තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන්ට විනය සිකපද පැනවීම ආරම්භ කළේ භික්ෂූන් ඇති වී බෝ කලක් ගත වූවාට පසුය. විනයයෙහි ඇති සිකපද සියල්ල එක්තැනකදී එක්වරක පනවන ලද ඒවා ද නො වේ. භාග්‍යවතුන් වහන්සේට විනය සිකපද පනවා අවසන් කිරීමට දීර්ඝ කාලයක් ගත වන්නට ඇත. මේ විනය සිකපද පනවන්නට පෙර බොහෝ භික්ෂූහු වූහ. උන් වහන්සේලා අතර බොහෝ බොහෝ රහත්හු ද වූහ. ඒ පූර්වකාලීන භික්ෂූන් වහන්සේලා සිකපද පනවා නො තුබූ නිසා ශීලයක් නැතිව විසුවාහු නො වූහ. උන් වහන්සේලා ද ශිලයෙන් යුක්ත වූහ. උන් වහන්සේලාට මහත් වූ ශීලස්කන්ධයක් තිබිණ. “සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො”[1] යනුවෙන් ඇතැම් සූත්‍ර දේශනාවල සඳහන් කර ඇත්තේ ඒ ආර්‍ය්‍යශීලස්කන්ධය ය. එය මූලික උපසම්පදා ශීලයය. එය ස්වභාවසිද්ධ ශීලයකි. එයට පනවන ලද සිකපද නැත. එය චූළසීල මජ්ඣිමසීල මහාසීල වශයෙන් තුන් කොටසක් කොට බුදුරජාණන් වහන්සේගේ ශීලය වශයෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත. බුද්ධ ශ්‍රාවකයන්ගේ ශීලය වශයෙන් සාමඤ්ඤඵල, සෝණදණ්ඩ, කූටදන්ත, මහාලී, සුභ, කේවට්ට, තේවිජ්ජ යන සූත්‍රයන්හි වදාරා ඇත්තේ ය. ඒ සූත්‍ර ඇත්තේ දීඝනිකායේය. සූත්‍රවල වදාරා ඇති ආකාරයෙන් උපසම්පදාශීලය සිකපද නැතිව කොටින් සලකාගත හැකිය. ඒ සූත්‍රධර්ම අනුව පිළිපදින්නා වූ භික්ෂුවගෙන් විනය සිකපද ඉබේ ම රැකෙන්නේ ය. එබැවින් උපසම්පදාශීලය කොටින් සලකා ගත හැකි වීම පිණිස සාමඤ්ඤඵලසූත්‍රයේ එන පරිදි ආර්‍ය්‍ය ශීලය දක්වනු ලැබේ.
-
දීඝනිකායේ මුල් සූත්‍ර. ↑