එක්විසි අනේසනය

“අනේසන” යනු නුසුදුසු පරිදි ප්‍ර‍ත්‍යය සෙවීමය. ඉහත දැක්වූ කුහනා ලපනා නෙමිත්තකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා යන ක්‍ර‍ම පස හැර අයුතු පරිදි ප්‍ර‍ත්‍ය සෙවීමේ තවත් ක්‍ර‍ම එක්විස්සෙක් ඇත්තේ ය. ඒවා අනේසන යන නමින් දක්වා ඇත්තේ ය.

“න භික්ඛවෙ, එකවීසතිවිධාය අනෙසනාය පච්චයා උප්පාදෙතබ්බා, අනෙසනාය හි උප්පන්න පිණ්ඩපාතො ආදිත්තලොහගුලසදිසො, හලාහලවිසූපමො, අනෙසනා හි නාමෙසා බුද්ධපච්චෙකබුද්ධ සාවකෙහි ගරහිතා, පතිකුට්ඨා, අනෙසනාය උප්පන්නපිණ්ඩාපාතං භුඤ්ජන්තස්ස හි හාසො වා සොමනස්සං වා නත්ථි. එවං උප්පන්නො හි පිණ්ඩපාතො මම සාසනෙ චණ්ඩාලස්ස උච්ඡිට්ඨභොජනසදිසො. තස්ස පරිභොගො සතධම්ම මාණවස්ස චණ්ඩාලුච්ඡිට්ඨභත්තපරිභොගො විය හොති.”[1]

මහණෙනි, එක්විසි ආකාර වූ අනේසනයෙන් ප්‍ර‍ත්‍යය නො සෙවිය යුත්තේය. අනේසනයෙන් උපන් පිණ්ඩපාතය ගිනියම් වූ ලොහොගුළි වැනිය, හලාහල විෂ වැනිය. අනේසන නම් වූ මෙය බුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධ, බුද්ධශ්‍රාවකයන් විසින් නින්දා කරන ලද්දේය. පිළිකුල් කරන ලද්දේ ය. අනේසනයෙන් ලත් පිණ්ඩපාතය වළඳන්නහුට ප්‍රීතියක් හෝ සොම්නසක් හෝ නො වේ. එසේ උපන් පිණ්ඩපාතය මාගේ ශාසනයෙහි චණ්ඩාලයකුගේ ඉඳුල් බතක් වැනිය. එය වැළඳීම සතධම්ම නමැති මාණවකයා විසින් කළ චණ්ඩාලයාගේ ඉඳුල් බත වැළඳීම වැනි වේ. (සතධම්ම මාණවකයාගේ කථාව ජාතක පොතෙක් දත හැකිය.)

“වෙජ්ජකම්මං කරොති, දූතකම්මං කරොති, පහිණකම්මං කරොති, ගණ්ඩං ඵාලෙති, අරුමක්ඛණං දෙති, උද්ධවිරෙචනං දෙති, අධොවිරෙචනං දෙති, නත්ථුතෙලං පචති, පිවන තෙලං පචති, වෙළුදානං දෙති, පත්තදානං පුප්ඵදානං ඵලදානං සිනානදානං දන්තකට්ඨදානං මුඛොදකදානං චුණ්ණදානං මත්තිකාදානං දෙති, චාටුකම්මං කරොති, මුග්ගසූපියං පාරිභට්ටං ජංඝපෙසනිකං කරොතීති එකවීසතිවිධාය අනෙසනාය ජීවිකං කප්පෙන්තො අනිපකවුත්ති නාම හොති. න පඤ්ඤාය ඨත්වා ජීවිකං කප්පෙති, තතො කාලකිරියං කත්වා සමණයක්ඛො නාම හුත්වා “සංඝාටිපි ආදිත්තා හොති සම්පජ්ජලිතා” ති වුත්තනයෙන මහා දුක්ඛං අනුභොති.”[2]

වෙදකම් කිරීමය, ගිහියන්ගේ දූතක්‍රියා කිරීමය, ගිහියන් කියන වැඩ කරදීමය, ගෙඩි පැළීමය, තුවාලවලට ගැල්වීමට බෙහෙත් දීමය, ළයවිරේක දීමය, ගෙඩි පැළීමය, අධෝවිරේචන බෙහෙත් දීමය, නස්‍ය තෙල් දීමය, පානය කිරීමට බෙහෙත් තෙල් දීමය, හුණදඬු දීමය, කොළජාති දීමය, මල් දීමය, ගෙඩි දීමය, සබන් දීමය, දැහැටි දීමය, මුව සෝදන දිය දීමය, ඇඟ ගල්වන සුනු (පියර) දීමය, වර්ණවත් මැටි දීමය, තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට කථා කිරීමය, ගිහියන් සතුටු කරවීම පිණිස බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීමය, ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීමය, ගිහියන්ගේ වැඩ පණිවිඩවලට ගෙයින් ගෙට ගමින් ගමට යාමය යන එක් විසින වැදෑරුම් අනේසනයෙන් ජීවත් වන මහණ නුවණින් ජීවත් වන්නේ නො වේ. ප්‍ර‍ඥාවෙහි පිහිටා ජීවත් වන්නේ නොවේ. ඒ මහණ කාලක්‍රියා කොට ශ්‍ර‍මණ යක්ෂයකු වී “සංඝාටිපි ආදිත්තා හොති සම්පජ්ජලිතා” යි වදාළ ක්‍ර‍මයට මහ දුක් විඳින්නේ වේ.

අනේසන වන්නේ: සතුටු කොට ප්‍ර‍ත්‍යය ලබා ගැනීම හා උපකාර ලබා ගැනීම සඳහා වෙදකම් කිරීමට නුසුදුසු, දීමට නුසුදුසු, වැඩ කර දීමට නුසුදුසු අයට වෙදකම් කිරීම ආදියය. මාපියාදි සුදුසු අයට බෙහෙත් කිරීම දීම ඔවුන්ගේ වැඩ පණිවිඩ කර දීම අනේසනයට අයත් නො වේ. මේ එක්විසි අනේසනය දක්වා ඇත්තේ අතීතලෝකය අනුවය. වර්තමාන ලෝකය අනුව කුලදූෂණ අනේසනයන් කියතහොත්: උපකාර ලැබීමේ අදහසින් වෙදකම් කිරීමට නුසුදුසු ගිහියන්ට වෙදකම් කිරීම, බෙහෙත් දීම, දායකයන්ට හෝ ඔවුන්ගේ දූ දරුවන්ට ලෙඩ සෑදුණු විට වෙදුන් පමුණුවා දීම, ඔවුන් වෙදුන් වෙත කැඳවා ගෙන යාම, රෝහල්වලට ඇතුළු කිරීම, දායකයන්ට කේන්ද්‍ර‍ බලා පලාපල කීම, අත් බලා පලාපල කීම, සෙත්කවි වස් කවි සාදා දීම, මන්ත්‍ර‍ගුරුකම් කරදීම, දායකයන්ගේ දරුවන් පාසැල්වලට ඇතුළු කරවා දීම, ඔවුනට උගෙනීමට උපකරණ සපයා දීම, පන්සල්වල ඇති අඹ දෙහි දොඩම් තැඹිලි ආදිය ගිහියන්ට දීම, ඔවුන්ගේ ගුණ වර්ණනා කිරීම, ඔවුන් උසස් කොට කථා කිරීම යනාදිය කුලදූෂණය ලෙස ද අනේසනය ලෙස ද කිය යුතුය. ආජීවපාරිශුද්ධිය පිළිබඳ සිකපද රැකීම, කුහනාදියෙන් ප්‍ර‍ත්‍යය සැපයීමෙන් වැළකීම, අනේසනයෙන් ප්‍ර‍ත්‍යය සැපයීමෙන් වැළකීම, භික්ෂුවගේ ආජීවපාරිශුද්ධිශීලය ය.

  1. ජා. ට්ඨ - 59 පි.

  2. ම. ට්ඨ - 3-3,4 පිටු