“යො පන භික්ඛු ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදියෙය්‍ය යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්‍යුං වා භන්ධෙය්‍යුං වා පබ්බාජෙය්‍යුං වා චොරොසි බාලොසි මූළ්හොසි ථෙනොසීති. තථාරූපං භික්ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසො.”[1]
යම් මහණෙක් ගමකින් හෝ අරණ්‍යයකින් හෝ හිමියන් විසින් නුදුන් වස්තුවක් සොර සිතින් ගනී ද, යම්බඳු සොරකමක් නිසා රජහු සොරා අල්ලා ඔහුට පහර දෙත් ද බඳිත් ද රටින් නෙරපත් ද නුඹ සොරෙක බාලයෙක මුළාවූවෙක අන්සතු දෑ සඟවා ගන්නෙකැ යි නින්දා කෙරෙත් ද, එබඳු සොරකමක් කරන්නා වූ මහණ පාරාජිකා වේ. භික්ෂූන් සමග සංවාස නැත්තේ වේ.
මෛථුන සේවනය පැවිද්දන්ට පාරාජිකාවක් වුව ද ගිහියන්ට නුසුදුසු ක්‍රියාවක් නොවේ. නීත්‍යානුකූල මෛථුන සේවනයෙන් ගිහිහෝ දඬුවම් නො ලබති. නින්දා නො ලබති. අදත්තාදානය වනාහි ගිහි පැවිදි දෙපසට ම නුසුදුසු ක්‍රියාවකි. අදත්තාදානයෙන් වැළකී අවංක පුද්ගලයකු වී සිටීම භික්ෂු ශීලයේ උසස් අංගයෙකි. සොරෙක යන මේ වචනය ඉතා ලාමකය. පැවිද්දකුට ඉතා ම නුසුදුසු ය. එබැවින් පැවිද්දා විසින් හිමියන් නුදුන් තණපතකුදු සොරසිතින් නො ගන්නා ශුද්ධ පුද්ගලයකු විය යුතුය. විශ්වාසය තැබිය හැකි පුද්ගලයකු විය යුතුය. සොරසිතින් තණපතක් වුව ද ගැනීමෙන් සොරකු වන නුමුත් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ ඉතා සුළුදෙය පාරාජිකාවස්තුව වශයෙන් නො ගෙන බිම්සර රජතුමා වැනි දැහැමි රජුන් සොරුන්ට දඬුවම් කිරීමට ගන්නා අන්තිම මිම්ම වන “පාදය” ප්‍රමාණය කොට අදින්නාදාන පාරාජිකාව පනවා වදාළ සේක. මේ අදින්නාදාන පාරාජිකාව විනිශ්චය කිරීමට ඉතා දුෂ්කර සියුම් පාරාජිකාවෙකි. අදින්නාදාන පාරාජිකාවට වස්තු වන පාදය ද විනිශ්චය කිරීම දුෂ්කරය. ඇතැම් බඩුවල වටිනාකම විනිශ්චය කිරීම ද දුෂ්කරය. අදින්නාදානය සිදු විය හැකි ක්‍රම පස්විස්සක් ඇති බැවින් විනය නො දත් භික්ෂුවට නො දැනීම පාරාජිකා වන්නට ඉඩ ඇත්තේය. එබැවින් භික්ෂූන් විසින් අදින්නාදාන පාරාජිකාව පිළිබඳ විස්තර සහිත හොඳ දැනුමක් ඇති කර ගත යුතුය.
මේ සිකපදය සම්බන්ධයෙන් මුලින් දැක්විය යුත්තේ පාරාජිකාවට වස්තුවන දෙය “පාදං වා පාදාරහං වා අතිරෙක පාදං වා” යනුවෙන් පාරාජිකාපාළියෙහි පාදය හෝ පාදයක් අගනා වස්තුව හෝ පාරාජිකා වස්තුව වශයෙන් දක්වා ඇත්තේය. කහාපණ යන නම ව්‍යවහාර කරන කාසියෙන් සතරින් පංගුවට “පාදය” යි කියනු ලැබේ. ඒ පාදය මුසු පසක් බව පාරාජිකාපාළියෙහි ම දක්වා ඇත. මේ සිකපදය පනවන ලද්දේ රජගහනුවරදී ය. එබැවින් මේ පාදය ගණන් ගනු ලබන්නේ එකල රජගහනුවර භාවිත කළ මංචාඩි විස්සක් බර ඇති කහවණුවෙනි. විනය අටුවාවෙහි එයට “පෞරාණික නීලකහාපණය” යි කියා තිබේ. ඒ කාසිය කිනම් ද්‍රව්‍යයකින් තනන ලද්දක්ද යන බව විනය අටුවාවෙහි සඳහන් කර නැත. එයට නීලකහාපණය යි කියනුයේ නිල්පැහැය ඇති නිසා නොව පෞරාණික ශාස්ත්‍රානුකූලව නිර්දෝෂ ලෙස කර ඇති නිසාය. ඒ කහවණුව විමතිවිනෝදනී නම් වූ විනය ටීකාවෙහි විස්තර කර ඇත්තේ “පොරාණසත්ථානුරූපං උප්පාදිතො විසතිමාසප්පමාණ උත්තම-සුවණ්ණග්ඝනකෙලක්ඛණසම්පන්නො නීලකහාපණො”[2] යනුවෙන් මංචාඩි විස්සක් පමණ බර ඇති රන්කාසියක්ය කියාය. ඒ මතයේ සැටියට පාදය රන් මංචාඩි පසෙකි. රන්මිල කලින් කල වෙනස් වන බැවින් මේ රටේ ව්‍යවහාර කරන මුදලින් එය කොතෙක් ද යන බව කාලය අනුව විනිශ්චය කළ යුතුය.
“පඤ්ච මාසා සුවණ්ණස්ස තථා රජතස්ස දසමාසා තම්බස්සාති එතෙ වීසති මාසෙ මිස්සෙත්වා බද්ධත්ථාය වීහිමත්තලොහං පක්ඛිපිත්වා අක්ඛරානි ච හත්ථිපාදාදීනං අඤ්ඤතරඤ්ච රූපං දස්සෙත්වා කතො මිස්සකකහාපණො නාම. සොයෙව නිද්දොසත්තා නීලකහාපණො නාම”[3]
මේ පාතිමොක්ඛපදත්ථානුවණ්ණනනා නමැති ග්‍රන්ථයේ එන පාඨයෙකි. රන් මංචාඩි පසක් ද රිදී මංචාඩි පසක් ද තඹ මංචාඩි දසයක් ද ගෙන තදවීම පිණිස වියැටක් පමණ යකඩ ද ගෙන මිශ්‍ර කර අකුරු හා ඇත්පා ආදි රූප ද සටහන් කොට සාදන කහවණුව මිශ්‍රකර්ෂාපණ නම් වේය යි ද, එය ම නිර්දෝෂ බැවින් නීලකහාපණ නම් වේය යනු ද ඒ පාඨයේ තේරුමය. එය උත්තරවිනිශ්චයටීකා මතයයි ද කියා තිබේ. ඒ මිශ්‍ර කර්ෂාපණයෙන් සතරින් පංගුව වූ පාදයට වියැට දසයක් රන් ද එපමණ රිදී ද වියැට විස්සක් තඹ ද අයත්ය. මංචාඩියයි කියනුයේ මදටිය ඇටයක බරට ය. එය වියැට අටක බරය. බොහෝ විනයධරයන් පිළිගන්නේ මිශ්‍රක කර්ෂාපණයේ පාදය පාරාජිකා වස්තුව ලෙසය. රන් රිදී මිල කලින් කල වෙනස් වන බැවින් අප රටේ ව්‍යවහාර මුදලින් එය කොතෙක් ද යන බව කාලය අනුව විනිශ්චය කළ යුතුය. මෙහි විශේෂයෙන් සැලකිය යුත්තේ රන් වියැට දසයේ වටිනාකම ය. කුමක් වුව ද ඒ ඒ ප්‍රදේශවල පාවිච්චි කරන කහවණුවේ සතරින් කොටස පාරාජිකා වස්තුව ලෙස සැලකිය යුතු බවය. ශත 75 පාරාජිකා වස්තුවය යන සම්මතයක් අප රටේ ඇත. එය කෙසේ ගණන් ගැනීමක් ද නො දනිමු. රුපියල කහවණුව ලෙස ගෙන එයින් සතරෙන් පංගුව වූ ශත 25 පාරාජිකා වස්තුව යි ගන්නා බුරුම තෙරුන් වහන්සේලා ඇතහ. මෙය විනිශ්චය කිරීම දුෂ්කර ප්‍රශ්නයෙකි. දුර්භික්ෂ කාලයේ බත් පාත්‍රයක් සොරාගත් භික්ෂුවත්, අඹ සොරා කෑ භික්ෂුවත් පාරාජිකා වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති බැවින් පාරාජිකා වස්තුව එතරම් ලොකු දෙයක් නො වන බව සැලකිය යුතු ය.