ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස පච්චයපටිසෙධනසංඛාතෙන වා සාමන්තජප්පිතෙන වා ඉරියාපථස්ස වා අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං අයං වුච්චති කුහනා.[1]
ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ නැති ගුණ දක්වනු කැමති වූ ලෝභයෙන් මඩනා ලද්දා වූ පුද්ගලයාගේ ප්‍රත්‍යය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ සමීප කොට කථා කිරීමෙන් හෝ ජනයා පහදින ආකාරයෙන් ගමනාදි ඉරියව් හෝ ආදියෙහි තැබීමෙන් පිහිට වන්නා වූ ආකාරයෙක්, සකස් කොට තැබීමෙක්, වීර්‍ය්‍ය කිරීමෙන් වෙහෙසට පත්ව සිටින ආකාරයෙන් මුහුණ හැකිළවීමක්, මුහුණ හකුළුවාගෙන ඉන්නා ස්වභාවයක්, ජනයා විස්මයට පත්කිරීමක්, විස්මය පැවැත්වීමෙක්, විස්මයට පත්කරන ස්වභාවයක් වේ ද මේ කුහනාය යි කියනු ලැබේ.
“කුහනය” යනු තමාගේ ඇති සැටිය යට කරගෙන සඟවාගෙන නැත්තා වූ ආකාරයක් දක්වා ජනයා විස්මයට පත්කිරීමය. කපටිකමය කුහකකමය කියනුයේ ද එයට ම ය. අනේකප්‍රකාර කුහකකම් ඇත්තේ ය. මෙහි දැක්වෙන්නේ ප්‍රත්‍යය ලබනු පිණිස පැවිද්දන් කරන කුහකකම් ය. ප්‍රත්‍යය ප්‍රතික්ෂේප කිරීමය, ළං කොට කථා කිරීමය, දුටුවන් පහදිනා ආකාරයෙන් ඉරියව් පැවැත්වීමය යන මේ තුන ප්‍රත්‍යය ලබනු පිණිස ඇතැම් පැවිද්දන් කරන කුහකකම් ය.
බොහෝ ගිහියෝ ප්‍රත්‍යය නො පිළිගන්නා පැවිද්දාට පහදිති. නො පිළිගන්නා පැවිද්දාට වඩ වඩා ප්‍රත්‍යය පිරිනමන්නට උත්සාහ කරති. වඩා හොඳ ප්‍රත්‍යය පිරිනමන්නට උත්සාහ කරති. කපටි පැවිද්දන්ට ප්‍රත්‍යය ප්‍රතික්ෂේප කිරීමේ උපායෙන් බොහෝ ප්‍රත්‍යය ලැබිය හැකිය. මිනිසුන් පහදවා වඩ වඩා ප්‍රත්‍යය ලැබීම පිණිස මුලින් ප්‍රත්‍යය ප්‍රතික්ෂේප කිරීම ප්‍රත්‍යය ප්‍රතික්ෂේප කිරීම නමැති කුහකකම ය. ධ්‍යානමාර්ගඵලසංඛ්‍යාත උත්තරීමනුෂ්‍යධර්මයන් තමා කෙරෙහි ඇතය යි කෙළින් ම නො කියා එබඳු ධර්ම තමා කෙරෙහි ඇතය යි හැඟෙන පරිදි ඒවාට ළං කොට “උසස් පැවිද්දෝ නම් මේ කැලෑවල වෙසෙන පැවිද්දෝ ය. ධ්‍යානමාර්ගාදි උසස් ධර්ම ඇත්තෝ අප සේ විවේක සෙනසුන්වල වෙසෙන්නෝ ය” යනාදීන් කථා කිරීම, උත්තරීමනුෂ්‍යධර්මයන්ට ළං කොට කථා කිරීම නමැති කුහකකම ය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාපේක්ෂාවෙන් ජනයාට පෙනෙන්නට බද්ධපර්‍ය්‍යංකයෙන් වාඩිවී නිශ්චලව විසීම්, සක්මන් කිරීම් ආදි වශයෙන් ආර්‍ය්‍යයන්ගේ ඉරියව්වලට සමාන ඉරියව් පැවැත්වීම ඉරියව් පිහිටවීම නමැති කුහකකම ය.
-
විභ. – 261 පි. ↑