන භික්ෂුව නො නැගිටවිය යුත්තකු බව දැන ඒ භික්ෂුවට අවහිර කිරීම පිණිස යම් භික්ෂුවක් ඒ නො නැගිටවිය යුතු භික්ෂුවගේ ආසනය සමීපයේ අසුනක් පනවා ගෙන හිඳින්නේ නම් පචිති ඇවැත් වේ. එවැනි භික්ෂුවක් වෙසෙන විහාරයකට පිවිසිය හොත් පළමු සිටින භික්ෂුවට අවහිර නො වන පරිදි විසිය යුතුය. පළමු භික්ෂුව යනෙන මාර්ගවලට අවහිර නො වන පරිදි අසුනක් පනවා ගත යුතුය. පළමු වෙසෙන භික්ෂුවගේ අසුනට දෙරියන් හමාරකට වඩා ළං කොට අසුනක් නො පැනවිය යුතුය. අවහිර වන පරිදි අසුන පැනවීමේදී දුකුළා අවැත් ද එහි හිඳගැනීමේ දී ශයනය කිරීමේදී පචිති ඇවැත් ද වේ.
“යො පන භික්ඛු භික්ඛුං කුපිතො අනන්තමනො සංඝිකා විහාරා නික්කඩ්ඩෙය්ය වා නික්කඩ්ඩාපෙය්ය වා පාචිත්තියං.”[2]
යම් මහණෙක් කිපියේ නො සතුටු සිත් ඇත්තේ මහණකු සඟසතු විහාරයෙන් බැහැර කරන්නේ හෝ බැහැර කරවන්නේ හෝ වේ නම් පචිති වේ.
කාමරයක වෙසෙන භික්ෂුව පිලට ඇද දැමීමෙන් ද පිලෙහි සිටින භික්ෂුව පිටතට ඇද දැමීමෙන් ද පචිති වේ. භික්ෂුව බැහැර කරන දොර ගණනට පචිති වේ. අනුන් ලවා බැහැර කරවීමෙහි දී එසේ ම ය. භික්ෂුවගේ ශරීරයට අත නො තබා නික්මෙන්නය යි කියා බැහැර කිරීමෙන් ද එසේ ම පචිති වේ. ඒ භික්ෂුවගේ බඩු විහාරයෙන් පිට කිරීමේ දී කරවීමේ දී දුක්කටාපත්ති වේ.
විහාරයේ උපචාරයෙන් හෝ උපස්ථානශාලාවෙන් හෝ මඩුවෙන් හෝ ගසමුලින් හෝ එළිමහනෙන් හෝ බැහැර කිරීමෙන් ද කරවීමෙන් ද ඒ භික්ෂුවගේ පිරිකර බැහැර කිරීමෙන් හා කරවීමෙන් දුක්කටාපත්ති වේ. අනුපසම්පන්නයකු බැහැර කිරීමෙන් ද ඔහුගේ පිරිකර බැහැර කිරීමෙන් ද දුක්කටාපත්ති වේ.
“අනාපත්ති අලජ්ජිං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. උම්මත්තකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. භණ්ඩනකාරකං -පෙ- කලහකාරකං -පෙ- විවාදකාරකං -පෙ- භස්සකාරකං -පෙ- සංඝෙ අධිකරණකාරකං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. තස්ස පරික්ඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. අන්තෙවාසිකං වා සද්ධිවිහාරිකං වා න සම්මා වත්තන්තං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා. තස්ස පරික්කඛාරං නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා.”
අලජ්ජියාය, උම්මත්තකයාය, වියවුල් ඇති කරන්නාය, කෝලාහල කරන්නාය, විවාද කරන්නාය, කෝලාහල ඇති කරන කථා කරන්නාය, සංඝයා කෙරෙහි අධිකරණ ඇතිකරන්නාය, මනා කොට නො හැසිරෙන සද්ධිවිහාරිකයාය, මනා කොට නො හැසිරෙන අන්තේවාසිකයාය යන මොවුන් සංඝික විහාරයෙන් බැහැර කිරීමෙන් ද කරවීමෙන් ද ඔවුන්ගේ පිරිකර බැහැර කිරීමෙන් හා කරවීමෙන් ද ඇවැත් නොවන බව ඉහත දැක්වූ පාඨයෙන් දක්වන ලද්දේය.
“අංගුලිපතොදකෙ පාචිත්තියං.”[3]
සිනැස්සවීම සඳහා භික්ෂුවකට කිතිකැවුව හොත් පචිති වේ. අනුපසම්පන්නයකුට කිතිකැවීමෙන් දුක්කටාපත්ති වේ.
“අනාදරියෙ පාචිත්තියං.”[4]
පුද්ගලයාට ධර්මයට අනාදර කිරීමෙන් පචිති වේ. උපසම්පන්නයකු විසින් උපසම්පන්නයකුට බුද්ධ ප්රඥප්තිය දක්වා යමක් කියන කල්හි එය පිළිගැනීමට නො කැමැත්තේ පුද්ගලයාට හෝ ධර්මයට හෝ අනාදර කරන්නහුට පචිති ඇවැත් වේ. විනය ප්රඥප්තිය හැර අනිකකින් අනුශාසනා කිරීමේදී අනාදර කිරීමෙන් හා අනුපසම්පන්නයකු කියන කල්හි අනාදර කිරීමෙන් දුකුළා වේ.
“යො පන භික්ඛු භික්ඛුං හිංසාපෙය්ය පාචිත්තියං.”[5]
යම් මහණෙක් මහණකු බිය ගන්වා නම් පචිති වේ. උපසම්පන්නයෙක් උපසම්පන්නයකු බිය ගැන්වීම සඳහා භයානක රූපාදිය එළවා නම් බිය උපදනා කතා කියා නම් භික්ෂුව බිය වුව ද නො වුව ද පචිති වේ. අනුපසම්පන්නයන් බිය ගැන්වීමෙන් දුකුළා වේ.
“යො පන භික්ඛු භික්ඛුස්ස කුපිතො අනත්තමනො පහාරං දදෙය්ය පාචිත්තියං.”[6]
යම් භික්ෂුවක් කිපියේ නො සතුටු සිත් ඇතියේ භික්ෂුවකට පහර දේ නම් පචිති වේ. යම් භික්ෂුවක් කිපී භික්ෂුවකට කයින් හෝ කයින් ගත් වස්තුවකන් හෝ යමක් දමා ගැසීමෙන් හෝ යටත් පිරිසෙයින් මලකින් වුව ද පහර දේ නම් පචිති වේ. අනුපසම්පන්නයකුට කිපී පහර දේ නම් දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්න ශිෂ්‍යයන්ට වුව ද තිරිසන් සතුන්ට වුව ද පහර දීමෙන් දුකුළා ඇවැත් වේ. රාගසිතින් ස්ත්රීන්ට පහරදීමෙන් සංඝාදිසේසාපත්ති වේ. තමාට හිංසා කරන කල්හි එයින් මිදීම සඳහා පහර දීමෙන් ඇවැත් නො වේ. මාර්ගයේ දී සොරකු හෝ සතුරකු ලුහුබැඳ එන කල්හි ඔහු නැවැත්වීමට පහරදීමෙන් මළේ ද පරිජි ඇවැත් නො වේ.
“යො පන භික්ඛු භික්ඛුස්ස කුපිතො අනත්තමනො තලසත්තිකං උග්ගිරෙය්ය පාචිත්තියං.”[7]
යම් මහණෙක් කිපියේ නො සතුටු සිත් ඇත්තේ භික්ෂුවකට පහර දෙන ආකාරය දක්වා අත්පා හෝ දඬු ආදියක් හෝ ඔසවා නම් පචිති ඇවැත් වේ. අනුපසම්පන්නයකුට කිපී පහර දෙන ආකාරය දක්වා අත්පා ආදිය එසවීමෙන් දුකුළා ඇවැත් වේ. තමාට හිංසා කරන කල්හි එසවීමෙන් ඇවැත් නො වේ.
“යො පන භික්ඛු භික්ඛුස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහෙය්ය ඉතිස්ස මුහුත්තම්පි අඵාසු භවිස්සතීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තියං.”[8]
යම් මහණෙක් මෙසේ කීමෙන් මොහුට මඳ වෙලාවකට වුව ද අපහසුවක් වන්නේ ය යි සිතා එය ම කරුණු කොට භික්ෂුවකට සැක උපදවා නම් පචිති වේ. අනික් කරුණක් සඳහා කියා නම් පචිති නො වේ.
ඔබට වැඩි වයසක් නැතිවා වගේය, ඔබ උපසම්පදා වී ඇත්තේ විසිවසක් පිරීමට පෙර සේය, ඔබ ආහාර වැළඳූයේ විකාලයක් වගේය යනාදි වචන භික්ෂුවකට සැක ඇති කොට සිතට කරදර කරනු පිණිස කියන්නහුට වචනයක් පාසා පචිති ඇවැත් වේ. අනුපසම්පන්නයකුට සැක ඇති කිරීමේ කතා කිරීමෙන් දුකුළා වේ.
“යො පන භික්ඛු භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨෙය්ය යං ඉමෙ භණිස්සන්ති තං සොස්සාමීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තියං.”[9]
යම් මහණෙක් මොවුහු යමක් කියත් නම් එය අසමියි එය ම කරුණු කොට අනිකක් කරුණු නො කොට හටගත් ඩබර ඇත්තා වූ හටගත් කෝලාහල ඇත්තා වූ ඒ නිසා ම විවාදයට පැමිණ ඇත්තා වූ භික්ෂූන්ගේ කථා ඇසෙන ප්‍රමාණයට පැමිණ සිටින්නේ නම් පචිති වේ.
යම් යම් කරුණුවලින් ඔවුනොවුන් විරුද්ධව සිටින භික්ෂූන් කථා කරන තැන්වලට ගොස් ඔවුන්ගේ කථා අසා සිටීමෙන් පචිති වේය යනු මෙහි අදහස ය.
මොවුන්ගේ කථා අසා මොවුනට චෝදනා කරමිය යන අදහසින් විවාදයට පැමිණ සිටින භික්ෂූන්ගේ කථා ඇසීමට යන භික්ෂුවට, යාමෙන් දුකුළා ඇවැත් වේ. නැවතී ඇසීමෙන් පචිති ඇවැත් වේ. විවාදාපන්න භික්ෂූන් කථා කරමින් ගමන් කරන කල්හි ඔවුන්ගේ කථා ඇසීමට පසුව යන භික්ෂුව වේගයෙන් යේ නම් දුකුළා ඇවැත් වේ. ඇසෙන තැනට පැමිණ ඇසීමේදී පචිති වේ. කතා කරමින් ගමන් කරන විවාදාපන්න භික්ෂූන්ගේ ඉදිරියෙන් ගමන් කරන භික්ෂුව ඔවුන්ගේ කථා ඇසීමේ අදහසින් නවතී නම් දුකුළා ඇවැත් වේ. නැවතී ඇසීමේදී පචිති වේ. භික්ෂුවක් සිටින සමීපයට හෝ හිඳින සමීපයට හෝ නිදන සමීපයට හෝ විවාදාපන්න භික්ෂූන් පැමිණ ඒ භික්ෂුව ඇති බව නො දැන කථාව පටන් ගතහොත් කැහීමෙන් හෝ කෑරීමෙන් හෝ අන් ක්‍රමයකින් හෝ තමා එහි ඇති බව ඒ භික්ෂූන්ට හැඟවිය යුතුය. එසේ නො කොට ඔවුන්ගේ කථා ඇසා සිටී නම් පචිති වේ. විවාදයට පැමිණ ඇති අනුපසම්පන්නයන්ගේ කථා ඇසීමෙන් දුකුළා ඇවැත් වේ. විවාද සන්සිඳීම සඳහා අසන්නහුට සමගි කිරීම සඳහා අසන්නහුට ඇවැත් නො වේ.
“යො පන භික්ඛු ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්ය පාචිත්තියං.”[10]
යම් මහණෙක් විනය අනුව කරන සංඝකර්මයන්ට ඡන්දය දී පසුව ගර්හා කරන්නේ නම් පචිති වේ.
අපලෝකනකම්ම, ඤත්තිකම්ම, ඤත්තිදුතියකම්ම, ඤත්තිචතුත්ථකම්මය යි භික්ෂූන් විසින් කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් නියමිත කර්ම සතර කොටසක් ඇත්තේය. ඒවායින් කවරක් හෝ කිරීමට, කලින් ඡන්දය දී පසුව කර්මයට හෝ කර්මය කළ සංඝයාට හෝ ගර්හා කිරීමෙන් පචිති වේ. කර්මයක් කිරීමට නුසුදුසු පුද්ගලයකුට කළ කර්මයට ද, වර්ගකර්මයට ද, අධර්මකර්මයට ද ගර්හා කිරීමෙන් ඇවැත් නො වේ.
“යො පන භික්ඛු සංඝෙ විනිච්ඡයකථාය වත්තමානාය ඡන්දං අදත්වා උට්ඨායාසනා පක්කමෙය්ය පාචිත්තියං.”[11]
යම් මහණෙක් සංඝයා කෙරෙහි විනිශ්චයකථාවක් පවත්නා කල්හි ඡන්දය නො දී අසුනෙන් නැඟී යේ නම් පචිති වේ.
එක් සීමාවක රැස් වූ භික්ෂූසංඝයාට ඉදිරිපත් වූ යම්කිසි අධිකරණයක් විනිශ්චය කරන කල්හි එය නිමවෙන තෙක් කාලය හා කර්මයක් කරත හොත් කර්මවාක්යය කියමින් සිටින කාලය සංඝයාගේ විනිශ්චය කථාව පවත්නා කාලයය. යම් භික්ෂුවක් ඒ කාලය තුළදී ඒ සංඝකර්මයට බාධා කරනු පිණිස කාරණය අවුල් කරනු පිණිස නැගිට යේ නම් යාමේදී දුකුළා ඇවැත් ද සංඝයාගේ අත් පසින් බැහැර වීමේදී පචිති ඇවැත් ද වේ.
මේ විනිශ්චයෙන් මේ කර්මයෙන් සංඝයා අතර අවුල් ඇති වේය කියා නැගිට යන්නහුට ද, අධර්ම කර්මයක් නිසා නැගිට යන්නහුට ද, වර්ගකර්මයක් නිසා නැගිට යන්නහුට ද, ගිලන් බව නිසා ද, ගිලනකුගේ කටයුත්තක් සඳහා ද මලමුත්‍ර කරනු පිණිස ද පසුව එන අදහසින් යන්නහුට ද ඇවැත් නො වේ.
“යො පන භික්ඛු සමග්ගෙන සංඝෙන චීවරං දත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්ය යථා සන්ථුතං භික්ඛු සංඝිකං ලාභං පරිණාමෙන්තීති පාචිත්තියං.”[12]
යම් මහණෙක් එක් සීමාවෙක් හි සමාන සංවාසක සංඝයා හා සිට භික්ෂුවකට සිවුරක් දී පසුව භික්ෂූහු තමතමන් හා මිත්‍රයන් වූ පරිදි සංඝලාභයන් පිරිනමතියි ගර්හා කෙරේ නම් ඒ භික්ෂුවට පචිති වේ.
සංඝයා විසින් සෙනසුන් පැනවීම් ආදි යම්කිසිවකට සම්මත කරන ලද භික්ෂුවකට සිවුරක් දීම ගැන ගර්හා කිරීමෙන් පචිති ද, අන් පිරිකරක් දීම ගැන ගර්හා කිරීමෙන් දුකුළා ද, සම්මත කරන ලද අනුපසම්පන්නයකුට සිවුරක් හෝ අන් පිරිකරක් දීම ගැන ගර්හා කිරීමෙන් දුකුළා ඇවැත් ද වේ.