ලාභ පරිණාමනය.

ලාභපරිණාමනය යනු කෙනකු විසින් අනිකකුට දීමට බලාපොරොත්තු වන අනිකකුට ලැබෙන්නට යන ලාභයක් තමාට හෝ අනිකකුට හෝ හැරවීමය. මෙය ද අදින්නාදානයට ආසන්න කරුණෙකි. එහෙත් එයින් කුඩා ඇවැත් සිදුවනු මිස පාරාජිකා නො වේ. ලාභ පරිණාමනය පිළිබඳ ඇති සිකපද මෙසේ ය.

“යො පන භික්ඛු ජානං සංඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං.”[1]

යම් මහණෙක් කෙනකු විසින් සංඝයාට දීමට බලාපොරොත්තු වන එහෙයින් ම සංඝයාට අයත් වූ චීවරාදි යම්කිසි වස්තුවක් දැන දැන ම තමාට හරවා ගනී නම් නිසගිපචිතියක් වේ.

යටත් පිරිසෙයින් සිය මව වුව ද මෙය සංඝයාට දෙමිය පුදමිය කියා සංඝයාට පිරිනමා ඇති වස්තුවක් ඒ බව දැන දැන ම මෙය මට දෙන්නය කියා ලබා ගත හොත් නිස්සග්ගිය පාචිත්තිය නම් ඇවැතක් වේ. පාචිත්තියය- නිස්සග්ගිය පාචිත්තියය කියා ඇවැත් දෙවර්ගයක් ඇත්තේ ය. පාචිත්තියා පත්තියෙන් ඇවැත් දෙසීමෙන් පිරිසිදු විය හැකි ය. නිස්සග්ගිය පාචිත්තියෙන් එසේ පිරිසිදු නො විය හැකිය. එයින් පිරිසිදු විය හැක්කේ නුසුදුසු ලෙස ලත් ඒ වස්තුව සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට හෝ නිස්සර්ජනය කොට ඇවත දෙසීමෙනි. නිස්සර්ජනය කිරීම යනු දීමය. වස්තුව තබාගෙන ඇවැත් දෙසුව ද ඇවතින් පිරිසිදු නො වේ. සංඝයාට පිරිනැමූ දෙය තමාට හරවා ගැනීමෙන් වූ ඇවත එක් පුද්ගලයකු සමීපයේ දෙසිය යුත්තේ මෙසේය. ඒ නිස්සග්ගිය වස්තුව ගෙන භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංශ කොට පෙරවා වැඩිමහල්ලකු නම් ඒ භික්ෂුවගේ පා වැඳ උක්කුටිකව හිඳ මෙසේ කියා ඒ වස්තුව නිස්සර්ජනය කළ යුතුය.

“ඉදං මෙ භන්තෙ ජානං සංඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමිතං නිස්සග්ගියං ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි.”[2]

මේ වාක්‍යය කියා වස්තුව ඒ භික්ෂුව අතට දිය යුතුය. ඉක්බිති ඒ භික්ෂුව සමීපයෙහි ඇවත දෙසිය යුතුය. ඉන්පසු නිස්සග්ගිය වස්තුව පිළිගත් භික්ෂුව විසින් “ඉමං ආයස්මතො දම්මි” යි කියා එය ආපසු දිය යුතුය. ඉන්පසු ඒ භික්ෂුවට එය පරිභෝග කිරීම කැපය. මේ නිස්සජ්ජනය විනයකර්මයක් මිස අයිතියට දීමක් නො වේ. පිළිගත් භික්ෂුව මෙය මට දුන්නේය යි සිතා ආපසු නුදුන හොත් ඔහුට දුකුළා ඇවැත් වේ. වටිනා වස්තුවක් නම් මෙය මට නො ලැබේය කියා පළමු භික්ෂුවගේ බලාපොරොත්තුව අත්හැරීමෙන් පාරාජිකා ද විය හැකිය.

“යො පන භික්ඛු ජානං සංඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙය්‍ය පාචිත්තියං.”[3]

යම් මහණෙක් කෙනකු විසින් සංඝයාට දීමට බලාපොරොත්තු වන එහෙයින් ම සංඝයාට අයත් ලාභයක් දැන දැන ම පුද්ගලයකුට පිරිනමා නම් පචිති ඇවතක් වේ.

පරිෂ්කාර වැඩි ගණනක් ඇති තැනකින් එකක් තමා ගෙන අනිකකුට අනිකක් දෙවුව හොත් නිස්සග්ගිය පාචිත්ති ඇවතක් හා ශුද්ධපාචිත්ති ඇවතක් වෙයි. එක් විහාරයක සංඝයාහට දීමට බලාපොරොත්තු වන දෙය අනික් විහාරයක සංඝයාට හෝ චෛත්‍යයකට හෝ දෙවුව දුකුලා ඇවැත් වේ. එක් චෛත්‍යයකට පිදීමට බලාපොරොත්තු වන දෙය අන්‍ය චෛත්‍යයකට හෝ සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට දෙවුව දුකුළා ඇවැත් වේ. පුද්ගලයකුට දීමට බලාපොරොත්තු වන දෙය අන්‍ය පුද්ගලයකුට හෝ ගණයාට හෝ සංඝයාට හෝ චෛත්‍යයට හෝ දෙවුව දුකුළා ඇවැත් වේ. යටත් පිරිසෙයින් එක් සුනඛයකුට දෙන්නට යන දෙය වළකා එය අන් සුනඛයකුට දෙවුව ද දුකුළා ඇවැත් වේ.

  1. පාරා. - පත්ත වග්ග - 307 පි.

  2. පාරා - 307 පි.

  3. පාචි - සහධම්මික වග්ග= 176 පි.